IPCC විසින් මෙතෙක් නිකුත් කරන ලද වඩාත්ම බැරෑරුම් වාර්තාව
1950 න් පසු බොහෝ ගොඩබිම් ප්‍රදේශ ආශ්‍රිතව උණුසුම වැඩිවීම, දැඩි තාපය සහ අධික වර්ෂාව නිතර නිතර ඇති වීම සහ තීව්‍ර වීම සිදුවෙමින් පවතින බව IPCC වාර්තාව තහවුරු කරයි. 2012-2013 ඕස්ට්‍රේලියානු ගිම්හානය මෙන් ම වඩා මෑතකදී නිරීක්ෂණය කළ ඇතැම් උණුසුම දරුණුවීමේ සිදුවීම්, දේශගුණය කෙරෙහි ඇතිවූ මිනිස් බලපෑමක් නොමැතිව සිදවීම ඉතා අසීරු බව වාර්තාව අවධාරණය කරයි. සංකීර්ණ ආන්තික දේශගුණසිදුවීම් වලට හේතුවන මානවයන්ගෙ බලපෑම ද ප්‍රථම වරට නිශ්චිතව සොයා ගනු ලැබ ඇත. නිදසුනක් වශයෙන්, තාප තරංග නිසා එක්වරම ඇතිවන අධික උණුසුම, නියඟය සහ ගිනිගැනීම් සහිත සිදුවීම් දැන් බහුලව දක්නට ලැබේ. මෙම සංයුක්ත සිදුවීම් ඕස්ට්‍රේලියාව, දකුණු යුරෝපය, උතුරු යුරේසියාව, ඇමරිකාවේ සමහර ප්‍රදේශ සහ අප්‍රිකානු නිවර්තන වනාන්තර වල බෙහෙවින්ද දැක ඇත.
ජාතික විදුලිබල සැපයුම අඩා කරමින් ඇතන්ස් අසල දරුණු ලැව් ගිනි ගැනීම් වලට හේතු වූ දශක කිහිපයක් තුළ හටගත් නරකම උණුසුම් කාලගුණය සමඟ ග්‍රීසිය දැන් පොර බදමින් සිටී.

සාගර උණුසුම්වීම, ඉහළයාම හා ආම්ලික බව වඩාත් වැඩිවීම
ඉහළ යන ගෝලීය උණුසුම නිසා වැඩි වූ වායුගෝලීය හරිතාගාර වායූ වලින් 91% ක්ම් සාගර මගින් අවශෝෂණය කරනු ලැබේ. මෙය විශේෂයෙන්ම පසුගිය අවුරුදු 15 තුළ සාගර උණුසුම් වීමට සහ සාගර තාපය වැඩි වීමට හේතු වී තිබේ. සාගර තාප තරංග හේතුවෙන් සාගර ජීවීන් විශාල වශයෙන් මරණයට පත් වේ (ඊට බෙහෙවින් හේතු වන්නේ සහජීවී ක්ෂුද්‍ර ඇල්ගී ඉවත්වීම හා විනාශවීම නිසයි.) ඒ හැර කොරල් විරංජනය වීමේ සිදුවීම් පෘථුල වන අතර ඒවා ඇල්ගී මල් පිපීමට සහ කොරල් විශේෂයන්හි සංයුතියේ වෙනස්කම් සිදු වීමට ද හේතු වේ. පැරිස් ගිවිසුම සමග අනුරූපවන සේ ලෝකයේ රටවල් උණුසුම්වීම 1.5℃-2℃ සීමා කිරීමට හැකි වුවද ,සාගර තාප තරංග ඇතිවීමේ සීඝ්‍රතාව මේ සියවස අවසන් වන විට හතර ගුණයකින් වැඩිවේ.
දියවන අයිස් තලා සහ ග්ලැසියර, සාගරය උණුසුම් වන විට ඒවා ප්‍රසාරණය වීමත් සමඟම 1901 සිට 2018 දක්වා කාලය තුළ ගෝලීය වශයෙන් මධ්‍ය මුහුදු මට්ටම මීටර් 0.2 දක්වා ඉහළ යාමට හේතු වී ඇත. නමුත් වඩාත් වැදගත් කරුණ නම් මුහුදු මට්ටම ඉහළ යාම එන්න එන්නම සීඝ්‍රවීමයි: ඒ වර්ෂ 1901-1971 කාලය තුළ මිලිමීටර 1.3ක්, 1971-2006 කාලය තුළ වසරකට මිලිමීටර් 1.9 ක් සහ 2006-2018 කාලය තුළ මිලිමීටර් 3.7 ක් වශයෙනි. CO₂ වැඩිවීම හේතුවෙන් ඇතිවන සාගර ආම්ලීකරණය සියලු සාගර පුරාවට හටගෙන ඇති අතර, දක්ෂිණ සමුද්‍රයේ හා උතුරු අත්ලාන්තික් සාගරයේ මීටර 2,000ට කට වැඩි ගැඹුරකට පැමිණ තිබේ.
මුහුදු මට්ටම ඉහළ යාම පැසිෆික් සාගරයේ පහත් මට්ටමේ දූපත් පැවැත්මට තර්ජනයකි.
බොහෝ විපර්යාසයන් දැනටමත් ආපසු හැරවිය නොහැකිය.
IPCC වාර්තාව පවසන්නේ පෘථිවියේ දේශගුණය ඉක්මනින් ස්ථාවර නොවුවහොත් සමහර දේශගුණික විපර්යාස මඟින් සිදු වූ හානිය සියවස් ගණනාවක් ඇතුළත හෝ සහස්‍ර ගණනාවක් තුළදී හෝ ආපසු හැරවිය නොහැකි බවයි. උදාහරණයක් ලෙස, මෙම සියවසේ 2℃ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂ 2000 ක් පුරා සාමාන්‍ය ගෝලීය මුහුදු මට්ටම මීටර් දෙකත්, හයත් අතර ඉහළ යාමට මග පාදයි. ඒ අතර වඩාත් ඉහළ හරිතාගාර වායු විමෝචනයක් ඇති වන විට ඒ ප්‍රමාණය තවත් බෙහෙවින් වැඩි කිරීමට හේතු වන්නේය. ගෝලීය වශයෙන් ගත් කල,1950 සිටම ග්ලැසියර එකවිට පසුබසිමින් සීටී. එහෙත් ගෝලීය උෂ්ණත්වය ස්ථායි වීමෙන් පසුව ද දශක ගණනාවක් තිස්සේ එම දියවී යාම අඛණ්ඩව සිදු වෙතැයි තක්සේරු කෙරේ. මේ අතර, ගැඹුරු සාගරයේ ආම්ලීකරණය CO₂ විමෝචන අවසන් වී වසර දහස් ගණනක් තිස්සේ පවතිනු ඇත. මෙම සියවස තුළ ගෝලීය උණුසුම වේගවත් කිරීම සඳහා හේතු විය හැකි හදිසි වෙනස්කම් ඇතිවීම IPCC වාර්‍තාව මඟින් හඳුනාගනු ලැබ නැතත් එවැනි හැකියාවන් ද එමගින් බැහැර නොකරේ.

ඇලස්කාවේ, කැනඩාවේ සහ රුසියාවේ නිත්‍ය තුහීන (මිදෙන පස්) දියවීයාමේ ප්‍රවණතාවය වාර්තාවෙන් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව ඇත. කනස්සල්ලට කරුණ නම් මිදුණු බිම් දියවී යාමත් සමඟ මිය ගිය ශාක හා සතුන් දිරාපත් වන විට වසර දහස් ගණනක් තිස්සේ එකතු වූ විශාල කාබන් ප්‍රමාණයක් මුදා හැරිය හැකි වීමයි. දැනට පවතින සාක්ෂි වලට අනුව මේ සියවස තුළ මෙම කලාපයන්හි ගෝලීය වශයෙන් සැලකිය යුතු හදිසි වෙනස් වීමක් පිලිබඳව වාර්තාව විසින් හඳුනාගනු ලැබ නොමැත. කෙසේ වෙතත්, උණුසුම් වන සෑම අතිරේක අංශකයක්ම සඳහාම නිත්‍ය තුහින ප්‍රදේශ මඟින් අමතර කාබන් ඩයොක්ස්යිඩ් ටොන් බිලියන 66 ක් පමණ මුදා හැරෙනු ඇතැයි වාර්තාව පුරෝකථනය කරයි. . මෙම සියවසේදී ඇති විය හැකි සියළුම උනුසුම් තත්වයන් යටතේ මෙම CO₂ විමෝචනය ආපසු හැරවිය නොහැකි එකකි.

අප දේශගුණය ස්ථාවර කරන්නේ කොහොමද?
වාර්තාව මගින් සලකා බලන ලද සියලු විමෝචනය සිදුවීම් හමුවේ පෘථිවි මතුපිට උෂ්ණත්වය අවම වශයෙන් 2050 වන තෙක්වත් දිගටම ඉහළ යනු ඇත. තක්සේරුවෙන් පෙන්නුම් කරන්නේ පෘථිවිය 2030 ගණන්වල මුල් භාගය වන විට1.5℃ උෂ්ණත්ව සීමාව ඉක්මවා යා හැකි බවයි. අප CO₂ විමෝචනය ප්‍රමාණවත් ලෙස අඩු කළ හොත්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 1.5℃ මට්ටමට පවත්වා ගැනීමට ඇත්තේ 50% ක අවස්ථාවක් පමණි ( 0.1℃ දක්වා තාවකාලික ඉක්මවා යාමක් ද ඇතුළත්ව). පෘථිවි නැවත 1.5℃ ට පහළ උණුසුම් මට්ටමට ගැනීමට නම් CO₂ සෘණ විමෝචනය තාක්ෂණය(negative emissions technologies ) හෝ ස්වභාවික ක්‍රම මත පදනම් වූ විසඳුම් භාවිතා කරමින් වායුගෝලයෙන් CO₂ ඉවත් කිරීම අවශ්ය වනු ඇත. ගෝලීය උණුසුම 2℃ ට වඩා අඩුමට්ටමක අගයක මෙම ශතවර්ෂය තුළපවතින්නේ CO₂ විමෝචන 2050හෝ ඊට පසුව ශුද්ධ-ශුන්‍ය ඉලක්කයට (Net-Zero Goal) ළඟා වන අවස්ථා වලදී පමණි. එක් එක් රටක් විසින් වායුගෝලයට එක්කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණයට සමාන හරිතාගාර වායු ප්‍රමාණයක් වායුගෝලයෙන් ඉවත් කිරීමේ වකවානුව ඉලක්කයක් ලෙස ප්‍රකාශ කිරීම Net-Zero Goal (ශුද්ධ ශුන්‍යය ඉලක්කය)යනුවෙන් හැඳින්වේ
ලොව පුරා ආකෘති ආදර්ශන මධ්‍යස්ථාන 50 කට වැඩි ප්‍රමාණයක් මගින් සකස් කරන ලද දේශගුණික ආකෘති දුසිම් ගණනක අනාගත දේශගුණික සම්ප්‍රේෂණ IPCC කමිටුව විශ්ලේෂණය කළේය. ඉන් පෙණී ගියේ ගෝලීය සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටම්වලට වඩා මේ සියවසේ දී, පිළිවෙලින් 1-1.8℃ සහ 3.3-5.7℃ අඩුම සහ ඉහළම විමෝචන අවස්ථාවන් වල දී ඉහළට නගින බවයි. ලෝකය අත්දකින නිශ්චිත ඉහළ යාම රඳා පවතින්නේ මිනිසුන්ගේ කටයුතු නිසා කොපමණ වැඩිපුර හරිතාගාර වායු ප්‍රමාණයක් විමෝචණය කරන්නේ ද යන කරුණ මතයි. දේශගුණය ස්ථාවර කිරීමට නම් CO₂ විමෝචන ශුද්ධ ශුන්ය කරා ඉක්මනින් යායුත්ය; එමෙන්ම මීතේන වැනි අනෙකුත් හරිතාගිර වායු වර්ග විමෝචනයද සැලකිය යුතු මට්ටමකින් පහත වැටිය යුතුය යි වාර්තාව සඳහන් කරයි.
දේශගුණය ස්ථාවර කිරීම සඳහා අපව වළක්වන භූ භෞතික(geophysical) හෝ ජෛව රසායනික(biogeochemical) බාධක නොමැත. ලබා දී ඇති උෂ්ණත්ව ඉලක්කයක් හඹාගෙන ශුද්ධ ශුන්‍ය ඉලක්ක කරා යාමට පෙර අපට විමෝචණය කළ හැක්කේ සීමිත නොහොත් නිශ්චිත කාබන් ප්‍රමාණයක් පමණක් බව ද අපි දන්නෙමු. උෂ්ණත්වය ඉහළ යාම 1.5℃ පමණේ දී නතරකර ගැනිම පිළිබඳ 50:50 අවස්ථාවක් උදාකර ගැනීමට නම් මෙම ප්රමාණය CO₂ ටොන් බිලියන 500 ක් පමණ₂වේ.
වර්තමාන CO₂ විමෝචන මට්ටම් අනුව බැලුවොත්, මෙම “කාබන් අයවැය” වසර 12 ක් ඇතුළත භාවිතා කර අහවර වනු ඇත. විමෝචනය අඩු වීමට පටන් ගන්නේ නම් අයවැය අහවර කිරීමට වැඩි කාලයක් ගත වේ. IPCC වාර්තාවේ සඳහන් නවතම සොයා ගැනීම් බිය උපදවන සුළු ය. එහෙත් පැරිස් ගිවිසුමේ එකඟ වූ ගෝලීය ඉලක්කය වන උණුසුම්වීම 2℃ ට වඩා බෙහෙවින් පහත මට්ටමක පවත්වාගෙන යාමට කිසිදු භෞතික හෝ පාරිසරික බාධාවක් අපට නොමැත — කෙසේ වෙතත්, ක්‍රියා කිරීමේ වගකීම පැවරී ඇත්තේ මානවයන් වන අපටය.
The Conversation හී පළවන This is the most sobering report card yet on climate change and Earth’s future. Here’s what you need to know යන ලිපිය අසුරෙනි