පළිබෝධනාශක පසට කරන වින්නැහිය

Posted by

පළිබෝධනාශක පසට කරන වින්නැහිය

පළිබෝධනාශක පණුවන්, කුරුමිණියන් මෙන්ම අධෝභෞම(පස යට වසන) ප්රයෝජනවත් ජීව විශේෂ දහස් ගණනින් විනාශයට පත් කරන බව පළිබෝධනාශක පසෙහි ‘සෞඛ්‍යය’ට බලපාන අන්දම ගැන මෙතෙක් සිදුකර ඇත වඩාත් පරිපූර්ණ අධ්‍යනයක් පෙන්නුම් කරයි.

යම් හේතුවක් නිසාවෙන් විනාශයට පත්ව නැති, යසට තිබෙන පසෙන් ඔබේ දෑත් පුරවා රැගෙන විමසිල්ලෙන් බලන්න. එහි සිටිනා සජීවීන් සංඛ්‍යාව බාගදා මේ මහා පොළව මත වසන මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි විය හැකියි. මහ පොලව යට පිහිටි නගරයක, කිසිදා නොනිදන වැසියන් මෙන් අධෝභෞම(පස යට වසන) අපෘෂ්ඨවංශිකයන්, නෙමටෝඩයන්(nematodes ), බැක්ටීරියා සහ දිලීර දස දහස් ගණනින් අපේ ජලය පෙරා පිරිසිදු කිරීමට අපට උදව්වෙති; පෝෂක ප්‍රතිචක්‍රීකරනය කරන අතර අපේ ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය නියාමනය කිරීමට උපකාරී වෙති.

Pesticides Are Killing Soil Organisms — The Foundations of the Web of Life  • Children's Health Defense

එසේවුව ද, එක යායට එක දිගට ඇති බඩ ඉරිඟු, සෝයා බෝංචි, තිරිඟු සහ අනෙකුත් ඒක බෝග වගාවන් පේළි, පේළි යට කෘමිනාශක, වල්නාශක සහ දිලීර නාශක වලින්  සැදුම්ලත් විෂ මිශ්‍රනයක් මගින් මහත් ව්‍යසනක් ගෙන එනු ලබන බව Frontiers in  Environmental Science නම් සඟරාවෙහි විශ්ලේෂණයක් දක්වයි. පළිබෝධනාශක පසෙහි ‘සෞඛ්‍යය’ට බලපාන අන්දම ගැන දන්නා අන්දමට මෙතෙක් සිදුකර ඇති වඩාත් පරිපූර්ණ අධ්‍යනය වන මෙය,  එක්සත් ජනපදය තුළ භාවිතය සඳහා අනුමත  පළිබෝධනාශක සංඝටක 850කට ආසන්න ප්‍රමාණයකින් එල්ලවන අවදානම තක්සේරු කිරීමෙහි ලා ක්ෂණික මෙන්ම සැලකියයුතු විපර්යාසයන්ට මග පාදනු ඇතැයි විශ්වාස කෙරේ. පසෙහි වසන ජීවි විශේෂයන්ට පළිබෝධනාශක ගෙන එන හානිය වර්තමානයේ ඇති  රෙගුලාසි වලින් නොතකා හරිනු ලැබ ඇත. 

මේ සම්බන්ධයෙන් ඇති ‘නොසැලකිල්ල’ වහා වෙනස් විය යුතු බව අධ්‍යනය මොනවට කියා පායි. Center for Biological Diversity, Friends of the Earth  යන ආයතනවල සහ මේරිලන්ඩ් විශ්විද්‍යාලයෙහි පර්යේෂකයන් විසින් මෙම අධ්‍යනය සිදු කොට ඇත. මෙහිදී පර්යේෂකයෝ, පාංශු ජීවීන් කෙරෙහි පළිබෝධනාශක බලපාන ආකාරය ගැන සම්පරීක්ෂණ 2,800කට වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් ප්‍රසිද්ධියට පත් කළ අධ්‍යයන 400 කට ආසන්න සංඛ්‍යාවක් ගැන සොයා බැලූහ. සමාලෝචනයට, පාංශු සජීවීන් සුවිශේෂී විශේෂ හෝ වර්ග 275ක් සහ පළිබෝධනාශක හෝ කෘමිනාශක මිශ්‍රන 284ක් ගැන කරුණු කාරණා අන්තර්ගතවිය.

සියයට 70කට මදක් වැඩි පෙරකී සම්පරීක්ෂණවලින් පෙණී ගියේ සරු පසක් පවත්වාගෙන යාමේ දී තීරණාත්මක වන සජීවින්ට පළිබෝධනාශක හානිකර බවයි. කෙසේවෙතත්, මෙකී හානිය පරිසර ආරක්ෂක අධිකාරියේ(Evironmental Protection Authority- EPA) ආරක්ෂක සමාලෝචනවල කිසිදිනක සැලකිල්ලට භාජනය වී නොමැත. කෘමිනාශක බහුලව යොදාගන්නා කෘෂිකර්මාන්තය සහ පරිසර දූෂණය, බිම් කුරුමිණියන් සහ බිම ලගින මීමැස්සන් වැනි පාංශු ජීවීන් බොහොමයක් සීඝ්‍රයෙන් අඩුවී යාමට බලපාන සාධක වේ. පසුගිය දශකය තුළ පාංශු ජෛවී විවිධත්ව හානිය ඇතිකරවන වඩාත්ම වැදගත් සාධක ලෙස ඒවා හඳුනා ගනු ලැබ ඇත.

කරුණු කාරණා එසේ වුව ද, පළිබෝධනාශක සමාගම් පමණක් නොව අපගේ  පළිබෝධනාශක නියාමාන බලධාරීන් ද මෙකි පර්යේෂණ අමතක කර දමා ඇත. ඇ.එ.ජනපදයේ පළිබෝධනාශක අධීක්ෂණය භාරව සිටින EPA හෙවත් පරිසර ආරක්ෂක අධිකාරිය කෘෂිකාර්මිකව යොදනු ලබන කෘමිනාශකවලින් සියයට 50 හේ සිට 100 දක්වා ප්‍රමාණයක් අවසානයේ නවතින්නේ පසෙහි බව එළිපිටම පිළිගනී. එසේවුවත්, සියළුම පාංශු විශේෂයන්ට එල්ලවන අවදානම ඇස්තමේන්තු කිරීමට පාංශු විශේෂයන්ට කෘමිනාශකවලින් වන හානිය තක්සේරු කරනු වස් EPAය යොද ගන්නේ එකම එක පරීක්ෂණ විශේෂයක් පමණකි — එයද, මුළු ජීවිත කාලයම පොළවට උඩින් පෙට්ටිවල වසන විශේෂයකි: එනම් යුරෝපීය මීමැස්සාය.

Pros and Cons of Pesticide Use In Farming and How AgTech Will Help
පළිබෝධ නාශක සෞඛ්‍යයට, ගර්භනී මව්වරුන්ට හා දරුවන්ට, අසනීප නිසා ඇතිවන ආර්ථික පාඩු වලට, ජෛවවිවිධත්වය අඩුවීමට, ජලය, පස සහ වාතයට අහිතකර ලෙස බලපෑමට හේතු වෙයි.

මෙය ඉතා වැදගත් කාරණාවක් කෙරෙහි අපේ අවධානය යොමු කරයි. මුළු ජීවිත කාලයම පොළව යට වසන හෝ පස තුළ වර්ධනය වෙන දහස් ගණන් විශේෂයන් නියෝජනය කරණු වස් ජීවිත කාලයටම කිසි දිනක පස් ස්පර්ශ නොකරන්නේ යයි සිතිය හැකි විශේෂයක් මතම විශ්වාසය තැබීම එක්සත් ජනපද පළිබෝධනාශක නියාමන පද්ධතියෙහි අසුබ පැත්තක් ඉස්මතු කරයි: එනම්, එම පද්ධතිය ගොඩනගා ඇත්තේ සත්ව විශේෂයන් සහ ඔවුන්ගේ පරිසර පද්ධති සු‍රැකීමට නොව ඒ වෙනුවට පළිබෝධනාශක කර්මාන්තය ආරක්ෂාකිරීමටය යන්නයි. මෙහි අවසාන විග්‍රහය වන්නේ පළිබෝධනාශක අනුමැතිය සිදුවන්නේ එම රසායන වලින් පාංශු ජීවීන්ට සිදුවන හානිය ගැන කිසිදු තැකීමකින් තොරව බවයි.

මෙයටම එක්කාසු වන තවත් කාරණාවක් ඇත. පුනර්වර්ධන කෘෂිකර්මාන්තය (regenerative agriculture ) සහ පාංශු සෞඛ්‍යය පිළිබඳ අදහස් ලොව පුරා ප්‍රචලිත වෙද්දී පළිබෝධනාශක සමාගම් සිය නිෂ්පාදන වලට පරිසර හිතකාමි ‘කාංචුවක්’ එක් කර ඇත්තේ පාංශු සෞඛ්‍යය ප්‍රවර්ධනයට ඔවුන් ද හවුල් වන බවක් දක්වමිනි.  බොහෝ විට එම ප්‍රචාර වල දී බිම් සැකසීම(හෑම) සහ ආවරණ වගා සි‍ටුවීම අධෛර්‍යමත් කරනු ලබේ.  මේ භාවිතයන් දෙකම පාංශු සෞඛ්‍යය කෙරෙහි යහපත් ආකාරයෙන් බලපාන්නේය. එහෙත් මේ භාවිතයන් සමග පළිබෝධනාශක යොදා ගැනීම ඉහල යන බව සමාගම් අත්දැකීමෙන් දනියි. වගා බීම් හෑම අඩුවන විට වැඩියෙන් වල් නාශක යෙදීමටත් බොහෝ විට ආවරණ වගාව නැසීමටත්  වල් නාශක වැඩියෙන් භාවිතයටත් යොමුවේ.

මෙම ‘අඩියක් පෙරට, අඩියක් පස්සට’ පිළිවෙත අපේ පස ආරක්ෂාව සම්බන්ධයෙන් අර්ථවත් පියවර ගැනීම වළක්වයි. නියාමන අධිකාරීහු ද පළිබෝධනාශක භාවිතයෙන් සිදුවන පාංශු ජීවීන් ‍රැක ගැනීමට අසමත් වෙති.  මෙහි දිගු කාලීන පරිසරාත්මක බලපෑම තවදුරටත් නොසලකා හැරීමට ඉඩක් නැත.

පස් යනු මේ ග්‍රහ ලෝකයේ ජෛවී විවිධත්වයෙන් හතරෙන් එකකින් පමණ සමන්විතවන පෘථිවියේ වඩාත්ම සංකීර්ණ පරිසර පද්ධති අතර වැදගත් එකකි. පස ‍රැක ගනීමට ප්‍රමුඛත්වය හිමි විය යුතුය. මේ සඳහා, පළිබෝධනාශක බහුල භාවිත කෙරෙන කෘෂිකාර්මාන්තය කෙරෙහි ලෝකයාගේ රඳා පැවැත්ම  අඩු කරගත යුතු බව මෙම පර්යේෂකයෝ පෙන්වා දෙති. එහිදී නියාමන අධිකාරීන් වෙත දැඩි වගකීමක්පැවරේ.

Scientific American, August 2021  හී පළවන Pesticides Are Killing Our Soils යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.