ප්‍රේමයේ චමත්කාරයෙන් නැතිනම් රොමාන්තික ආදරයෙන් වෙළුන විට මොළයෙහි ඉෂ්ටඵල පද්ධතියෙහි(reward system) අපේ ආදර බැම්මේ ආරම්මණය ඉටු කර ගැනීමට අප පොළඹවන සංකීර්ණ විපර්යාසයන් මාලාවක් සම්බන්ධවේ.
යමෙකු ගැන ආදර හැඟීමක් ඇතිවීමේ සිට ආලයෙන් වෙලීම දක්වා වූ පරිණාමය ඔබ අත්විඳ ඇත්නම් එය ස්වභාවිකව සිදුවන සංක‍්‍රමණයක් යයි දැනී යා හැකිය. එහෙත් එවන් විශාල චිත්තාවේග පිම්මක් අප සිදු කරන්නේ කෙසේද යයි නිකමටවත් හිතුවාද? වෙනත් වචනවලින් පවසතොත් දැඩිව පේ‍්‍රමයෙන් වෙළීමට මග පාදමින් අපේ මොළයේ ඇතිවන්නේ මොනවාගේ වෙනස්කම් ද?

චිකාගෝ විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක වන ස්ටෙෆ්නි කැසියෝපෝ රොමැන්තික ආදරයේ ස්නායු විද්‍යාව ගැන පසුගිය දශකය මුළුල්ලේ හදාරමින් සිටියි. ආලයෙන් වෙලීමේ කි‍්‍රයාදාමයේ දී මොළයේ, විශේෂයෙන්ම ඉෂ්ටඵල පද්ධතියෙහි සංකීර්ණ විපර්යාසයන් ගණනාවක් සිදුවන බව ඇය පෙන්වා දෙයි. වඩාත් සුවිශේෂීව කීවොත්, පේ‍්‍රමය ගැන සැකසුණු ලේඛන පිළිබඳව උටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥයන් වන ලීසා ඩයමන්ඞ් සහ ජන්නා ඩිකන්සන් 2012 සිදු කළ සමාලෝචනයක දී පෙනී ගියේ රොමැන්තික ආදරය මොළයේ කලාප දෙකක– එනම් තුන්දිය(කුහර) විනාහක ප‍්‍රදේශය(ventral tegmental area VTA) සහ සපුච්ජ් න්‍යෂ්ටිය(caudate nucleus) යන කලාප දෙක සමග රොමැන්තික ආදරය වඩාත්ම සංගතව සම්බන්ධ බවයි. මොළයේ මෙම ප‍්‍රදේශ දෙක අපගේ ඉෂ්ටඵල ගමන් මග තුළ වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර තෘප්තිකර හැඟීමේ ස්නායුසම්පේ‍්‍රෂක ඩොපමයින් නියාමනය කරයි. වෙන විදිහකට දක්වතොත් ආදරයෙන් වෙළෙන මුල් අවධියේ ඔබ කැමති පුද්ගලයාටට ආශක්ත වන්නේ ඔහු හෝ ඇය ඔබගේ හිතට යහ හැඟීමක් හෙවත් තෘප්තිකර හැඟීමක් එක් කරන හෙයිනි.

කාලය ගෙවී යද්දී මේ හැඟීම් දිගටම නොනැසී පවතී. අපේ ස්නායුඅනුරූපන පර්යේෂණ සහ අන් අයගේ පර්යේෂණ පෙන්නුම් කරන්නේ කෙනෙකු ආදරයෙන් වෙළුනු පසුව එම සම්බන්ධතාව තෘප්තකරව පවතින තාක් කල් හුදු ඔබේ සහකරු හෝ සහකාරීය ගැන සිතීමට පවා සිතට ප‍්‍රීතියක් ගෙන දෙනවා පමණක් නොව වේදනවා, ආතතිය සහ අනෙකුත් සෘණාත්මක හැඟීම්වලට එරෙහි අවරෝධකයක් ලෙස ද ක‍්‍රියා කරයි.
රොමැන්තික ආදරයේ ආරම්භක මනමත් කරවන අවධිය, වසර ගණනාවක් තිස්සේ පෝෂණය වූ ආදරය අතර වෙනසක් තිබිය හැකි වුවත් අපේ මොළයට එහි වෙනසක් දැනීම අවශ්‍යම නැත. වර්තමානයේ සැන්ටා බාබරාහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විද්‍යාඥයෙකු වන බියන්කා අසවේදෝ ගේ මෙහෙයවීමෙන් සිදුකළ අධ්‍යයනයක දී ඊට සහභාගී වූවන් විවාහ වී වසර 21.4 සාමාන්‍යයක් ගත වූවද එකිනෙකා කෙරෙහි දැඩි ආදර හැඟීමෙන් පසුවන බව වාර්තා කළ අතර ආලයට මුල පුරන කාලයේ දී දැකිය හැකි අන්දමේ ම ක‍්‍රියාකාරීත්වයක් (මොළයේ) VTA වැනි ඩොපමයින් බහුල ප‍්‍රදේශවල පෙන්වන බව අනාවරණය විය.
ලෝකය පුරාම විවිධ ලිංගිකයන්, විවිධ සංස්කෘතීන් මෙන්ම (විෂම ලිංගික, සම ලිංගික යනාදී වශයෙන්) විවිධ ලිංගික ප‍්‍රවණතා අතරේ රොමැන්තික ආදරයේ ස්නායුක රටා (neural patterns of romantic love) පොදු ස්වභාවයක් ගනී. එහෙත්, ඩයමන්ඞ් හා ඩිකින්සන් දෙදෙනාට අනුව සෑම ආකාරයකම ආදරය හෝ ඇලූම් එක සමාන නොවේ. නිදසුනක් ගත්තොත් රොමැන්තික ආදරය සහ ආධ්‍යාත්මික ආදරය සුවිශේෂී ස්නායුක ලකුණු සහිත විය හැකියි. ඒ වගේම අධ්‍යයන පෙන්නුම් කරන්නේ ආකර්ෂණය හා ලිංගික ආශාවට මුල්වන ස්නායුක ක‍්‍රියාදාමයන් රොමැන්තික ආදරය නියාමනය කරන ක‍්‍රියාදමයන් හා එක පෙළට, සමහර විට අතිපිහිත වෙමින් (එකක් මත එකක් වැටෙමින්) ඇතිවිය හැකි නමුත් ඒවා බොහෝ කොට එකිනෙකින් සුවිශේෂී කොට ගත හැකි බවයි.
කෙසේ වතුදු, මේ තාක් සිදුකර ඇති කිසිම අධ්‍යයනයක් එකම පුදගලයෙකුගේ රොමැන්තික ජීවිතය පුරාවටම සොයා බලමින් කාලයත් සමග ස්නායුක විපර්යාසයන් සිද්ධවන්නේ දැයි සෙවීම පිණිස පරීක්ෂණ පවත්වා නොමැත. අපේ අවබෝධයෙහි ඇති මෙවැනි හිඩැස පියවීමට විද්‍යාඥයෝ වර්තමානයේ උත්සාහ දරමින් සිටිති. මේ කාරණයේ දී ක‍්‍රියාකාරී වන මොළ ක‍්‍රියාදාමයන් වෙන් කර හඳුනා ගැනීමට අනාගත පර්යේෂණ සමත්විය හැකිය. මුල් ආදර හැඟීම් ඇති වූ නුහුර තැන සිට ප‍්‍රථම වරට ‘‘මම ඔයාට ආදරෙයි’‘ යනුවෙන් පවසන මොහොත දක්වා පවුල, මිත‍්‍රයන්, ස්ථාන යන දේවල් යනාදි වශයෙන් විවිධ ආකාරයේ ආදරයන් හා සම්බන්ධවන ස්නායුක ක‍්‍රියාදාමයන් ගැන ඉදිරියේ දී සිදුකරන පර්යේෂණ වලදී සොයා බලනු ඇත.
Scientific American හි පළවූ What Goes On in Our Brains When We Are in Love? යන ලිපිය ඇසුරෙනි