පස හෙවත් පාංශු යනු ශාක පැවැත්මට උපකාරී වන වටිනා සම්පතක් වන අතර ජලය මෙම ක්රමයේ අත්‍යවශ්‍ය අංගයකි. සිටුවීම සඳහා යෝග්‍ය පැළ වර්ග, පැලෑටි ගහනයන්, වාරිමාර්ග උපලේඛනගත කිරීම සහ යෙදිය යුතු නයිට්රජන් පොහොර ප්‍රමාණය පිළිබඳ කළමනාකරණ තීරණ රඳා පවතින්නේ වැඩෙන සමය පුරාම බෝගයට ලබා ගත හැකි තෙතමනය ප්‍රමාණය මත ය. පසෙහි සමහර භෞතික ලක්ෂණ අවබෝධ කර ගැනීමෙන්, කෙනෙකුට විවිධ පාංශු වර්ගවල ශක්තීන් හා දුර්වලතා වඩා හොඳින් අර්ථ දැක්විය හැකිය.
පාංශු තෙතමනය, ආහාර නිෂ්පාදන හැකියාව වඩාත්ම සීමා කරන්නේ අර්ධ ශූෂ්ක කලාපවලයි. වාරිමාර්ග හා වියලි ඉඩම් බෝග නිෂ්පාදන පද්ධති සඳහා ඇස්තමේන්තුගත ජල භාවිතයේ කාර්යක්ෂමතාව සියයට 50 ක් වන අතර, පවතින පාංශු ජලය නිෂ්පාදකයින් වසර පුරා ගන්නා කළමනාකරණ තීරණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. ශාක වර්ධනය සඳහා ලබා ගත හැකි පාංශු තෙතමනය ලෝකයේ ගබඩා කර ඇති ජලයෙන් සියයට 0.01 ක් පමණ වේ. පසෙහි භෞතික ගුණාංග සහ පාංශු තෙතමනය සමඟ ඇති සම්බන්ධතාවය ගැන මඳක් අවබෝධ කර ගැනීමෙන් කෙනෙකුටට වඩා හොඳ පාංශු කළමනාකරණ තීරණ ගත හැකිය.
සංකීර්ණ, ගතික -පාංශු ජලය
බොහෝ විට දේශගුණික සාධක මත රඳා පවතින තෙතමන කලාපය, කෘෂිකාර්මික පද්ධතීන් ඇතුළු භෞමික පරිසර පද්ධතීන්වල ඵලදායීතාවය තීරණය කරන ප්‍රධානතම සාධකයක්. පාංශු පැතිකඩ ඔස්සේ ජලය සහ ජලයෙහි දියවූ ද්‍රව්‍ය ගලා යාම ස්ථානීය සහ ප්‍රාදේශීය ජල මූලාශ්රවල ප්‍රමිතිය සහ ජල පරිමාව කෙරෙහි බලපෑම් කරනවා.
පාංශු ජලය අපි එදිනෙදා ජීවිතයේදී බීමට ගන්නා පානීය ජලයට වඩා වෙනස් වීමට හේතු පැහැදිලි කරන මූලික සාධක දෙකක් තිබෙනවා:
- පාංශු ජලය රැඳී තිබෙන්නේ පාංශු ඡිද්‍ර (පසෙහි සිදුරු) තුළ වීම හේතුවෙන් ජලයත් පස් අංශුත් අතර ආකර්ශනය බෙහෙවින්ම දැඩි නිසා වීදුරුවක තිබෙන පානීය ජලය තරම් නිදහසේ ගලා යාමේ හැකියාවක් ඊට නැහැ.
- පාංශු ජලය සංශුස්ධ ජලයෙහි නැති, දියවූ කාබනික සහ අකාබනික ද්‍රව්‍ය රැසකින් සමන්විත ද්‍රාවණයක් නිසා එය පාංශු ද්‍රාවණය නමින් හැඳින්වීම වඩාත් උචිතයි. ද්‍රාවණයෙහි දියවී තිබෙන වැදගත් පෝෂක සංඝටක (කැල්සියම්, පොටෑසියම්, නයිට්රජන් සහ පොස්ෆරස්) ශාක මුල් වෙත සපයමින් නිරන්තරයෙන් අලුත් වන තනුක පෝෂක ද්‍රාවණයක් ලෙසින් ක්‍රියා කිරීම පාංශු ද්‍රාවණයේ මූලිකම කාර්යභාරයක්.
පසෙහි තෙතමනය ශාක වර්ධනයට ප්රශස්ත මට්ටමින් පවතිද්දී විශාල සහ මධ්‍යම පමාණයේ ඡිද්රවල රැඳි ජලය පහසුවෙන් සංසරණය වන්නටත් ශාක මගින් උරාගන්නටත් හැකියාව පවතිනවා. නමුත් ශාක මුල් මුලින්ම උරාගන්නේ විශාල සිදුරුවල රැඳුණු ජලය පමණයි. වැඩි කලක් ගෙවෙන්නට මත්තෙන් විශාල ඡිද්රවල ඉතිරි වන්නේ වාතය පමණයි. ඉතිරි වූ ජලය රැඳී තිබෙන්නේ කුඩා සහ මධ්‍ය පරිමාණ ඡිද්රවලයි. මධ්‍යම ප්‍රමාණයේ ඡිද්රවල පවතින ජලයත් ශාක මුල් වෙත ඇදී යාමටත් ඒවා හරහා උරාගැනීමටත් ඉඩකඩ පවතිනවා. නමුත් ශුද්රම ඡිද්රවල පවතින ජලය ඝණ අංශුවලට බෙහෙවින්ම සමීපව පවතින නිසා ශාක මුල්වලට ඇදගැනීම අපහසුයි. එම නිසා පසෙහි පවතින සමස්ත පාංශු ජල ප්‍රමාණය ශාකවල පරිභෝජනය සඳහා යොදාගන්නට බැහැ. පසෙහි ස්වභාවය අනුව ශාක ජලය හිඟවීම නිසා මැළවී හෝ මැරී ගිය පසුව ඉතිරිවන ජල ප්‍රමාණය සමස්ත ජල පරිමාවෙන් හයෙන් එකක සිට බාගයක් දක්වා අගයක් ගන්න පුළුවන්.

පාංශු ද්‍රාවණය
පාංශු ද්‍රාවණය තුළ කුඩා පරිමාණයෙන් වුවත් සැලකිය යුතු මට්ටමින් ජලයේ දියවන කාබනික සහ අකාබනික ද්‍රව්‍ය අඩංගු වනවා. පසෙහි අඩංගු ඝණ ද්‍රව්‍ය, විශේෂයෙන්ම කාබනික සහ අකාබනික කලිල ද්‍රව්‍ය (මැටි සහ හියුමස්) පාංශු ද්‍රාවණයට මුදාහරින පෝෂක මූලද්‍රව්‍ය ශාක මුල් මගින් උරාගනු ලබනවා. පාංශු ද්‍රාවණය පසට සංයෝග එක්වන සහ පසින් සංයෝග බැහැරවන විටත් සංයුතිය වෙනස් වීමට ප්‍රතිරෝදයක් දක්වනවා. මෙසේ වෙනස්කම් කෙරෙහි ප්‍රතිරෝදය දැක්වීම පසෙහි ස්වාරක්ෂණ හැකියාව නමින් හැඳින්වෙනවා. එය කලිල අංශු අතර ආකර්ශණය සහ ඒවා මගින් ද්‍රව්‍ය මුදාහැරීම ඇතුළු රසායනික සහ ජීව විද්‍යාත්මක ප්‍රතික්‍රියා රැසක් මත රඳා පවතිනවා.

රසායනික සහ ජීව විද්‍යාත්මක ප්‍රතික්‍රියා විශාල ප්‍රමාණයක් පාලනය කරන්නේ පාංශු ද්‍රාවණයේ H+ අණු ප්රමුඛ වීම නිසා ඇතිවන ආම්ලික බව හෝ OH– අණු ප්රමුඛ වීම නිසා ඇතිවන භාෂ්මික බවයි. pH යනුවෙන් හැඳින්වෙන්නේ ලඝුගණක ආශ්රයෙන් පසක ආම්ලික හෝ භාෂ්මික බව දක්වන මිනුම් ක්‍රමවේදයක්. pH අගය පසෙහි රසායනික ක්‍රියාවලීන් අතරින බහුතරයකට බලපෑම් කරන විචල්‍යයක් වශයෙන් සැලකෙනවා මෙන්ම එය පාංශු විද්‍යවේ සෑම අංගයක් කෙරෙහිම ප්රබලව බලපානවා.
පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර
The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි