ආහාර වගාකිරීම සහ සොබාදහම ආරක්ෂා කිරීම අතර ගැටුම් නිර්මාණය විය යුතුද?

Posted by

ආහාර වගාකිරීම සහ සොබාදහම ආරක්ෂා කිරීම අතර ගැටුම් නිර්මාණය විය යුතුද? නැත – මෙන්න ඔවුන් ඒ සඳහා වැඩ කළ හැකි ආකාරය

ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කරන අතරම තිරසාර, පරිසර හිතකාමී ආකාරයකින් ආහාර වගා කිරීම  අද එක්සත් ජනපදය හා ලෝකය මුහුණ දෙන වැදගත්ම අභියෝග අතර වේ.

දැනට පවතින COVID-19 වසංගතය අපට මතක් කර දෙනු ලබන්නේ ආහාර සුරක්ෂිතභාවය සුළුකොට තැකිය නොහැකි බවයි. දැරිය හැකි අන්දමකට ආහාර සැපයීමමට නම්, නව්‍යකරණ නිෂ්පාදකයින් සහ මනාව ක්‍රියාත්මක වන වෙළඳපල සහ ගෝලීය සැපයුම් දාම අවශ්‍ය වේ.  පද්ධතියට ඇති වන බාධාවන් සමඟ මිල ඉහළ යයි; ආහාර හිඟවෙයි; සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට කුසගින්නෙන් පෙළීමට සිදුවේ.

එහෙත්,  (ඇමරිකානුවන් මිලියන 332 ක් ද ඇතුළුව) ලෝකයේ බිලියන 7.8 ක ජනතාව තිරසාරව පෝෂණය කිරීම  

සැලකිය යුතු පාරිසරික අභියෝගයන් ඉදිරිපත් කරයි. ලෝකයේ මිරිදිය ජලයෙන් 70% ක් ගොවිතැන සඳහා භාවිත කෙරේ. පොහොර, නයිට්රේට් සහ පොස්පේට් වශයෙන් ජලය දූෂණය කරයි, මෙය, ඇල්ගී ප්‍රවර්ධනයටත්,  සෑම ගිම්හානයකම මෙක්සිකෝ බොක්කෙ ඇති වන මළ කලාප නිර්මාණයකිරීමටත් හේතුවෙයි.

වනාන්තර විනාශයේ ප්‍රධාන ගාමක බලවේගය වන්නේ ගොවිපලවල් සහ සත්ව ගොවිපලවල් සඳහා ඉඩම් සුද්ධකිරීමයි.  සමස්තයක් ලෙස අපේ ග්‍රහලෝකයට සෑම වසරකම වර්ග සැතපුම් 48,000 ක් (වර්ග කිලෝමීටර් 125,000) වනාන්තර අහිමි වේ. වාසස්ථාන නොමැතිව වනජීවීහු අතුරුදහන් වෙති. තවද,  ගොවිතැන මගින්   ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් හතරෙන් එකක් පමණ නිෂ්පාදනය කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ කුසගිනි අර්බුදය සහ පාරිසරික අර්බුදය යන දෙකම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පේවී සිටින බයිඩන් පරිපාලනයට මෙම අභියෝග සියල්ල ආහාර නිෂ්පාදනයකිරීම සහ පාරිසරික ආරක්ෂාව සැලසීම තුලනය කිරීමේ දී තීරණාත්මක වේ. 

එක්සත් ජනපද ගොවිපල ප්රතිපත්තිය සඳහා වු ඇඟවුම්

ජනතා කුසගින්න හා කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශේෂඥතාවක් දක්වන බොහෝ දෙනෙකු අදහස් කරන්නේ වර්ධනය වන ගෝලීය ජනගහනයෙහි කුසගින්න නිවීම උදෙසා ඉදිරි දශක කිහිපය තුළ ආහාර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩිවිය යුතු බවය. ඒ අතරම,  ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම සඳහා කෘෂිකර්මාන්තයේ පාරිසරික බලපෑම් හැකිලීමට අවශ්‍ය බව ද පැහැදිලිය  .

“මෙම ද්විත්ව අරමුණු සපුරාලීම සඳහා මගේ මතයට අනුව නම් නව තාක්‍ෂණයන් පිළිබඳ පර්යේෂණ හා ව්‍යාප්තිය වෙනුවෙන් රජයේ නව ආයෝජන අවශ්‍ය වේ” යයි පර්ඩියු විශවිද්‍යාලයේ කෘෂිකාර්මික ආර්ථික විද්‍යා මහාචාර්ය ‍තෝමස් හර්ටල් පවසයි. විද්‍යා කටයුතු සඳහා අරමුදල් සැපයීමෙ දී දශක දෙකක් තිස්සේ  ඇතිවූ පසුබෑම  ආපසු හැරවීම මෙහිදී ප්‍රමුඛ වේ.  නව තාක්‍ෂණයන් හා වැඩිදියුණු කළ කළමනාකරණ භාවිතයන් ගෙන් පෝෂිත කෘෂිකර්මාන්තය දැන් දැනුම මත පදනම් වූ කර්මාන්තයක් වේ. කෘෂිකර්මාන්තයේ මෙකී වර්ධනයට අඩිතාලම දැමුණේ රාජ්‍ය අරමුදල් පරිහරණය මගින් සිදු කෙරුණු පර්යේෂණයි

පාරිසරික වාසි ලබා ගැනීම වස්, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සංරක්ෂණ සංචිත වැඩසටහන(Conservation Reserve Program) නවීකරණය කිරීම හා ස්ථාවර කිරීම අවශ්‍ය වනු ඇතැයි හර්ටල් විශ්වාසය පළ කරයි. එමඟින් එය ආර්ථික වශයෙන් ශක්‍ය වන අතර බඳවා ගැනීම් වෙළඳපල තත්ත්වයන් සමඟ උච්චාවචනය නොවේ. ට්‍රම්ප් පරිපාලනය දිරි දීමනා සහ කුලී ගෙවීමේ අනුපාත අඩුකළ අතර එමඟින් බඳවා ගැනීම් පහත වැටිණ. බයිඩන් පරිපාලනය මේ වන විටත්,  වැඩසටහන සඳහා බඳවා ගැනීමේ දී වාර්ෂිකව අත්සන් කළ යුතු ගිවිසුම්  දින නියමයක් නොමැතිව දීර්ඝකරමින් යම් සාධනීය පියවරක් ගෙන තිබේ.

පාරිසරික වශයෙන් සරු ප්‍රදේශ ස්ථිර ලෙස ආරක්ෂා කරමින් උතුරු යුරෝපය ලබා දී ඇති ආදර්ශය අනුගමනය කිරීමත්, දැනුමෙන් පෝෂිත කෘෂිකාර්මික ඵලදායිතාව සඳහා එකවර ආයෝජනය කිරීමත්, අනාගත පරම්පරාවන් වෙනුවෙන්  වනජීවීන් සහ එහි ස්වාභාවික පරිසරය වඩා හොඳින් ආරක්ෂා කර ගැනීමටත්, දැරිය හැකි ආහාර සැපයුමක් පවත්වා ගැනීමටත් එක්සත් ජනපදයට හැකි වෙතැයි හර්ටල් අදහස් කරයි.

Growing food and protecting nature don't have to conflict – here's how they  can work together

ලෝකය පෝෂණය කරන්නෝ කවරහු ද?

කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන රටක් වූ එක්සත් ජනපදය යුරෝපා සංගම් ආකෘතිය අනුගමනය කරමින් පාරිසරික ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම උදෙසා  කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් පරිහරණයෙන් ස්ථිරවම ඉවත් වුවහොත් කුමක් සිදුවේද? එවැනි ක්‍රියාමාර්ගයක් නිසා ලෝකයේ දුප්පත්ම පාරිභෝගිකයින්ට ආහාර යනු දැරිය නොහැක්කක් බවට පත්වේද?

මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම පිණිස 2020 දී හර්ටල්, පර්ඩියු සරසවියේ සිය සගයන් සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදු කළ අධ්‍යයනයක දී,  පරිගණක ආකෘතියක් සකස් කෙරිණ. එහි අරමුන වූයේ එක්සත් ජනපදය සහ අනෙකුත් ධනවත් ආර්ථිකයන් උතුරු යුරෝපීය සංරක්ෂණ උපාය මාර්ග අනුගමනය කළහොත් 2050 වන විට ලොව පුරා ආහාර මිල ගණන් වලට සිදුවිය හැකි දේ සටහන් කිරීමය.  ඔවුන්ගේ විශ්ලේෂණයේ දී ප්‍රධාන වශයෙන්අවධානය යොමුකරන ලද්දේ, ලෝකයේ වඩාත්ම ආහාර-අනාරක්ෂිතකලාපය වන සහරාවෙන් පහළ අප්‍රිකානු කලාපය හෙවත් උප සහරානු කලාපය වෙතයි(sub-saharan).

මේ ආකාරයෙන් ආහාර නිෂ්පාදනය වෙනස් කිරීමෙන් එම කලාපයේ ආහාර මිල 6% කින් පමණ ඉහළ යනු ඇති බව පර්යේෂකයො සොයා ගත්හ. කෙසේ වෙතත්, මෙම ඉහළ මිල ප්‍රවණතාව ආපසු හැරවිය හැක්කකි. ඒ, අප්‍රිකාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා දේශීය කෘෂිකර්මාන්තය සහ නව තාක්ෂණයන් වෙනුවෙන් ආයෝජනය කිරීමෙනි. කෙටියෙන් කිවහොත්, එක්සත් ජනපදයේ පරිසරය සංරක්ෂණය කිරීම, වෙනත් රටවල ආහාර අනාරක්‍ෂිතතාවයට හේතු විය යුතු නැති බව පර්යේෂණයෙන් අනාවරණය විය.

The Conversation හී පළවූ Growing food and protecting nature don’t have to conflict – here’s how they can work together යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.