මැමතන්ගේ දූපතේ අභිරහස
පර්යේෂකයන් ගණන් බලා තිබෙන අන්දමට මැමත් දැවැන්තයන් උතුරු ඇමරිකාවේ ප්රධාන භූමියෙන් අතුරුදහන් වූයේ මීට වසර 10,000 සිට 14,000 කට පෙරය. එසේ නමුත් ඔවුන් ශාන්ත පාවුලු දූපතෙ හි ඊටත් පසු සහස්ර ගණනාවක් තිස්සේ දිගටම නොනැසි පැවතුන බවට සාක්ෂි ඇත. රුසියානු ආක්ටික් ප්රදේශයේ රැන්ගල් දූපතේ මොවුහු තවත් කලක් ජීවත් වූහ. පර්යේෂකයන් විසින් එහිදී අවුරුදු 4,000 ක් තරම් මැතක මැමත් දත් සොයා ගනු ලැබ ඇත. මිසරයේ විශාල පිරමිඩ ඉදිකරන අවධිය වනවිටත් රැන්ගල් දූපතේ මෙඔ ලොම් පිරි දැවැන්තයෝ ජීවතුන් අතර සිටියහ. එහෙත් ඔවුන්ද අවසානයේ නෂ්ටප්‍රාප්ත වූයේ ඇයි? අද ලිපියෙන් සොයා බැලෙන්නේ ඒ අභිරහස ගැනයි. දිගටම කියවන්න.

අයිස් සමය ගැන කතා කරන විට අපේ මතකයට වහා එන්නේ ලොමින් පිරි ඇතෙකු බදු දැවැන්ත මැමතා (mammoth) සතුන්ය. මෙයට වසර දහස් ගණනකට පෙර බෙරිං මුහුදේ කුඩා දූපතක් වූ ශාන්ත පාවුළුහි ගැඹුරු වලකට මැමතෙකු වැටුණේ පය ලිස්සා ගොසින් විය යුතුය. ගොඩ ඒමට මඟක් නැතුව ඌ එතනම මිය ගියේය. වසර දහස් ගණනකට පසුව, කි‍්‍ර.ව. 2003 දී තවත් සතෙක් එම වලට බැස්සේය. ඒ ඉනිමඟක ආධාරයෙනි. සතා මිනිසෙකි. නමින් රසල් ග‍්‍රැහැම්ය. වෘත්තියෙන් පාෂණීය ධාතු විද්‍යාඥයෙකි. වලට බට රසල් එහි තුළ ගලක් ඔසවා බැලූ විට දක්නට ලැබුණේ ප‍්‍රමාණයෙන් පාන් ගෙඩියක් තරම් වූ සත්ව දතකි. දිගැටි, ගොඩැලි සහිත එය මැමතෙකුගේ බව ඔහුට වහා වැටහිණ. ‘ඒක පෙනුනේ මැමතෙකුගේ කටින් මේ දැන් ගැලවූ එකක් වගෙයි’ රසල් ග‍්‍රැහැම් පවසයි.

සිය වෘත්තීය ජීවිතය තුළ සිය ගණනක් මැමතා දත් පරීක්ෂාකර ඇති ග‍්‍රැහැම්ට මේ දතෙහි විශේෂත්වයක් දැකිය හැකිවිය. මැමතා ජීවත් වූ පරිසරය යළි ගොඩනගමින් බහුශික්ෂණ කණ්ඩායමක් හා එක්ව අභිරහස විසඳීමට ග‍්‍රැහැම්ව මෙහෙයවනු ලැබූ සාධකය එයයි. දේශගුණිකව පෙළඹීමෙන් නෂ්ටප‍්‍රාප්ත වීමේ අවදානමට අද මුහුණ පා සිටින සත්ව විශේෂ සම්බන්ධයෙන් ද මේ අභිරහසෙහි බලපෑමක් තිබිය හැකිය. මොකක්ද මේ අභිරහස?
අභිරහස ඇරඹෙන්නේ සොයා ගත් මැමතා දතෙහි කාබන් කාල නිර්ණය මගින් එය වසර 6500ක් පැරණි බව අනාවරණය වීමෙනුයි. ඒ කියන්නේ උතුරු ඇමරිකානු ප‍්‍රධාන භූමි ප‍්‍ර‍්‍රදේශයේ මැමතා සතුන් වඳවීයාමෙන් සහස‍්‍ර කිහිපයක් ගතවූ කාල පරාසයකි. ප‍්‍රධාන භූමිප‍්‍රදේශයෙන් වඳවී යාමෙන් පසුව මේ කුඩා දිවයිනේ වසර දහස් ගණන් මැමතා සතුන් ජීවත්ව සිට හදිසියෙන් වඳවී ගියේ ඇයි යන්න ග‍්‍රැහැම්ගේ සිතට වද දෙන කාරණාවක් විය.
1960 ගණන්වලදී ශාන්ත පාවුළු දිවයිනේ විල පතුළෙකින් පර්යේෂණයක් සදහා අවසාදිත හර (රොන් මඩ) එකතු කර ගනු ලැබිණ. හරයෙහි හොඳින් සුරැකිව තිබූ ස්තර හෙළි කළේ ස්ථානය අඩුතරමින් වසර 14,000ක් වත් පැරණි අවසාදිත වාර්තාවලින් හෙබි බවයි. එම ස්ථානයත්, ග‍්‍රැහැම්ට මැමතා දත හමු වූ ගුහාවත් අතර වුයේ සැතපුම් කාලයකටත් අඩු දුරකි. ඔහුගේ හිතට වද දුන් ප‍්‍රශ්නයට පිළිතුර බොහෝ දුරට මෙම විල් පතුලේ රැඳි තිබෙනවා විය හැකියි. මැමතා දත සොයාගෙන දශකයක් ගත වූ විට ග‍්‍රැහැම් සිය විශේෂඥ කණ්ඩායමද සමග ආපසු ශාන්ත පාවුළු දූපතට ළඟ වූයේ අවසාදිත හරහා දිවයිනේ සහ එහි මැමතා සතුන්ගේ ඉතිහාසය පිළිබඳ ඉඟි ලබා ගැනීමේ අරමුණින්ය. ඒ සඳහා විල් පතුලේ අවසාදිත අතරේ දිලීර බීජානු, ශාක කොටස්, පුරාණ පරාග, යමහල් අළු, කුඩා අවශේෂ ආදී සාක්ෂ්‍ය එකතු කිරීමට ඔවුහු උත්සුක වූහ.

උතුරු ඇමරිකා ප‍්‍රධාන භූමි ප‍්‍රදේශයෙන් මැමතා වඳවී යන්නට ඇත්තේ මෙයට වසර 10,000 සිට 11,000 දක්වා කාලයකැයි පර්යේෂකයෝ ගණන් බලති. එහෙත් එම සතුන් ශාන්ත පාවුළු දූපතෙහි ඊට වඩා වර්ෂ දහස් ගණනක් ජීවත් වූ බවට සාක්ෂි ඇත. කෙසේ වෙතත්, ශාන්ත පාවුළු දිගටම දූපතක් ලෙස නොපැවතිණ. මෙයට වසර 11,000කට පමණ පෙර දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම් ඉහළ යාමෙන් ප‍්‍රධාන භූමි ප‍්‍රදේශයට ශාන්ත පාවුළු යා කෙරෙන පටු භූමි තිරය මුහුදෙන් වැසී ගොස් එය දූපතක් බවට පත් විය. ඒ වන විට එහි සිටි මැමතා ඇතුලූ සතුන් දූපතෙහි කොටු වූ අතර මෙම හුදකලා වීම මැමතා සතුන් ප‍්‍රධාන භූමි ප‍්‍රදේශයෙන් වඳවී ගොස් තවත් වසර දහස් ගණනක් දූපතේ පැවතීමට මඟ පාදන්නට ඇත.
අවසාන අයිස් සමය අවසානයේ දී උතුරු ඇමරිකා ප‍්‍රධාන භූමි ප‍්‍රදේශයෙන් මැමතා වඳවී යාම සම්බන්ධයෙන් විද්‍යාඥයන් අතර මතභේද පවතී. සමහරු අදහස් කරන්නේ දේශගුණ විපර්යාස ඊට බලපෑ බවයි. ඇතැමෙකු පවසන්නේ මිනිසුන් ඊට වග කිව යුතු බවයි. ඒ ඉවක් බවක් නැතුව මැමතා සතුන් මසට මරාගෙන කෑමයි. දේශගුණ විපර්යාසයන්, මානවයන් උතුරු ඇමරිකාවට සංක‍්‍රමණය වීමත් එකවර සිදුවන්නට ඇත. දේශ ගුණික විපර්යාස මමැතා නෂ්ටප‍්‍රාප්තවීමට හේතුවන්නට ඇතැයි ග‍්‍රැහැම්ද විශ්වාස කරන අතර ඒ කි‍්‍රයාවලිය වේගවත් කිරීමට මානව කි‍්‍රයාකාරකම් බලපාන්නට ඇතැයි ඔහු කල්පනා කරයි.
ශාන්ත පාවුළු නම් මේ කුඩා දිවයිනට 1700 ගණන් වනතුරු මානවයන් පැමිණි බවට සාක්ෂ්‍ය නොමැත. දිගින් දිගට දේශගුණික විපර්යාස ඇතිවීමෙන් සත්ව විශේෂයන් හැටියට මැමතා දුර්වලවන්නට ඇතැයි ග‍්‍රැහැයි කල්පනා කරන අතර එහෙත් ශාන්ත පාවුළු දූපතට කොටු වූ මැමතා මානව දඩයමෙන් මිදුණු නිසා ප‍්‍රධාන භූමි ප‍්‍රදේශයේ සහෝදර මැමතා සතුන් වඳවෙද්දී දූපතේ මැමතා තව කලක් වසන්නට ඇතැයි ඔහු සැක කරයි. විශේෂයක් වශයෙන් දුර්වලව සිටි මේ සතුන් ට මුහුණදුන් අවාසනාවන්ත ඉරණම වූයේ කාලගුණ විපර්යාස සමග මුහුදු මට්ටමේ ඉහළ යාමෙන් දූපත කුඩා වී මෙවැනි විශාල සත්ව ගණයකට ආහාර සපයාගැනීම දුෂ්කර වීමයි.

ශාන්ත පාවුළු දූපතේ මැමතා සතුන් වඳවීයාම ගැන සෙවීම හුදු ඓතිහාසික ව්‍යායාමයක්ම නොවේ. ලොව පුරා සත්ව විශේෂ ගණනාවක් අදටත් මෙම සාධක නැතිනම් පීඩනයන්ට මුහුණ පා සිටිති. දේශගුණ විපර්යාසය, මානවයන් භූමිය කොල්ලකෑම (අපග‍්‍රහණය) සහ මුහුදු මට්ටම් ඉහළයාම එම සාධක අතර වේ. එහෙත්, දේශගුණ විපර්යාස පමණක් සත්ව විශේෂයන් නෂ්ටප‍්‍රාප්තවීමට හේතුවේ දැයි අසන්නේ ග‍්‍රැහැම්ගේ කණ්ඩායමේ සාමාජික විස්කොන්සින් වැඩිසන් විශ්වවිද්‍යාලයේ ජැක් විලියම්ස්ය. දේශගුණ විපර්යාස එක් පීඩනයක් පමණක් ද? එය අනෙකුත් පීඩන හා එක්වීමෙන් සත්ව විශේෂයන් වඳවීයාමට වැඩියෙන් පාත‍්‍රවේද? අධ්‍යනයන් හී යෙදෙන ග‍්‍රැහැම්, විලියම්ස් වැනි පර්යේෂකයෝ කරුණු පිරික්සති. වාද විවාද කරති. නිගමනවලට එළඹෙති.
Discover Magazine හී Uncovering the Secrets of Mammoth Island ලිපිය ඇසුරෙනි