වවුල් බබාලා බහ තෝරන්නේත් මිනිස් බබාලා වගේමයි

Posted by

බහ තේරිල්ල: වවුල් බබාලා බහ තෝරන්නේත් මිනිස් බබාලා වගේමයි

උපතේ සිට කිරි වරන අවධිය දක්වා වවුල් පැටවුන් 20 දෙනෙකුගේ වාචක හැසිරීම් අධ්‍යයනය කළ පර්යේෂකයන් කණ්ඩායමක් මිනිස් ළදරුවන් සහ වවුල් පැටවුන් තම සන්නිවේදන හැකියා වැඩි දියුණු කරගන්නා ක්‍රමවේදයේ කැපී පෙනෙන සමානකම් රැසක් හඳුනාගෙන තිබෙනවා.

හිමිදිරි පාන්දර, අරුනළු වැටෙන්නත් කලින් අහානා ෆර්නැන්ඩස් කොස්ත රිකාවේ වන පෙතකට ඇතුළු වෙලා, ඇගේ පටිගත කිරීමේ උපකරණ තුරු ගොමුවකට ආසන්නයෙන් අටවලා අවධානයෙන් බලා ඉන්නවා. Greater sac-winged bat (Saccopteryx bilineata) කියන වවුල් විශේෂය මේ ගස් ගොන්න පැටවුන් ඇතිදැඩි කරන්න තෝරාගෙන සිටිනවා. වවුල් අම්මා නවාතැන් ගන්නෙත් පැටවා ආසන්නයෙන්මයි. වවුල් පැටවෙක් හඬක් නැගීමට කට අරින වාරයක් ගණනේ ෆර්නන්ඩ් තම කැමරාවත් මයික්‍රොෆෝනයත් ඒ දෙසට යොමු කරමින් ඒ හඬට සවන් දෙනවා.

තෝරාගත් වවුල් පැටවුන් 20 දෙනෙකුව උපතේ සිට කිරි වරන අවධිය දක්වාම සමීපව නිරීක්ෂණය කරමින්, ඔවුන් නගන සිහින් කෙඳිරිලි පටිගත කර අධ්‍යායනය කළ ෆර්නැන්ඩස් ඇතුළු පිරිස ඔවුන්ගේ නිරීක්ෂණය පසුගිය අගෝස්තු 19වනදා Science ජර්නලයේ පලකළා. ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව වවුල් පැටවුන්ගේ ලාලාපය (babble) මිනිස් ළදරුවන්ගේ බහතේරීම වගේමයි.

බහතේරීම හුදෙක් හැඬීමක් හෝ වැඩිහිටියෙකුට යමක් සන්නිවේදනය කිරීමට එහා ගිය යමක්– ෆර්නැන්ඩස්ට අනුව එය  “වාචික හරඹයක්”. මිනිසුන් බහතේරීමේදී සිදුවන්නේ ළදරුවන් වදන් සහ වැකි ගොඩනැගීමට පෙර භාෂාව තැනී ඇති (තැනුම්) ඒකක වන නාද සහ අක්ෂර උච්ඡාරණය කිරීමට උත්සහ කිරීමයි. එය ඔවුන් සෙල්ලම් තැනුම් ඒකක(building blocks) සංකීර්ණ නිර්මාණ ඉදිකිරීමට පෙර ඒවා අතපත ගාමින් කරන සෙල්ලම්වලට සමානයි. “බහතේරීම මිනිස් අපි කථනය කියන චාරිකාවේදී අනිවාර්යයයෙන් පසු කළ යුතු වැදගත් කඩඉමක්,” මෙම අධ්‍යයනයට දායක නොවූ ශාන්ත ඇන්ඩෘ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුලන් පිළිබඳ පර්යේෂක සොන්ජා වර්න්ස් කියා සිටියා.

බර්ලින්හි ජීව විද්‍යා කෞතුකාගාරයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් වන ෆර්නැන්ඩස්ට අනුව ඇයගේ පර්යේෂණ වාර්තාවේ සමකර්තෘවරියක් සහ කෞතුකාගාරයේ සමකාලීන පර්යේෂිකාවක් වන මිර්ජම් නොස්චිල්ඩ් ද ඇතුළු තවත් පර්යේෂකයන් මෙම පර්යේෂණය පැවැත්වීමට පෙර සිටම වවුලන් බහතෝරන බවට අනුමානයෙන් දැන සිට තිබෙනවා. නමුත් ඔවුන් නගන ශබ්ද මුල්ම වරට නිවැරදිව හඳුනාගැනීමත්, මිනිස් ළදරුවන්ගේ බහතේරීම සමග සංසන්දනය කිරීමත් සිදුවන්නේ මේ පර්යේෂණය තුළින්. මිනිස් ළදරුවන්ගේ බහතේරීමෙහි පුනරුච්ඡාරණය සහ රිද්මයානුකූල බව වැනි ලක්ෂණ දැකගත හැකියි.

“මේ ගැන අප මින් පෙරත් යම් මට්ටමකට දැනුවත්ව සිටියත්, මෙම කරුණ මේ තරම් නිරවුල් සහ විධිමක් අන්දමින් විස්තර වී ඇත්තේ මුල්ම වරටයි,” මෙම පර්යේෂණයට දායක නොවූ තවත් විද්‍යාඥයකු වන බර්ක්ලිහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ සහ වවුලන් පිළිබඳ පර්යේෂක මයිකල් යාට්සෙව් පවසනවා.ෆර්නැන්ඩස්ගේ පර්යේෂණ වාර්තාවට අනුව පැටවුන් නිරන්තරයෙන් ලාලාපයෙහි නිරත වුණු අතර වරකට මිනිත්තු කිහිපය බැගින් අඛණ්ඩව එහි නිරත වූ අවස්තා දක්නට ලැබුණා.

මිනිසුන් හැරුණු විට අනිත් සතුන් අතර බහතේරීම බෙහෙවින්ම විරලයි. මෙම පර්යේෂණයේ ප්‍රතිඵලත් සමග වවුලන්වත් ගී කියන කුරුළු විශේෂ සහ කුරු මාමොසෙත් වඳුරන් ද  (pygmy marmosets) ඇතුළත් වන සත්ව කාණ්ඩයට ගොනු කරන්න පුළුවන්. ඊජිප්තු මා වවුල් පැටවුන් (Egyptian fruit bat) බහතෝරන්නන් විය හැකි බවට සැක කරන නමුත්  එය තවමත් පරීක්ෂණ මගින් තහවුරු වී නැති බවත්, වෙනත් වවුල් විශේෂ බහතෝරන බවක්  දැනට වාර්තා වී නොමැති බවත් පර්යේෂණ වාර්තාවේ සඳහන්.

Greater sac-winged bats නැමති මෙම වවුල් විශේෂය කුඩා පවුල් ඒකක වශයෙන් තුරු වදුලු තුළ ලැගුම් ගැනීමත්, ඔවුන් දිවාචර සතුන් වීමත් ඔවුන්ව මෙම පර්යේෂණය සඳහා යොදාගැනීමට පෙළඹවීමක් ඇති කළ බව ෆර්නැන්ඩස් පවසනවා. ෆර්නැන්ඩස් සහ ඇගේ සගයන් පැනමාවේ සහ කෝසතරිකාවේ තෝරාගත් පුදේශ කිහිපයකදී අභිජනන සමයන් කිහිපයක් පුරාවට ක්ෂේත්‍ර අධ්‍යයනයන්හි නිරත වුණා. ඒ සෑම අධ්‍යයන භූමියකදීම පර්යේෂකයන් තමන්ගේ ආගමනයට වවුල් රංචුව හුරුකිරීමට අනුගමනය කළේ එකම ක්‍රියා පිලිවෙතක්. ඔවුන් පැටවුන් බිහිවීමට සති දෙකකට පෙර සිටම ටිකෙන් ටික වවුලන්ට කිට්ටු වෙමින්, ඔවුන් සමග ගත කරන කාලය කෙමෙන් වැඩි කළා. ඊට අසීමාන්තික  ඉවසීමක් අවශ්‍ය වූවා වගේම වරින් වර දාර පිඹුරන් (boa constrictors) පලවා හැරීම‌ට සිදු වුණු බවත් ෆර්නැන්ඩස් කියා සිටියා.

සතුන්ව ඔවුන්ගේ ස්වාභාවික පරිසරයේදීම අධ්‍යයනය කිරීම බෙහෙවින්ම සාධනීය කරුණක් බව වර්න්ස් පෙන්වා දෙනවා. එවන් දුෂ්කර තත්වයක් යටතේ දත්ත ගොනුවක් සකස් කරගැනීම ප්‍රශංසනීය බව ඇය වැඩි දුරටත් සඳහන් කරනවා.

වවුල් බස්

ෆර්නැන්ඩස් සඳහන් කළ ආකාරයට වැඩිහිටි වවුලෙකුගේ වාග් කෝෂය එකිනෙකට වෙනස් අක්ෂර 25කින් සමන්විතයි. මෙම අක්ෂර “නිහැඬියාවට මැදි වූ නාද” වශයෙන් දක්වන්න පුළුවන්. මෙම අක්ෂර එකිනෙක හා මුසු කිරීමෙන් සහකරුවන් ආකර්ෂණය කරගැනීම සහ සිය බල සීමාව රැකගැනීම වැනි අරමුණු සඳහාත්, මවුවරුන් සහ පැටවුන් අතර සන්නිවේදනය සඳහාත් භාවිතා කරන “ගායනා” වශයෙන් යොදාගන්න පුළුවන්.

පැටවුන්ගේ කිචි බිචිය පටිගත කර එය කාලානුරූපීව වෙනස් වුණු ආකාරය අධ්‍යයනය කිරීමෙන් වැඩිහිටියන්ගේ වාග් කෝෂයෙහි ඇතුළත් අක්ෂර අතරින් කිහිපයක්ම පැටවුන්ගේ බහ තේරිල්ලෙහි අන්තර්ගත වන බව ෆර්නැන්ඩස් ඇතුළු පිරිසට නිරීක්ෂණය වුණා. පැටවුන් බහ තේරීම ඇරඹූ මුල්ම වකවානුවේදී ඔවුන් සීඝ්‍රයෙන් අක්ෂර උකහාගත් බවත්, එහි සීඝ්‍රතාවය කාලයත් සමග අඩු වන බවත් ඔවුන්ගේ තවත් නිරීක්ෂණයක්.

කිරි වරන සමය වන විටත් එක පැටවකුවත් අක්ෂර 25ම උච්ඡාරණය කිරීමට අපොහොසත් වුණු බවත් ෆර්නැන්ඩස්ට නිරීක්ෂණය වෙනවා. ඇයට අනුව සුවිශේෂීම කාරණය එකම අක්ෂර කණ්ඩය සෑම පැටවකුගේම භාවිතය තුළ නොතිබීමයි. “ ඒ අක්ෂර අයත් වන්නේ පෙම්කෙළි සමයටයි(courtship).” ඇය පවසන ආකාරයට පැටවුන්ට ගීතයේ එන ඇතැම් අක්ෂර උච්ඡාරණය කළ හැකි නමුත් “නියම පෙම් ගීයක් ගැයෙන්නේ සහවාස සමයේදී පමණයි”. පැටවුන්ට බහතෝරන වයසේදී එම ගීත අසන්නට නොලැබෙන නිසා ඔවුන්ට එම අක්ෂර උකහා ගන්නට අපොහොසත් වෙනවා වන්නට පුළුවන්.

ඊට අමතරව ඇය උපකල්පනය කරන්නේ නිසි කල වයස පැමිණි විට ආදරයේ භාෂාව හඳුනාගන්න, වැඩි විය පැමිණෙන විට ඇතිවන හෝමෝන වෙනස්කම් ඔවුන්ට උපකාරී වනු ඇති බවයි.

වවුලු ආකෘතියක්

මානවයන්ට සමානව මේ අයුරින් භාෂා භාවිතය හුරු වන සතුන් විරල වීම නිසා මෙම වවුල් විශේෂය භාෂාව ඉගෙනීම පිළිබඳව හැදෑරීමට ප්‍රයෝජනවත් ආකෘතියක් වනු ඇති බව ෆර්නැන්ඩස් පවසනවා. “මම හිතන්නේ වෙනත් සත්ව විශේෂ තුළ භාෂා භාවිතයට අඩිතාලම වැඩී ඇති ආකාරය හැදෑරීමෙන් අපට අපේම භාෂා පිළිබඳව බොහෝ දේ අවබෝධ කරගන්න පුළුවන්.”

මිනිස් ළදරුවන් මෙන් නොව වවුල් ළදරුවන්ව භාෂාව ඉගෙනීමට බලපෑම් කළ හැකි ජාන සහ නියුරෝන මොනවාද යන්න හඳුනාගැනීමට මෙන්ම භාෂාව ඉගෙනීමේ අපහසුතා ආකෘතිගත කිරීමටත් යොදාගන්න පුළුවන්. “පර්යේෂණ සඳහා මොවුන් ගේ පද්ධතිවල සැකැස්ම පවා අපට ගැඹුරින් හදාරන්න පුළුවන්.” වර්න්ස් ඒ ගැන කියා සිටියා. “මිනිස් ළදරුවෙක්ව නම් අපිට වැඩි වෙලාවක් MRI  ස්කෑරයක රඳවන්න බැහැනෙ.”

ස්වාභාවික පරිසරයේදී පැටවුන් බහතෝරන ආකාරය පිළිබඳව ඇය දැන් පෙරට වඩා දැනුවත් නිසා, පර්යේෂණයේ ඊළඟ අධියරේදී සමාජීය බලපෑම භාෂාව ඉගෙනීමේ සීඝ්‍රතාවයට බලපෑම් කළ හැකි ආකාරයත්, බහතේරීමේ ජෛව රසායනික පදනමත් පර්යේෂණාගාරය තුළදී හැදෑරීමට අපේක්ෂා කරන බව ෆර්නැන්ඩස් පවසනවා.

“ ඔවුන්ගේ සන්නිවේදනය හැදෑරීමෙන් මම අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ සංජානනය පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමයි- ඔවුන් ලෝකය දෙස බලන ආකාරයත්, ලෝකය පිළිබඳව ඔවුන්ට හැඟෙන ආකාරයත් අවබෝධ කරගැනීමයි.” ෆර්නැන්ඩස් පැවසුවා. “ මට හැඟෙන විදියට එය බෙහෙවින්ම කුතුහලජනක කාර්යයක්.”

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

The Scientist හී පළවූ Baby Talk: Bat Pups Babble Like Human Infants යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.