දේශගුණ විපර්යාසය ගැන සරලව දැක්වෙන ලිපි පෙළක පළමුවැන්න: පෘථිවියේ දේශගුණය
දේශගුණය අපගේ එදිනෙදා ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරන අතර පෘථිවිය මත ජීවයෙහි ඉතිහාසය හැඩගස්වා ඇත්තේ එමගිනි. දේශගුණික තත්ත්වයන් තීරණය වන්නේ සූර්යයාගේ බලය යටතේ වායුගෝලය, සාගර, ගොඩබිම, අයිස් සහ පෘථිවියේ ජීවීන් සහචින්තනයෙන්, සහකරිත්වයෙන් ක්‍රියා කිරීමෙනි.
පෘථිවිය සහ ඇපල් ගෙඩියක් සංසන්දනාත්මකව සලකා බලද්දී අපට පෙනීයන්නේ පෘථිවි වායුගෝලය ඇපල් ගෙඩියකට එහි සම මෙන් තුනී ස්ථරයක් සාදන බවයි. එය බොහෝ දුරට නයිට්‍රජන් හා ඔක්සිජන් වලින් සෑදී ඇති අතර අනෙකුත් වායූන් කුඩා ප්‍රමාණයක් ද අඩංගු වේ. හරිතාගාර වායූන් ලෙස පොදුවේ හඳුන්වන මේවා, (පෘථිවිය වෙත එන) සූර්ය තාපය හසු කරගෙන ආපසු යා නොදී ජීවය සමෘධිමත් වීමට තරම් ප්‍රමාණවත් මට්ටමින් පෘථිවිය උණුසුම්ව තබා ගනී.
පෘථිවිය වටා කක්ෂගත වන චන්ද්‍රිකා සහ භූමියේ නිරීක්ෂණ මධ්‍යස්ථාන පෙන්නුම් කරන්නේ වායුගෝලයේ පෙර කී හරිතාගාර වායු සාන්ද්‍රණය, විශේෂයෙන් කාබන් ඩයොක්සයිඩ් වැඩි වන බවයි, . මෙය උෂ්ණත්වය ඉහළ යාම හා දේශගුණය අවුල් කර දැමීමට හේතු වේ.
අපි දැනටමත් මේවායේ දැඩි බලපෑම් දකින්නෙමු: වෙනස් වූ කාලගුණික රටා, හිම සහ අයිස් අඩු වීම සහ මුහුදු මට්ටම ඉහළ යාම.

මෙම බලපෑම් ආහාර හා ජල සැපයුම, ජනතාවගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ ආර්ථික ක්‍රියාකාරකම් මෙන්ම වන ජීවීන් හා ස්වාභාවික ලෝකයට තර්ජනය එතිකරයි. දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා අප දැන් ක්‍රියා කරන්නේ නම්, වඩාත් සමෘද්ධිමත්, සුරක්‍ෂිත හා තිරසාර අනාගතයක් කරා යන ගමනට අපි සහාය දෙන්නෙමු. කෙසේවෙතත්, අප වහාම ක්‍රියා නොකරන්නේ නම්, මේ සියල්ල අවදානමට ලක්විය හැකිය.
උනුසුම් වන ලෝකයක්
ලොව පුරා කාලගුණ මධ්‍යස්ථාන දහස් ගණනක වාර්තා සහ නැව් සහ බෝයාවන්(buoys) මගින් දක්වනු ලබන සාගර දත්ත මගින් පෙන්නුම් කරන්නේ පෘථිවියේ මතුපිට දී මනින ලද උෂ්ණත්වය පසුගිය සියවස තුළ සහ විශේෂයෙන් පසුගිය අවුරුදු පනහ තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවයි. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් ආක්ටික් ප්‍රදේශයේ අනෙක් ඒවාට වඩා බෙහෙවින් වැඩි උනුසුම් වීමක් දක්නට ලැබේ.
සමහර අවුරුදු සෑම විටම අනෙක් ඒවාට වඩා උණුසුම් හෝ සිසිල් වී ඇත. මෙයට හේතුව ස්වාභාවික සාධක මගින් වසරින් වසර සහ දශකයේ සිට දශකය දක්වා උෂ්ණත්ව විචලනයන් ඇති කරනු ලැබිය හැකි බැවිනි. මෙම ස්වාභාවික සාධක අතර සූර්යයාගේ ශක්තියේ වෙනස්වීම්, යමහල්(ගිනිකඳු) පුපුරා යාමේ බලපෑම සහ එල් නිනෝ සංසිද්ධිය වැනි දේශගුණික චක්‍ර ඇතුළත් වේ.
එසේ වුවද, 1980 සිට 2010 දක්වා වූ දශක තුන ගතහොත්, පෙර දශක හා සසඳන විට වාර්තාගත උණුසුමක් පෙන්නුම් කරයි. සහස්‍රයේ ආරම්භයේ සිට ලෝකයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් මීට වසර 150 කට පෙර වික්ටෝරියානු කාලයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 0.75 කින් වඩා උණුසුම් වූ අතර 2015 දී එය සෙන්ටිග්‍රේඩ් අංශක 1කට වඩා උනුසුම් මට්ටමට පැමිණියේය.
මතුපිට සිට ගැඹුරට සාගර උණුසුම් වීම සහ අයිස් හා හිම ආවරණය අඩු වීම ඇතුළු ලොව පුරා නිරීක්ෂණ මගින් ග්‍රහලෝක පරිමාණයේ උනුසුම් වීම සිදුවන බවට තවත් සාක්ෂි සපයනු ලැබේ.

අයිස් දියවීම සහ ඉහළ යන මුහුදු මට්ටම්
ගෝලීය උනුසුම් වීම ආක්ටික් මුහුදු අයිස් දැඩි ලෙස අඩු කර ඇත. 2016 දී සහ මෑතක තවත් වසර කිහිපයකදී, හිම දියවන ගිම්හාන සමය අවසානයේදී, මුහුදු අයිස් මගින් ආවරණ කරණුලැබුවේ විසිවන සියවස අවසානයේ දි ආවරණය වූ ප්‍රදේශයට වඩා තුනෙන් දෙකකට වඩා අඩු ප්‍රදේශයකි. එය නිසි පර්යාලෝකයක තබා බැලුවහොත්, එය එක්සත් රාජධානිය, අයර්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය සහ ඉතාලිය යන ප්‍රදේශ එකතුව ගත් කල ප්‍රදේශයට සමාන ප්‍රමාණයක අඩුවකි. මෙම පාවෙන අයිස් දියවීම මුහුදු මට්ටම ඉහළ නංවන්නේ නැත, එසේනමුත් මෙම පරිමාණයෙන් වෙනස් වීම යුරෝපය, ආසියාව සහ උතුරු ඇමරිකාව පුරා කාලගුණය වෙනස් කළ හැකිය.
මීට අමතරව, ලෝකය උණුසුම් වී ඇතුවාක් මෙන්ම සාගරවල ජලය ප්‍රසාරණය වී ඇත; බොහෝ කඳුකර ග්ලැසියර පක්‍රමනය වී ඇති අතර ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් තලා හැකිලී ඇත. මෙම වෙනස්කම්, දීර්ඝ කාලීන උදම් මිනුම් සහ මෑත චන්ද්රිකා දත්ත පෙන්වන පරිදි මුහුදු මට්ටම ඉහළ දමා තිබේ.
කුණාටු උත්සන්න වූ විට මුහුදු මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵල වඩාත් තියුණු ලෙස දැනේ. කනගාටුවට කරුණ නම්, ෂැංහයි, ජකර්තා සහ මුම්බායි ඇතුළු ලෝකයේ දැනට පවතින හා සංවර්ධනය වෙමින් පවතින මෙගාසිටි බොහෝමයක් අවදානම් සහිත වෙරළබඩ ප්‍රදේශවල පිහිටා තිබීමයි. 2012 දී සැන්ඩි සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝර්ක් නගරයට බලපෑ ගංවතුර තත්ත්වය කුණාටු හේතුවෙන් වැදගත් යටිතල පහසුකම්වලට ඇති වන හානිය පෙන්නුම් කළේය.

දනට, තේම්ස් බාධකය, ලන්ඩනය ගංවතුරෙන් ආරක්ෂා කරයි, එසේනමුත් මුහුදු මට්ටම සැලකිය යුතු ලෙසට ඉහළ යාමක් සිදුවුවහොත් මිල අධික මිළක් වැයවෙන විගැන්වීමක් කිරීම අවශ්‍ය වනු ඇත. අනෙකුත් බොහෝ නගර සඳහා, එවැනි ආරක්ෂාවන් එක්කෝ සිදු කළ නොහැක නැතහොත් ආගැනීම්ට නොහැකි තරනට වියදම් අධික වනු ඇත.