තරුණ පිරිසට Covid-19 එන්නත් නුසුදුසු ද?
බොහෝ දේවල් සම්බන්ධයෙන් පළවන මතවාද, අදහස් උදහස් වගේම කටකතා, බොරු ප්‍රචාර අතථ්යතොරතුරු එමටයි. හරි තොරතුරු මෙන්ම වැරදි සහගත මෙන්ම අර්ධ සත්‍යය, ව්‍යාජ ප්රවෘත්ති(fake news) බෙදා හැරීමට අද සමාජ මාධ්‍යය තෝතැන්නක් වී ඇති බව නොරහසකි. පොදුවේ එන්නත් කරණය සහ විවිධ එන්නත් ගැන ද පළවන තොරතුරු ද මින් මිදී නැහැ. SARS-CoV-2 වෛරසය මෙන්ම ඉන් හටගන්නා Covid-19 රෝගය ගැනත් එහි බලපෑම, එය වලක්වා ගැනිමට ඇති එන්නත්, ඊට සලසන ප්‍රතිකාර ගැන පලවන තොරතුරු ගැන ද කිව හැක්කේ එවන් කතාවක්මය.
අද thathu.com ලිපිය යොමු කරන්නේ වර්තමානයේ ශ්‍රී ලංකීය සමජයේ සංසරණය වන එවන් මතයක් ගැන වගකිව යුතු සංනිවේදකයන් වශෙයෙන් විධිමත් විමසුමක් සිදුකිරීම වෙනුවෙනි: තරුණ පරම්පරාවට, විශේෂයෙන්ම තරුණ පිරිමින්ට කොවිඩ් එන්නත් අකැපද? අපලද?
මුලින්ම අපි ජගත් ආයතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) වෙත යොමු වි පොදු කාරනා කිහිපයක් ගැන අවධානය යොමු කරමු.
අද මුළු ලොවම COVID-19 ගෝලීය වසංගතයකට මැදිවී, පැටලි සිටින්නේය. මහා වසංගතය හඹා යාම, තීරණාත්මක මැදිහත්වීම් ගැන උපදෙස් සැපයීම, අවශ්‍ය අයට නැතුවම බැරි වෛද්‍ය පහසුකම් සැපයීම ආදී වශයෙන් මේ මහා ව්‍යසනයට WHO සිය හවුල්කාර පාර්ශව හා එක්ව ප්‍රතිචාර දක්වමින් ආරක්ෂාකාරී සහ ඵලදායී එන්නත් වැඩිදියුණු කිරීම පිණිස කඩිනම් පියවර ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් ගැන දක්වන අදහස් මෙසේ කැටි කොට දැක්විය හැකියි:
එන්නත්, සෑම වසරකම මිලියන ගණනකගේ ජීවිත සුරකී. ශරීරයේ ස්වභාවික ආරක්ෂක විධි ක්‍රම වන ප්‍රතිශක්ති පද්ධතිය ඉලක්ක කරගන්නා වෛරස සහ බැක්ටීරියා හඳුනා ගැනීම හා ඒවාට එරෙහිව සටන් වැදීම පිණිස පුහුණුකිරීම් සහ සූදානම් කිරීම මගින් තමයි එන්නත් ඒවායේ කාර්ය භාරය ඉටු කරන්නේ. එන්නත් කරණයෙන් අනතුරුව ශරීරය රෝග හටගන්වන එකී විෂබීජ වලට පසු කාලයක දී නිරාවරණය වුව හොත් ශරීරය ඒවා ක්ෂණිකව විනාශ කිරිමට ක්‍රියා කරමින් රෝග වළක්වා ගනියි.
COVID-19 හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වීම හෝ මියාමෙන් ජනතාව වළක්වා ගැනීමට හැකි ආරක්ෂාකාරී සහ ඵලදායී එන්නත් ගණනාවක්ම ඇත. එන්නත්කරණය COVID-19 කළමනාකරණයේ එක් කොටසක් පමණකි. මීට අමතරව, අන් අයගෙන් අඩුම වශයෙන් මීටරයක් වත් ඈත්වී සිටීම, කහින විට හෝ තම අතෙහි වැලමිටින් මුව වසා ගැනීම, නිරතුරුව තම දෑත් පවිත්‍ර කර ගැනීම, මුහුණු ආවරන පැළඳීම සහ හොඳින් වාතාශ්‍රය නොමැති කාමර මගහැරීම කොවිඩ් වළක්වා ඇනීමේ ප්‍රධාන පියවර වේ.
දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ඒ පොදු පැහැදිලි කිරීම පදනම් කරගෙනම ලිපියේ මාතෘකාවෙන් මතු කරන කාරණාව ගැන විමසා බලමු.

ළමුන් සහ යොවුන් පිරිස් කොවිඩ් එන්නත් ලබාගත යුත්තේ ඇයි?
ස්වයං-ප්‍රතිශක්ති ආබාධ සහ රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම රෝගය, පෙනහළු, අක්මා, සහ වකුගඩු රෝග තත්වයන් වැනි කලක් පවතින රෝග තත්ත්වයන් සහිත පුද්ගලයන් ද අතුළුව වයස අවුරුදු 18න් ඉහල බොහෝ දෙනාටම COVID-19 එන්නත් ලබා ගැනීම ආරක්ෂිත යයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව සඳහන් කරයි.
ළමුන් සහ නව යොවුනන් සඳහා මෙම එන්නත් ලබා දීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහාවූ කේන්ද්‍ර(Centers for Disease Control and Prevention (CDC) පෙන්වා දෙන්නේ, වැඩිහිටියන් හා සාපේක්ෂව COVID-19 ආසාදනය වන්නේ ළමුන් අඩු සංඛ්‍යාවකට නමුත් ළමුන්ට ද
- COVID-19 ඇතිකරවන වෛරසයෙන් ආසාදිත වීමට
- COVID-19 රෝගාතුර වීමට
- අන් අයට ද COVID-19 බෝකිරීමට හැකි බවයි
COVID-19 එරෙහිව ආරක්ෂාවීමට උපකාරීව්නු වස් වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලු දෙනාම කොවිඩ් එන්නත් ලබාගත යුතු යයි CDCය නිර්දේශ කරයි. පුළුල් ලෙස එන්නත්කරණය සිදු කිරීම ගෝලිය වසංගතය වළක්වනු පිණිස ආධාර වන වැදගත්ම මෙවලමකි. මෙලෙස එන්නත ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ගෝලීය වසංගතයට පෙර තමන් සිදු කළ කටයුතු යළි ආරම්භ කළ හැකි යයි CDCය වැඩිදුරටත් දක්වයි.
COVID-19 එන්නත් මඟින් පිරිමි වඳභාවය සහ ලිංගික දුර්වලතා ඇති කළ හැකි ද?
ඊට කෙටි පිළිතුර මෙයයි: COVID-19 රෝගය මඟින් පිරිමි වඳභාවය සහ ලිංගික දුර්වලතා ඇති කළ හැකි නමුත් කොවිඩ් එන්නතින් එසේ නොවේ.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මිථ්‍යාවන්ට පටහැනිව, COVID-19 එන්නත් මඟින් සාමාන්‍ය වහරේ ශිෂේණය ප්රාණවත්නොවීම ලෙස දැක්වෙන උද්ගාමක දුෂ්කෘත්‍ය(erectile dysfunction ) සහ පිරිමි වඳ භාවය ඇති නොවේ. නව පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ COVID-19 ඇති සමහර පිරිමින්ට අනවශ්‍ය ලිංගික අතුරු ආබාධ ඇති විය හැකි බවයි. සත්‍ය කුමක්ද: COVID-19 ඇති කරවන වෛරසය වන SARS-CoV-2 ඉහත දැක්වූ ආබාධ දෙකම සඳහා අවදානමක් ඇති කරයි. SARS-CoV-2 වෛරසය හෝ ඊට එරෙහි එන්නත පුරුෂ ප්‍රජනන පද්ධතියට කෙසේ බලපායිද යන්න ගැන මේ වන තෙක් සිදු කර ඇත්තේ සුළු පර්යේෂණ ප්රමාණයකි. එසේවුව ද, මෑතදී මියාමි විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් විසින් සිදු කරන ලද පරීක්ෂණ මගින් මෙම ප්‍රශ්න වලට නව ආලෝකයක් ලබා දී ඇත.
පර්යේෂක කණ්ඩායම විසින් කරන ලද අතිරේක පර්යේෂණ සිත් දිරි ගන්වන් සුළුය. පිරිමින් 45 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ පිරිමි ප්‍රජනන පද්ධතියට හානියක නොවන ලෙස ෆයිසර් සහ මොඩර්නා mRNA එන්නත් ආරක්ෂිත බව ය.
පිරිමි සරු බව සහ ලිංගික ක්‍රියාකාරකම් රැක ගැනීම සඳහා එන්නත් ලබා ගැනීම පිණිස මෙය තවත් හොඳ හේතුවක් වේ. ඇත්ත වශයෙන්ම, පර්යේෂණය COVID-19 පුරුෂ ලිංගික සෞඛ්‍යයට කෙසේ බලපායිද යන්න පිළිබඳ පළමු පියවරක් පමණි; සාම්පලය කුඩා එකක බව පර්යේෂකයෝ පිළිගනිති. එහෙයින් අධ්‍යයන දිගටම කරගෙන යා යුතුය.
කෙසේ වෙතත්, COVID-19 වැළඳී සහ පසුව වෘෂණ කෝෂ වේදනාව අත්විඳින පිරිමින් සඳහා, වෛරසය වෘෂණ පටක ආක්‍රමණය කර ඇති බව සැලකීම සාධාරණ ය. එහි ප්‍රතිඵලය විය හැක්කේ ශිෂේණය ප්රානවත්නොවීමයි. එවැනි පිරිමින් මුත්‍රා වෛද්‍ය විද්‍යාඥයෙකු හමුවිය යුතුයි.
කොවිඩ් 19 එන්නත් ස්ත්රීන්ගේ දරුඵල සරුබවට බලපාන්නේ ද?
මේ මතය හට ගත්තේ 2020 දෙසැම්බරයේ සමාජ මාධ්‍යවල සංසරණය වූ පෝස්ටුවක් තුළිනි. ඒ, Pfizer සමාගමේ අසාත්මිකතා සහ ශ්වසන චිකිත්සා සඳහා වූ හිටපු ප්‍රධාන විද්‍යාඥ, වෛද්‍ය Wolfgang Wodarg සහ පෙනහළු විශේෂඥ වෛද්‍ය Michael Yeadon විසින් බෙදා හදා ගන්නා ලද්දකි. කොරෝනා වෛරසයේ ශූල ප්‍රෝටීනය(spike protein) ගර්භනී අවස්ථාවේ අපරාව හෙවත් වැදෑමහ වර්ධනයට හා යාවී සිටීමට වගකිව යුතු ශූල ප්‍රෝටීනය හා එක සමාන බව ඔවුන් දෙදෙනා කියා සිටිති. එහෙයින් සැකයක් මතුවූයේ එන්නතෙහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට මේ ශූල ප්‍රෝටීන දෙක එකකින් අනෙක වෙන්කොට හඳුනා ගැනීමට නොහැකිව අපරා ප්‍රෝටීනයට(placental protein) ප්‍රහාර එල්ල කරණු ඇත යන්නය.
එහෙත් මෙස සත්‍යයක් නොවේ. සමස්ත සැකැස්ම ගතහොත්, අපරා ප්‍රෝටීනය කොරෝනා වෛරස ශූල ප්‍රෝටීනයට වඩා බෙහෙවින් වෙනස්ය. මීටත් අමතතරව Pfizer එන්නත පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ ස්වේච්ඡාදායක ස්ත්‍රීන් 23ක් වැක්සීනය ගත්තායින් පසුව ගැබ් ගත්හ. තවද, එන්නත් ලබාගැනීමේ වාසිය, ගර්භනී කතක් අසාදනය වෙනවාට වඩා බෙහෙවින් වැඩිය.

COVID-19 එන්නත් ලබා නොගැනීමෙන් ඇතිවන ඵලවිපාක මොනවා ද?
කොරෝනා වෛරස සම්ප්‍රේෂණයේ දී ළමුන් සහ විශේෂයෙන්ම නව යෞවනයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හී ඩේකින් විශ්වවිද්‍යාලයේ වසංගතවේදී කැතරීන් බෙනට් පෙන්වා දෙයි. වෛරසයේ නව ප්රභේදයන් ඉස්මතුවෙද්දී මේ අවදානම ගැන අවධානය වැඩිවෙයි. තරුණ පිරිස් එන්නත්කරණයේ වැදගත්කම මේ හේතුවෙන් තවත් වැඩිවන බව ඇගේ මතයයි. “ගෝලිය නව ප්රභේදයන් ජනනය කිරීමට රටක සමස්ත ජනගහන්යෙන් හරිහැටි එන්නත් කරණය සිදු නොකළ එක් කණ්ඩායමක් හිටියහම ඇති” යනුවෙන් බෙනට් වැඩි දුරටත් සඳහන් කරයි.
ගෝලීය මහා වසංගතයෙන් ගොඩ ඒමේ දි සමූහ ප්‍රතිශක්තිකරණය වැදගත් උපාය මාර්ගයක් ලෙස විද්‍යාඥයෝ අදහස් කරති. එම ඉල්ලක්කය සපුරා ගැනීමේ දී COVID-19 එරෙහි එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් තරුණ පිරිස් තුළ දක්නට ලැබෙන දෙගිඩියාව නැතිනම් පැකිළීම ඊට බාධාවක් බව සැන්ෆ්රැන්සිස්කෝ හී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙති. වැඩිහිටි පරපුර හා සංසන්දනයේ දි අවුරුදු 18ත් 29ත් අතර වයස් සීමාවේ තරුණ පිරිස් අතර කොවිඩ් මරණ අඩු නමුත් ඔවුන් අතරේ ආසාදන අනුපාතය මුළු ආසාදිත සංඛ්‍යාවෙන් 20% ඉක්මවන බව මෙම අධ්‍යනයේ දි හෙළිවිය. “මේ ආසාදන අනුපාතය සළකන විට මද ලාක්ෂණ සහිත තරුණ පිරිස් පවා ‘කල් අල්ලන කොවිඩ්’ (long covid) වැලඳීමේ අවදානම් වැඩිවන අතර තරුණ පිරිසේ ‘පැකිළීම’ වෛරසයේ වඩාත් දරුණු නව ප්‍රභේද හට ගැන්වීමට ඉවහල් විය හැකිය” යි අධ්‍යනයේ ප්‍රධාන කතුවරිය වන ආචාර්ය සැලී ඇඩම්ස් පවසයි. පොදු මහජන ප්රචාරක වැඩසටහන් මගින් තරුණ පිරිසේ සැකසංකා පහ කිරීමටත් ඔවුන් දැනුවත් කිරීමටත් ක්‍රියා කළ යුතු යයි පර්යේෂකයෝ නිර්දේශ කරති.
එපමණක් ද නොව, එන්නත්කරණය නොකළ ජනගහණය, ඉදිරියේ දි පරිණාමය විය හැකි නව විචල්‍යන්ට සහ ප්රභේදයන්ට තෝතැන්නක්(incubator) ලෙස ක්‍රියා කළ හැකිය. එසේ අනාගතයේ ඇතිවන ප්රභේදයන් ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා බෙහෙවින් අනතරාදයක විය හැකිය. “එන්නත් ලබානොගන්නා අය වැරදි කල්පනාවක ඉන්නවා ඒකේ වාසිය හෝ අවාසිය ඒගොල්ලන්ට විතරයි කියලා. නැහැ. ඓඑක අනෙක් හැමෝටමත් අදාලයි” යනුවෙන් එක්සත් ජනපද අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයේ(National Institute of Allergy and Infectious Diseases) ප්‍රධානී වෛද්‍ය අන්තනි ෆවුචි කියා සිටියි.
පිළිගත් වෙබ් මූලාශ්රයන් ආශ්රයෙන් thathu.com මාණ්ඩලිකයෙකු විසින් සකස් කරන ලදී.