පූර්ව කාර්මික යුගයේ සිට මෙතෙක් අපේ ග්‍රහ ලෝකයේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 1.09(℃) ඉහළ ගොස් ඇති අතර මුහුදු මට්ටම ඉහළ යාම සහ ග්ලසියර දියවීම ආදී වශයෙන් විපර්යාසයන් බොහොමයක් දැන් ආපසු හැරවිය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) විසින් මෙතෙක් නිකුත් කරන ලද වඩාත්ම බැරෑරුම් වාර්තාව පෙන්වා දෙයි. වාර්තාව නිකුත්වූයේ පසුගිය සදුදා(9 දා) ය.

මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන්ගෙන් ගැලවීම තවදුරටත් කළ නොහැකි බව ද පෙණී යන්නේය’යි වාර්තාවෙන් දැක්වේ. දේශගුණික විපර්යාස දැන් පෘථිවියේ සෑම මහද්වීපයකම, ප්‍රදේශයකම සහ සාගරයකටම මෙන්ම කාලගුණයේ සෑම අංශයකටම බලපායි.
දීර්ඝ කාලයක් බලා සිටි මේ වාර්තාව, 1988 දී IPCC මණ්ඩලය පිහිටුවීමෙන් පසු නිකුත් කළ මේ ආකාරයේ හයවන තක්සේරුවයි. එන නොවැම්බර් මාසයේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන තීරණාත්මක ජාත්‍යන්තර සමුළුවකට පෙර දේශගුණික විපර්යාස පිළිබඳ කාලෝචිත හා නිවැරදි තොරතුරු ලෝක නායකයින්ට එමගින් ලබා දෙනු ඇත.
IPCC යනු එක්සත් ජාතීන්ගේ සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ(World Meteorological Organization) ඉහළම මට්ටමේ දේශගුණික විද්‍යා ආයතනයයි. පෘථිවියේ දේශගුණය සහ මානව ක්‍රියාකාරකම් අතර අන්තර්සම්බන්ධය පිළිබඳ ගෝලීය අධිකාරිය එයයි. මෙම නව තක්සේරු වාර්තාව සඳහා ලොව පුරා සිටින දහස් ගණන් විද්‍යාඥයින්ගේ වැඩ කටයුතුවලින් දායකත්වය ලබාගෙන ඇතැයි නවතම IPCC වාර්තාවේ කතුවරු පෙන්වාදෙති.

කනගාටුවට කරුණ නම්, අගෝස්තු 9 දා නිකුත් කරන ලද පිටු 3,900 ක් යුතු වාර්තාව තුළ කිසිඳු සුබ ආරංචියක් නොමැති වීමයි. ඒ නමුත් මිනිසුන් කැමති නම් හා සූදානම් නම් නරකම හානිය වළක්වා ගැනීමට තවමත් ටික කාලයක් (ඉතිරිව) තිබේ.
පෘථිවිය උණුසුම්වීම මිනිසුන්ගේ ක්‍රියාකාරකම්හේතුවෙන් සිදුවන බව නිසැකයි, සත්තයි!
වායුගෝලය, ගොඩබිම සහ සාගර උණුසුම් වීම සඳහා මිනිසුන් වගකිව යුතුය යන්න, සැකයට කිසි ඉඩක් නොතබා IPCC ය මෙසේ අවිවාදයෙන් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රථම වතාවටයි. පෘථිවියේ මතුපිට උෂ්ණත්වය වර්ෂ 1850-1900 කාලයේ සිට පසුගිය දශකය දක්වා කාලය අතර 1.09℃ ඉහළ ගොස් ඇති බව අයිපීසීසී සොයා ගනී. මෙය මීට පෙර 2013 දී IPCC වාර්තාවෙහි දැක්වූවාට වඩා අංශක 0.29℃ කින් උණුසුම් ය. (මෙයින් 0.1℃ක් දත්ත වැඩි දියුණු කිරීම හේතුවෙන් ඇතිවූ බව වාර්තාවේ ඳහන් වෙයි). පෘථිවි දේශගුණයේ ස්වභාවික විපර්යාසයන් ඉටුකරන භූමිකාව IPCC ආයතනය පිළිගනී. කෙසේ වෙතත් මේ 1.09℃ වැඩිව ඇති උණුසුමින් 1.07℃ක් මානව ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායූන් නිසා ඇතිවී තිබෙන බව IPCC මගින් සොයා ගනු ලැබ ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ගෝලීය උණුසුම ඉහළ යාමේ වැඩි දායකත්වය ලබා දී ඇත්තේ මිනිසා විසිනි.

පසුගිය වසර 2000 තුළ ඕනෑම අවුරුදු 50 ක කාලයක් ගතහොත් ඊට වඩා 1970 සිට පෘථිවියේ මතුපිට උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර ඒ උණුසුම්වීම මීටර් 2,000 ටත් යට ගැඹුරු සාගර දක්වා බලපා තිබේ. IPCC වාර්තාව පවසන්නේ ගෝලීය වර්ෂණයට ද(precipitation – වර්ෂාව සහ හිම) මානව ක්‍රියාකාරකම් ද බලපා ඇති බවයි. 1950 සිට සමස්ත ගෝලීය වර්ෂාපතනය වැඩි වී ඇති නමුත් සමහර ප්‍රදේශ වඩාත් තෙත් වෙද්දී අනෙක් ඒවා වඩා වියලි බවට පත්ව ඇත.
බොහෝ ගොඩබිම් ප්‍රදේශවල වර්ෂාපතනමය සිදුවීම් වල වාර ගණන සහ තීව්‍රතාවය වැඩි වී ඇත. එයට හේතුව උණුසුම් වාතාවරණයට, වැඩිවන එක් එක් අතිරේක උෂ්ණත්ව අංශකයක් පාසා 7% පමණ වැඩි පුර තෙතමනයක් රඳවා ගැනීමට හැකි වීමයි. මේ නිසාවෙන් තෙත් කාලපරාසයන් හා වර්ෂාපතනමය අවස්ථාවන් වැඩි තෙතමනයකින් යුක්ත වෙයි. ඒ නිසා අධික වර්ෂණමය(heavy precipitation events) සිදුවීම් වල වාර ගණන සහ තීව්‍රතාවය වැඩි වී ඇත.
කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වේගයෙන් වර්ධනය වෙයි
වත්මන් කාලයේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්(CO₂) සාන්ද්‍රණය අවම වශයෙන් පසුගිය මිලියන අවුරුදු දෙකක් තුල ඇති ඕනෑම අවස්ථාවක තිබූ සාන්ද්‍රණයට වඩා වැඩි වනවා පමණක් නොව ඒ වැඩිවීමද ඉතා වේගයෙන් සිදුවෙයි. වායුගෝලීය CO₂ වර්ධන වේගය පසුගිය වසර 800,000 තුළ වෙනත් ඕනෑම කාලයකට වඩා කාර්මික විප්ලවයෙන් පසුව (ක්‍රි.ව. 1750) දස ගුණයකින් පමණ වැඩි වූ අතර පසුගිය වසර මිලියන 56 තුළදී සිදු වූ වේගයට වඩා හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි වේ. CO₂වලින්, 85% ක් පමණ වායු ගෝලයට එක්වන්නේ ෆොසිල ඉන්ධන දහනයයෙන් ඇතිවන විමෝචන නිසාවෙනි. ඉතිරි 15% ජනනය කරනු ලබන්නේ වනාන්තර විනාශය හා හායනය(deforestation and degradation) ආදී වූ ඉඩම් පරිහරණ වෙනස් වීම් මගිනි.

අනෙකුත් හරිතාගාර වායුවල සාන්ද්‍රණයන් ද මීට වඩා යහපත් නොවන්නේය. CO₂ වලට පසු ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට දෙවන හා තෙවන විශාලතම දායකත්වය සපයන මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් යන වායු දෙකේ වායුගොලීය සාන්ද්‍රණයද වෙගයෙන් ඉහළ ගොස් ඇත. මිනිස් ක්‍රියාකාරකම් අතුරෙන් මීතේන්(Methane) විමෝචනය බොහෝ දුරට සිදු වන්නේ පශු සම්පත් සහ පොසිල ඉන්ධන කර්මාන්තයෙන් ය. නයිට්‍රස් ඔක්සයිඩ්(Nitrous oxide) විමෝචනය බොහෝ දුරට සිදු වන්නේ බෝග සඳහා නයිට්‍රජන් පොහොර යෙදීමෙනි.