විද්‍යාව හා ප්‍රජාතන්ත්‍රවාදය
පූර්ව මධ්‍ය කාලීන යුගයටත් පෙර ග්‍රීක ශිෂ්ටාචාරයේ නව මාදිලියක් බිහි වූ අතර එම නව ශිෂ්ටාචාරය, ග්‍රීසියේ මයිසීනියානු ( Mycenaean -ලෝකඩ යුගයේ උච්ච අවස්ථාවට පත් ආදී මයිසීන පුර රාජ්‍යය) අතීතයට වඩා බෙහෙවින් වෙනස් වූ එකක් විය. මේ නව මාදිලියේ ශිෂ්ටාචාරයට අනුව අර්ධ-දිව්‍යමය රජවරු තවදුරටත් ග්‍රීසියේ සිටියේ නැත. ක්‍රි.පූ. හත්වන සියවසේ ආර්ථික වශයෙන් නැවත ඉපදුණු සංස්කෘතික වශයෙන් නැවත පිබිදුණු ග්‍රීසියේ මේ නව මාදිලියේ ශිෂ්ටාචාරය තුළ තවදුරටත් මධ්‍යගත වූ බලයක් නොවීය. එමෙන්ම සංවිධානාත්මක ආගමික අධිකාරියක්, දේවස්ථානයක් හෝ බලවත් පූජක කුලයක් නොවීය; ගුප්ත දැනුමක් ඇති ධර්මාචාර්යයන් හෝ ශුද්ධ ලියවිල්ලක් ද නොවීය.
එමගින් ප්‍රථම වතාවට නගරය නොහොත් පුර රාජ්‍යයය, තමන් වෙනුවෙන් තීරණ ගන්නා ස්වාධීන ආයතනයක් ලෙස සංකල්පනය නැතිනම් සංජානනය කෙරිණි. එය තුළ මහා නාගරීය තීන්දු තීරණ ගන්නා ලද්දේ නිදහස්, නිර්බාධිත සාකච්ඡාව සහ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය තුළිනී.

දාර්ශනික අර්ථයෙන් ගත් කල පරමාදර්ශී ලෙස සැලකෙන මෙකී මහා පුරවරයන්හී දේශපාලන ව්‍යුහය විවිධාකාර ලෙස සංකීර්ණ විය. රජවරු ද, ඊළඟට නෙරපා හරින ලද රජවරු මෙන්ම, ප්‍රභූතන්ත්‍රයන් හෙවත් වංශවතුන්ගේ පෙළැන්ති, ප්‍රජාපීඩනයන්, ප්‍රජාතන්ත්‍රවාදයන්, එකිනෙකා හා තරඟ වදින දේශපාලන පක්ෂ, ලිඛිත ව්‍යවස්ථා සහ නැවත ලියන ලද ව්‍යවස්ථා එතුළ පැවතිණ. ඒ අතරම සමූහාණ්ඩුව සහ එහි පාලනය සංවිධානය කිරීමේ විවිධ ක්‍රම නිරන්තරයෙන් අත්හදා බැලීම් වලට භාජනය කෙරිණි. ග්‍රීක මහා පුරවරයන් යනු කියවීමට හා ලිවීමට දන්නා සුවිසල් පුරවැසි පංතියකින් සමන්විත වූ ස්ථාන විය. බලය බෙදා වෙන් කළ යුතු ආකාරය සහ වැදගත් තීරණවලට එළඹිය යුතු ආකාරය ගැන ඔවුහු එකිනෙකා හා සාකච්ඡා කළහ. එලෙස, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ සහභාගීත්ව ක්‍රියාවලිය ආරම්භ විය. ඇතන්ස් හි ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව ලියූ සොලොන්(Solon), ප්‍රකට දාර්ශනිකයෙකු වූ ඇනැක්සිමැන්ඩර් ගේ(Anaximander) සමකාලීනයෙකි.
ඒ අනුව දිව්‍යමය රජවරුන්ගෙන් පුරවැසියන් අතට පත් වූ ජන ජීවිතයට ශුද්ධාගමික ග්‍රහණයෙන් මිදීමට සහ පොදුජන ජීවිතය ලෞකිකකරණය කිරීමට හැකිවිය. ඒ සමඟම දැනුම ද ශුද්ධාගමික ග්‍රහණයෙන් මිදීම සහ ලෞකිකකරණය කිරීම ද සිදු විය. විශ්වය තේරුම් බේරුම් කර ගැනීම පිණිස ඇනැක්සිමන්ඩර් කළ උත්සාහය ප්‍රජා ජීවිතය සංවිධානය කිරීම සඳහා ග්‍රීක පුර රාජ්‍යන්ගේ පුරවැසියන් යෝග්‍ය නීති සෙවූ අකාරය හා සමාන ය. අවස්ථා දෙකේදීම, එය තවදුරටත් දිව්‍යමය නීතියක් නොවීය; ඒ වගේම මෙම අවස්ථා දෙකේදීම නීතිය යනු සදහටම තබාගැනිම් සඳහා පවරා දුන් එකක් නොව ඒ වෙනුවට නැවත නැවත ප්‍රශ්න කර සංශෝධනයට ලක් කිරීම සඳහා සකසන ලද්දකි.
මිථ්‍යාවෙන් හැඩ වැඩ වූ පෞරාණික විශ්ව සම්භව විද්‍යාවන්(cosmogonies), බලය ලබා ගන්නා ශ්‍රේෂ්ඨ දෙවියෙකු විසින් සංවිධානය කොට ස්ථාපිත කළ ලෝකයක් ගැන පවසා තිබුණි. ඒ විශ්වාස අනුව දීර්ඝ කාලයක් පැවති සටන් හා ව්‍යාකූලතාවයෙන් පසුව කිසියම් ජයග්‍රාහී දේවතාවෙක් මැදිහත්ව එකවරම විශ්වීය ද, සමාජීය ද හා සදාචාරාත්මක ද වන දෙවියන් අනුදක්නා සමාජ සංවිධනයක් ස්ථාපිත කළේය. ශිෂ්ඨාචාරයේ ප්‍රධානතම යාන්ත්‍රණය සහ ඇපකරු වන ඒ පරමබලධාරියාගේ ප්‍රතිරූපය සහ බලය වටා බිහිව සංවිධානය වූ සමාජයක රාජ්‍ය ගැන තිබූ ඇදහිල්ලේ මානසික පිළිවෙල වූයේ එයයි.
එහෙත් ග්‍රීක පුරවරයන් තම රජවරුන් නෙරපා හැරිය විට, මානව සාමූහිකයක — ඉතා උසස් ශිෂ්ඨ සම්පන්න එකක් පවා වූව, දිව්‍යමය රජෙකුගේ පැවැත්ම අවශ්‍ය නැතැයි පමණක් නොව ඇත්ත වශයෙන්ම, දිව්‍යමය රජෙකු නොමැති විට එය(සාමූහිකය) වඩාත් සමෘද්ධිමත් විය හැකි බව සොයා ගත් විට–ආන්න ඒ මොහොතේ මානව වර්ගයා මැවුම්කරුවන්ට සහ නීතිය මවන දෙවිවරුන්ට යටත් වීම අත්හැර දැමූහ. ඒ වෙනුවට ලෝකය අවබෝධ කර ගැනීම සහ එහි පිළිවෙල සකස් කිරීම සඳහා ඔවුන් වෙනත් මාර්ග සකස් කිරීමට පටන් ගත්හ.
ලොව ප්‍රථම විද්‍යාඥයා ලෙස විරුදාවලී ලත් ඇනැක්සිමැන්ඩර් ඇත්තටම කවුද?


මානව ශිෂ්ඨාචාරයන් සැමවිටමත් විශ්වාස කළේ අපේ විශ්වය යනු ඉහළින් දෙව් ලොවත් පහළින් පෘථිවියත් ඇති දෙයක් වශයෙනි. ආදි කාලයේ පහළ වූ සෑම ශිෂ්ඨාචාරයකම අදහස වූයේ පෘථිවිය සත්වයෙකු මත හෝ කුළුණු මත හෝ යනාදී වශයෙන් තබා තිබෙන විශේෂ වස්තුවක් ලෙසය. ඔව්, සෑම සංකෘතියකම , හැබැයි ග්‍රීකයන්ගේ සමාජය හැර! ඒ මතය පැවතුණි. ඉතින් අපේ ග්‍රහ ලෝකය ගැන මුළුමනින්ම වෙනස් වූ මතකයට ග්‍රීකයන් එළඹියේ කෙසේද?
ලෝකය තේරුම් ගැනීමේදී මෙම අතිවිශාල පිම්ම පැන්නා වූ මිනිසා ඇනැක්සිමැන්ඩර් “(Αναξίµανδος ය. සියවස් විසි හයකට පෙර ජීවත් වූ ඇනැක්සිමැන්ඩර්, වර්තමාන තුර්කියෙහි වෙරළ තීරයේ ග්‍රීක නගරයක් වන මිලේටස් හි ජීවත් විය. විශ්වය ගැන ඇනැක්සිමැන්ඩර්ගේ මතය ඔහු එම යුගයේ බුද්ධිමය යෝධයන්ගෙන් කෙනෙකු බවට පත් කරනු ඇත. නමුත් ඇනැක්සිමැන්ඩර්ගේ උරුමය ඉන් ඔබ්බට ද යන්නකි. ඔහු භෞතික විද්‍යාව, භූගෝලය, කාලගුණ විද්‍යාව සහ ජීව විද්‍යාව සඳහාද මාවත විවර කළේය. මෙම දායකත්වයන්ට වඩා, වඩාත් වැදගත් වූයේ, ඔහු අපේ ලෝක දෘෂ්ටිය ගැන නැවත සිතා බැලීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමයි — විද්‍යාත්මක චින්තනයේ ප්‍රධාන මූලයන්ගෙන් එකක් වනුයේ පැහැදිලිව පෙනෙන “නිශ්චිතභාවය” ප්‍රතික්ෂේප කිරීම මත පදනම් ව නොකඩවා දැනුම සෙවීමයි.
__ THE FIRST SCIENTIST – ANAXIMANDER AND HIS LEGACY ග්‍රන්ථයෙනි
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයක් සංජානනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ හොඳම අදහස් බොහෝ දෙනා අතරේ සාකච්ඡාවලින් මතුවන්නේය යන අදහස මිස එක් තනි බලවතෙකුගේ අධිකාරියකින් නොවේය යන අදහස පිළිගැනීමයි. එහි තේරුම නම් මහජන විවේචනය මගින් හොඳම අදහස් තීරණය කළ හැකි බවත් වාදවිවාද කර සාධාරණ නිගමනවලට එළඹ, එකඟත්වයට පත්විය හැකි බවත් පිළිගැනීමයි. දැනුම ගවේෂණය සඳහා විද්‍යාව පාදක කරගන්නා උපකල්පන ද ඒවා මය
එබැවින් විද්‍යාවේ උපත සහ ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සඳහා ඇත්තේ පොදු පදනමකි: එනම් විවේචනයේ සහ සමාන අය අතර සංවාදයේ ප්‍රයෝජනය සොයා ගැනීමයි. තම ගුරුවරයා වූ තේල්ස් විවේචනය කිරීමේ දී, ඇනැක්සිමැන්ඩර්, මිලේටස්හි එකට රැස්වෙන ස්ථාන වන ඇගෝරා(Agora) හී පොදු භාවිතය බවට පත්ව තිබූ විධික්‍රමය හැර වෙනත් දෙයක් කළේ නැත; එනම් දිව්‍යමය හෝ අර්ධ දිව්‍යමය භාෂිතය විවේචනයකින් තොරව හෝ ගෞරවාන්විතව පිළිගැනීම වෙනුවට පුරවැසි නීතිපසදින්නාගේ අදහස් සහේතුකව විවෙචනය කිරීමේ සම්ප්‍රදාය අනුගමනය කිරීමයි. ඒ, ගෞරවය නොමැතිකම නිසා නොව, (විවේචනය හා සාකච්ඡාව තුළින්) සැමවිටම වඩා හොඳ යෝජනාවක් සොයා ගත හැකි බවට වූ පොදු විශ්වාසය නිසාය.

රජවරුන්ගේ හා පූජක කුලවල තිබූ පැරණි පරම බලය බිඳ වැටුණු අතර නව සංස්කෘතියක් බිහි වූ නව අවකාශයක් ඒ නිසා විවර විය. ඒ අනුව පරමාධිපතියෙකුගේ පරම බලය සහ පූජකයන්ගේ සාම්ප්‍රදායික ප්‍රඥාව ගැන අවිශ්වාස කිරීමට මිනිස්සු ඉගෙන ගත්හ. ඒ නිසාම සමාජයේ ව්‍යුහය සහ මානව වර්ගයාගේ දැනුම් ගවේෂණය යන දෙකෙහිම බෙහෙවින් අළුත් යමක් උපත ලැබීය.
ග්‍රීකයන් ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය සොයාගත්තේ ඔවුන්ගේ තේජාන්විත අතීතය ගායනා කළ හෝමරික් වීර කාව්‍ය සම්ප්‍රදායෙනි. නමුත් හෝමරික දෙවිවරු සම්පූර්ණයෙන්ම විශ්වාස කළ නොහැකි හෝ සැබවින්ම මහිමාන්විත හෝ නොවූහ. එක් විචාරකයෙක් ලියූ පරිදි, “Iliad (ඉලියඩ්) තරම් ආගමික බවින් අඩු කිසිදු කාව්‍යයක් නොමැත.(Iliad යනු මහා කවි හෝමර් ලියූයේ යයි සැලකෙන ග්‍රන්ථ 24කින් සමන්විත මහා වීර කාව්‍යයයි). ප්‍රධානස්ථානයක් නැති, සර්ව බලධාරී දෙවිවරුන් නැති මේ ලෝකයේ නව ආකාරයේ සිතුවිල්ලකට ඒ මගින් අවකාශයක් විවර විය.
එබැවින් නව සමාජ හා දේශපාලන ව්‍යුහය සහ විද්‍යාත්මක චින්තනයේ උපත අතර ඉතා පැහැදිලි සම්බන්ධතාවක් ඇත. එමෙන්ම ඒ දෙකටම පොදු අංගද බහුලය: ලෞකිකකරණය; පැරැන්නන්ගේ නීති ඔවුන්ගේ අදහස් මෙන්ම අනිවාර්යයෙන්ම හොඳම ඒවා නොවේ යන අදහස; නිවැරදිම තීරණය පැන නගින්නේ පරමාධිපත්‍යමය අධිකාරයෙන් හෝ සම්ප්‍රදායට ඇති වන්දනීය ගෞරවයෙන් නොව බොහෝ දෙනා අතර සාකච්ඡාවෙන්ය යන අදහස; හොඳම නිගමනය නිර්ණය කිරීමේ දී ප්‍රසිද්ධ විවේචනය ප්‍රයෝජනවත් යැයි යන අදහස; එකිනෙකා අතර වාද විවාද කර එකට නිගමනවලට එළඹිය හැකිය යන අදහස ආදී මෙම අදහස් පැරණි ග්‍රීසියේ මෙන්ම නූතන ලෝකයේ දේශපාලන ක්‍රියාවලියේ මූලයන් වන අතර ඒවා ලෝකය පිළිබඳ විද්‍යාත්මක අන්තරාවලෝකනයේ(scientific reflection on the world) උපත සඳහාද පදනම වේ.
මෙය එක් අතකින් විද්‍යාත්මක ක්‍රමයේ “සොයා ගැනීම” ද වේ. එනම් යමෙක් අදහසක්, පැහැදිලි කිරීමක් යෝජනා කරයි. ක්‍රියාවලිය එතැනින් අවසන් නොවේ. පළමුවෙන්ම අදහස බැරෑරුම් ලෙස සලකා විවේචනයට ලක් කෙරේ. තවත් යමෙක් වෙනත් අදහසක් ඉදිරිපත්කෙරෙන අතර අර කී අදහස හා සැසදීම්ද සිදුකෙරේ. අසාමාන්‍ය දෙය නම්, මෙම ක්‍රියාවලිය තුළින් කිසියම් එකඟතාවයක් කරා යා හැකි වීමයි. මේ ආකාරයට, යම් පුද්ගල කණ්ඩායමකට පොදු විශ්වාසයක් කරා හෝ බහුතර මතයකට එළඹීමට හෝ නැතිනම් කොහොම හරි හවුල් තීරණයක් ගැනීමට හෝ හැකි වෙයි.
දැනුම් ක්ෂේත්‍රය තුළ සොයා ගැනීම නම්, නිදහස් විවේචනයට හා ප්‍රශ්න කිරීමට ඉඩ දීම, ඕනෑම කෙනෙකුට සාකච්ඡාවලට සහභාගී වීමේ අයිතිය ලබා දීම සහ සියළුම යෝජනා බැරෑරුම් ලෙස සැලකීම තුළින් හුදු ව්‍යාකූල ඝෝෂාවක් ඇති නොවන්නේය යන්නයි. ඊට පටහැනිව එමගින් දුර්වල කල්පිතයන් ප්‍රතික්ෂේප කිරීමට සහ හොඳම අදහස් ඉස්මතු වීමට මග පාදයි.
කෙසේවෙතත්, මෙම තත්ත්වය වැඩි කල් පැවතුනේ නැත. සියවස් කිහිපයකට පසු, රෝම අධිරාජ්‍යය යළිත් වරක් තනි පාලකයෙකුට පූර්ණ බලය ගෙන දෙන අතර ක්‍රිස්තියානි ආගම නැවත වරක් දේව හස්තයෙන් දැනුම් ගෙන ඒම ඇරඹිණ. අධිරාජ්‍ය හා ක්‍රිස්තියානි බලවතුන් අතර ‘විවාහය’ මගින් නැවත ගෙන එනු ලබන්නේ දිව්‍යාණ්ඩුකමයි.


එසේ තත්ත්වය යළි වෙනස් වුව ද, ලොව විශාල ප්‍රදේශයක සියවස් ගණනාවක් තිස්සේ මිනිස්සු දිව්‍යාණ්ඩු ක්‍රමයෙන් හා ආගමික චින්තනයේ ආධිපත්‍යයෙන් තොරව විසීමට වරම් ලැබ සිටියහ. ඇනැක්සිමැන්ඩර්ගේ ජීවිත කාලය තුළ මිලේටස් ස්වාධීන වූ අතර එය ග්‍රීසියේ බටහිර වෙරළේ අනෙකුත් අයෝනියන් නගරයන්ගේ ලීගයේ කොටසක් විය. මෙම ලීගය මඟින් එක් නගරයක් අනෙක් නගර කෙරෙහි ආධිපත්‍යය දැරීමට ඉඩ නොතැබූ අතර ඒ වෙනුවට පොදු අවශ්‍යතා පිළිබඳ අදහස් හා තීරණ ගැන විවාද කිරීමට පොදු විවෘත අවකාශයක් පවත්වාගෙන ගියහ. අයෝනියන් ලීගය රැස්වූ ගොඩනැගිල්ල එහි පාර්ලිමේන්තුව ලෙස සැලකුනි. එය ලෝක ඉතිහාසයේ පාර්ලිමේන්තු අතරේ පළමු එකක් විය හැකිය – බාගදා එය පළමුවැන්නම පවා විය හැකිය. මනුෂ්‍යයන් හරියටම දිව්‍යමය පරමාධිපතීන්ගේ මාළිගා වෙනුවට පාර්ලිමේන්තු ආදේශ කළ විට, මේ එම මිනිසුන්ම තමා අවට ලෝකය දෙස තිමිර පට හැර බැලූ අතර මිථ්‍යා-ආගමික චින්තනයේ අඳුරු, අපැහැදිලි භාවයෙන් එය මුදා ගත්හ; ඒ අනුව ඔවුහු අවට ලෝකය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට පටන් ගත්හ. ඒ නිසා ඔවුන්ට පෘථිවිය යනු තවදුරටත් විශාල තැටියක් නොවීය. එය අවකාශයේ පාවෙන ගලක් (පාෂාණයක්) බවට පත් විය. ඒ නිසා පියා පත් ලද පෘථිවිය මෙන්ම බුද්ධිය ද පියාසර කිරීමට නිදහස ලද්දේය.
THE FIRST SCIENTIST: ANAXIMANDER AND HIS LEGACY (Carlo Rovelli, 2007)යන ග්‍රන්ථයෙහි SCIENCE AND DEMOCRACY යන කොටස ආශ්‍රයෙන් සැකසින