වසු පැටවුන් වැසිකිලි භාවිතයට හුරු කිරීම පරිසරයට වාසියි

Posted by

ගවයන් වැසිකිලි භාවිතයට  පුහුණු කොට ගව අපද්රවය ඝන සහ දියරමය වශයෙන්  වෙන් කිරීමමෙන් ගොවිපලවල ඇති කරන සතුන්ගෙන් පරිසරයට මුදා හැරෙන ඇමෝනියා ප්රමාණය අවම කිරීමේ පියවරක් ලෙසින් යොදා ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙති.

ගවයන් ඇති කරන ගොවිපලවල්වලින් නිකුත් වන දුර්ගන්ධය අප්‍රසන්නවනවා පමණක් නොවෙයි, එය පරිසරයටත් බෙහෙවින්ම හානිකරයි.  ඒ ගවයන්ගේ ගොමවල අඩංගු එන්සයිම ඔවුන්ගේ මුත්‍රාවල අඩංගු යූරියා සමග ප්‍රතික්‍රියා කිරීමෙන් වායුගෝලයට ඇමෝනියා මුදාහරින නිසාමයි. ඒ ඇමෝනියා වර්ෂාවත් සමග මුසුවී පසට සහ ජලයට එක්වී ඒවායේ රසායනික සංයුතීන් වෙනස් කිරීමටත්, අහිතකර ඇල්ගී වර්ධනය වැඩි වීමටත් , ශාක ගහණයට හානි වීමට  සහ ජෛව විවිධත්වය අඩු වීමටත් බලපානවා.

නමුත් පසුගිය සැප්තැම්බර් 13 වනදා Current Biology සඟරාවේ පලවූ පර්යේෂණ වාර්තාවක මේ ගැටලුව මුලිනුපුටා දැමීමට ක්‍රමයක් යෝජනා වී තිබුණා: ඒ ඔවුන්ගේ මලඅපද්‍රව්‍ය වෙන් කිරීමේ කාර්යය ගවයන්ටම පැවරීමයි. ජර්මනියේ ගොවිපල සත්ව ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණායතනයේ ව්‍යවහාරික චර්යා විද්‍යාඥ ජැන් ලැන්ග්බේන් සහ ආචාර්ය උපාධි අපේක්ෂක නීල් ඩර්ක්සන් නායකත්වය දැරූ මෙම පර්යේෂණ කණ්ඩායම “වසුකිලි” හෙවත් ගව වැසිකිලි භාවිතයට වසු පැටවුන් හුරු කිරීමට සමත් වුණා.

ලැන්ග්බේන් ඇතුළු කණ්ඩායම වසු පැටවුන්ව වැසිකිලි භාවිතයට හුරු කිරීමට පෙළඹුණේ කෙසේද යන්න පිළිබඳව The Scientist සඟරාව ලැන්ග්බේන් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මතු දැක්වෙයි:

ඔබටත් ඔබේ කණ්ඩායමටත් වසු පැටවුන් වැසිකිලි භාවිතයට හුරු කරන අදහස ආවේ කොහොමද?

ජෑන් ලැන්ග්බේන්: පෘථිවියේ සාමාන්‍ය ඇමෝනියා නිකුතුවෙන් 90%ක් නිකුත් වන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතවයි. ඒ 90%නුත් 50%ක්ම නිකුත් වන්නේ ගව ගොවිපොලවල්වලින්. අපි කල්පනා කළේ  අපට ගව මඩුවකින් නිකුත් වන ඇමෝනියා ප්‍රමාණය අවම කරන්න සතුන්ගේ හැසිරීම් අතින් ප්‍රවේශයක් ගන්න පුළුවන් ද කියන කාරණයයි.

අපට ළදරුවන්ව වැසිකිලි භාවිතයට හුරු කරවන්න පුළුවන්, බළලුන්ව වැසිකිලි භාවිතයට හුරු කරවන්න පුළුවන්…සුනඛයන්ව වුණත් යම් ආකාරයක වැසිකිලි භාවිතයකට (අඩුම තරමින් නිවස ඇතුළේ මලපහ නොකරන්නටවත්) පුහුණු කරවන්න පුළුවන්. කොටින්ම ඌරන්වත් වැසිකිලි භාවිතයට හුරු කරවන්න පුළුවන්. ඉතින් ඇයි ගවයන්ව පුහුණු කරවන්න බැරි?

පොදු මතය නම් තණ බිමක නිදැල්ලේ සැරිසරන ගවයන් ඔවුන්ගේ මල මුත්‍ර පහකරන තැන ගැන කිසිම තැකීමක් නොකරන බවයි.ඔවුන් එක තැනක සිටගෙන සිටිද්දී මෙන්ම ඇවිදින අතරතුරත් මලමුත්‍ර පහ කරනවා. ගවයන්ට මුත්‍රාශයෙන් නිකුත් වන සංඥා පිළිබඳව අන්තර්ප්‍රතිග්‍රාහක සම්ප්‍රජානනය (interoceptive awareness) නොමැති බවත් තවත් පොදු මතයක්.  නමුත් අපි තීරණය කළා ඔවුන්ව පුහුණු කරන්න යම් උත්සහයක් දරන්න.

Change cattle injection method, vets urged | Vet Times
Potty training cows is easier than toddlers, new study finds

ඔබේ පර්යේෂණ වාර්තාවේ සඳහන් කර තිබුණා මීට පෙර ගවයන් වැසිකිලි භාවිතය හුරු කිරීමට දැරූ උත්සහයන් සාර්ථක වුණේ අර්ධ වශයෙන් බව. ඔබේ කණ්ඩායම මේ වෑයමේදී කළ වෙනස්කම් මොනවාද?

මීට අවුරුදු දහයකට පමණ ඉස්සර පළවෙනි කණ්ඩායම මේ වැසිකිලි පුහුණුවේ මූලික අධියර ඇරඹීමෙන් ගවයන් තුළ යම් මට්ටමකට අන්තර්ප්‍රතිග්‍රාහක සම්ප්‍රජානනය ඇතිකිරීමට සමත් වුණා. මෙහිදී පර්යේෂකයන් සිදු කළේ ගවයන් ගව මඩුව තුළම මල මුත්‍ර පහ කළ සෑම අවස්ථාවකදීම ඔවුන්ට ත්‍යාගයක් (ආහාරයට යමක්) ලබා දීමයි. පුහුණුව ඇරඹී කෙටි කාලයකින්ම වැසිකිලි කැසිකිලි කටයුතු නිම කිරීමටත් පෙරම පුහුණුකරු වෙත පැමිණීමට ගවයන් හුරු වුණා. එයින් පෙනී ගියේ “මලපහ කලොත් තෑගි ලැබේ” කියන කරුණ උන් වටහාගත් බවයි.

නමුත් ඒ මේ වැසිකිලි පුහුණුවේ එක්තරා අදියරක් විතරයි. තවත් කණ්ඩායමක් වැසිකිලි පුහුණුව ඇරඹුවේ වෙනස්ම ආකාරයකටයි. ඔවුන් වසු පැටවා කුටියක් තුළ සිටියදී ඌට මූත්‍රවර්ධකයක් එන්නත් කළා. මෙම මූත්‍රවර්ධකය විදීමෙන් පසුව වසු පැටවා කුටිය තුළ මුත්‍රා කළ සෑම අවස්ථාවකදීම ඌට ත්‍යාගයක් ලබා දුන්නා. පරීක්ෂණයේ ඊළඟ අධියරේදී ඔවුන් මූත්‍රවර්ධකය එන්නත් නොකර ඔවුන් කුටිය තුළ මුත්‍රා කරන වාර ගණන පාලිත (සාමාන්‍ය) වසු පැටවුන් මුත්‍රා කරන වාර ගණන සමග සංසන්ධනය කරද්දී පෙනී ගියේ පුහුණුව ලැබූ වසු පැටවුන් වැඩි වාර ගණනක් මුත්‍රා පහ කරන බවයි.  ඒ නිසා මේ සමස්ත ක්‍රියාවලියම ඔවුන්ට පුහුණු කළ හැකි බවට අප තුළ විශ්වාසයක් ගොඩනැගුණා.

අපි මුලදී වසු පැටවුන්ව එක්තරා වර්ගයක වැසිකිලියකට දමා දොරවල් අගුලු දැමුවා. වැසිකිලිය තුළ මුත්‍ර පහ කළ කරන සෑම වාරයකදීම ඔවුන්ට අපෙන් තෑග්ගක් ලැබුණා. ඉන් පසුව අපි වැසිකිලියේ දොරවල් විවෘත කරලා වසු පැටවුන්ට එළිමහනේ නිදැල්ලේ ගැවසෙන්න ඉඩ දුන්නා. දැන් වසු පැටවුන් වැසිකිලියට පිවිසිය යුත්තේ මුත්‍රා කිරීමට පමණයි. වසු පැටවෙක් වැසිකිලිය තුළ මුත්‍රා කළොත් ත්‍යාගයක් ලැබුණා. වසු පැටවෙක් වැසිකිලියෙන් පිට මුත්‍රා කළොත් අපි දඬුවම් කළේ තප්පර දෙකක් වතුර මලකින් ජල ප්‍රහාරයක් එල්ල කිරීමෙන්… එය දඬුවමකටත් වඩා සිහිකැඳවීමක් වශයෙන් හැඳින්වුවොත් නිවැරදියි.

පරීක්ෂණය සඳහා යොදාගත් වසු පැටවුන් 16දෙනා අතරින් 11ස් දෙනෙක් මුත්‍රා කරන වාර ගණනින් 80%කදීම වැසිකිලිය තුළදී සිදුවුණා.

වෙනත් වචනවලින් කිව්වොත් මුත්‍රා කිරීම් 10කින් 8ක්ම සිදුවුණේ වැසිකිලිය තුළයි: ඉන් පිටතදී සිදුවුණේ දෙකක් පමණයි. එය සර්වසම්පූර්ණ නැතත් ඉතාමත් හොඳ තත්ත්වයක්.

Potty Party: Researchers Show Young Cows Can Be Toilet-Trained | The  Scientist Magazine®

වසු පැටවුන්ව සියයට අසූවක සාර්ථකත්වයට ළඟා වෙන මට්ටමට ගෙන එන්න කොපමණ කාලයක් ගතවුණාද?

අපට මිනිත්තු 45ක පුහුණු වාරයකදී සිදුවන මුත්‍රා පහකිරීම් ගණන වැඩි කිරීමට මූත්‍රවර්ධකයක් භාවිතා කිරීමට සිදුවූ නිසා ආචාරධර්ම සුරැකීම පිළිබඳ කමිටුවෙන් අනුමැතිය හිමි වුණේ පුහුණු වාර 15ක් සඳහා පමණයි. ඉතින් අපි මිනිත්තු 45ක පුහුණු සැසි 15කදී මේ වසු පැටවුන්ට ඒ සමස්ත පුහුණු ක්‍රියාවලියම ඉදිරිපත් කිරීමට පුහුණු කළා.

ඒ සඳහා කල් ගත වුණේ සති ගණනින්ද මාස ගණනින්ද?

අපි සතියකට දින තුනක්; සඳුදා, බදාදා සහ සිකුරාදා පුහුණුවීම් පැවැත්වුවා. ඒ කියන්නේ ගත වුණු කාල සීමාව සති පහක්.

ළදරුවන් ඉන්න දෙමව්පියන් මේ සොයාගැනීම ගැන සතුටට පත්වේවි නේද?

 ඔව් අපි ඒ ගැන අපේ වාර්තාවේ පවා සඳහන් කළා. මේ සොයාගැනීම් ළදරුවන්ට වුණත් අදාල කරගන්න පුළුවන්. නමුත් අපි මූත්‍රවර්ධකයක් භාවිතා කළ බවත්, ඒ නිසාම මිනිත්තු 45ක පුහුණු සැසිවාරයකදී උන් වාර තුනත් අටත් අතර වාර ගණනක් මුත්‍රා කළ බවත් සිහිතබාගත යුතුයි.

ගවයන් ඇති කරන ගොවිපලක මේ ක්‍රමවේදය ස්ථාපනය කිරීමට අදහස් කරනවා නම් මේ මල අපද්‍රව්‍ය රැස් කිරීමටත් සකස් කිරීමටත් අවශ්‍ය වන යටිතල පහසුකම් මොනවාද?

ගැටලුව තියෙන්නේ ඔන්න ඔතැනයි. පරීක්ෂණයක ප්‍රතිඵල ප්‍රායෝගිකව භාවිතයට ගන්න කොපමණ කල් ගතවේවිද කියන කරුණ සම්බන්ධයෙන් කතා කළොත් මට පිළිගන්න සිද්ධ වෙනවා ඊට වසර කිහිපයක් ගතවනු ඇති බව. මේ පරීක්ෂණය සිදුවුණේ නියම පරීක්ෂණ පරිසරයක. මේ පරීක්ෂණය සඳහා අපි යොදාගත්තේ හැසිරීම් අදීක්ෂණ පිටියක් නමින් හඳුන්වන අවකාශයක්. අපි ඒ අවකාශය තුළ වැසිකිලියකුත්, මීටර් 10ක් දිග මංතීරුවකුත් සැකසුවා. වසු පැටියාට මං තීරුවේ ඇවිදින්නට හෝ වැසිකිලියට ඇතුළු වන්නට පමණක් අවස්ථාව තිබුණා.

අපේ පර්යේෂණයෙන් සිදුවුණේ හුදෙක් සිද්ධාන්තය සාධනය කිරීම පමණයි. ගවයන් පුහුණු කළ හැකිද කියන පැනයට අපි “ඔව්” කියන පිළිතුර ලබා දුන්නා. අපි දැන් මේ පරීක්ෂණයේ ප්‍රතිඵල වඩා ප්‍රායෝගික පරිසර තත්ත්වයන් යටතේ භාවිතයට ගැනීමට අදිලව තවත් ව්‍යාපෘතියක් සැලසුම් කරමින් සිටිනවා.

Cows Can Be Toilet Trained, A New Study Suggests. This Has Implications For  The Environment And Animal Welfare

පද්ධතියේ වැසිකිලිය අපි එදිනෙදි ජීවිතයේදී භාවාතා කරන ආකාරයේ වැසිකිලියක් නෙවෙයිනේ… එහි ආකෘතිය ගැන දල වශයෙන් විස්තර කළොත්?

එය ඇතුල්වීමේ දොරටුවකින් සමන්විත, මීටර් 2ක් දිග සහ මීටර 2ක් පළල බිම් කඩක්. වසු පැටවුන්ට පැද්දනෙ දොරටුව තනිවම විවෘත කරගෙන වැසිකිලියට ඇතුළුවෙන්න පුළුවන්. වැසිකිලියේ බිත්ති කොළ පැහැතියි. පොළොවට අතුරා තිබුණේ තණ පිඩැලිවලට සමාන කෘත්‍රිම ද්‍රව්‍යයක්. එය අර්ධ පාරාග්‍රම්‍ය නිසා වසු පැටවුන්ගේ පාද මුත්‍රාවලින් තෙමෙන්නේ නැහැ.

වැසිකිලිය හැටියට යොදාගන්නා ප්‍රදේශය කොළ පැහැයෙන් සායම් කර ඇති නිසා ගවයන්ට එය ගව මඩුවේ සෙසු ප්‍රදේශවලින්  වෙන් කර හඳුනාගැනීම පහසුයි. අපි පසුව වැසිකිලියක් නිර්මාණය කරද්දී “අර ගොඩනැගිල්ල මගේ පරණ වැසිකිලියට සමානයි. මම මල මුත්‍ර පිට කළ යුත්තේ එතැනටයි” කියන කරුණ අවබෝධ වීමට පහසු ආකාරයෙන් එය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ අධ්‍යයනයේ අභියෝගාත්මකම කොටස මොකද්ද?

පළවෙනි අදියරත් දෙවනි අදියරත් අතර සංක්‍රාන්ති අවධිය තමයි අභියෝගතාමකම පියවර වුණේ…ඒ අදියරේදී සෑම මුත්‍රා පහකිරීමකටම ත්‍යාගයක් හිමි වුණා. වසු පැටවුන් මුත්‍රා පහකිරීම නිම වෙන්නත් කලින් ත්‍යාගය ලබාදනෙ පුද්ගලයා වෙත එන්න හුරු වීමත් සමග අපි දොර විවෘත කරලා වසු පැටවුන්ට නිදැල්ලේ එළිමහනේ ගැවසීමට ඉඩ ලබා දී දෙවනි අදියර ආරම්භ කළා.

අප හමුවේ තිබුණු ගැටලුව වුණේ ත්‍යාගය ලැබෙන්නේ වැසිකිලියේදී මුත්‍රා කළොත් පමණක් බව වසු පැටවුන්ට අවබෝධ වී ඇත්ද කියන කරුණ පමණක්ම නොවෙයි; වසු පැටවා මුත්‍රාශයෙන් ලැබෙන සංඥා අවබෝධ කරගෙන වැසිකිලියට යන්නට ක්‍රියාත්මක වේවිද කියන ගැටලුවත් අප හමුවේ තිබුණා. ඒ තමයි මේ පරීක්ෂණයේ සංකීර්ණම කොටස. නමුත් උන් එය අවබෝධ කරගත්තා.

ඔබ දකින විදියට මිනිස්සු ගවයන් පිළිබඳව වරදව‌ා වටහාගෙන ඇත්තේ මොනවාද?

ගවයන් කියන්නේ දවස පුරාම කරන්න විශේෂ දෙයක් නැතිව ගව මඩුවේ කල් ගත කරන සත්ව විශේෂයක්නෙ.  ඔවුන්ට නොමිලේම කෑම බීමත් ලැබෙන නිසා දවසින් වැඩි කොටසක්ම කරන්නේ ඔහේ බිම ලැග සිටීමයි. ඉතින් ගව මඩුවකට ගියාම උන් දවස පුරාම කිසිවක් නොකර ඉන්නවා කියන වැටහීම ඇති වෙන්න පුළුවන්. නමුත් එය එසේ වී ඇත්තේ අපි උන්ට කිසිවක් කරන්න අවස්ථාවක් නොදෙන නිසයි.

ගවයන් අපි හිතන තරම් මෝඩ සත්ව කොට්ඨාශයක් නෙවෙයි. උන් නිදැල්ලේ උලා කද්දී හොඳම තණ කොළ සොයා ඇදෙනවා. උන්ගේ සමාජ සම්බන්ධතාත් බෙහෙවින්ම සංකීර්ණයි. උන්ට ගැටලුවක් විසඳන්න අවස්ථාව දුන්නොත් උන්ට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.

ජර්මානුවන් වන අපි උත්සහ කරන්නේ ගවයන්, බැටලුවන්, ඌරන් වැනි සතුන් රඳවා ඇති ස්ථානවල ඔවුන්ගේ බුද්ධි වර්ධනය ප්‍රවර්ධනය වන ආකාරයේ වෙනස්කම් කිරීමයි. ගොවිපලක පවතින සාමාන්‍ය කුසීත පරිසරයේදී උන්ට බුද්ධිය මෙහෙයවන්න තරම් අභියෝග හමුවන්නේ නැහැ.

මෙම වැසිකිලි භාවිතය හුදෙක් ඇමෝනියා නිකුත් වීම අවම කරන උපක්‍රමයක් නොවෙයි. එයින් ගවයන්ටත් බුද්ධිය මෙහෙයවීමට අභියෝගයක් ලැබෙනවා.

ඔබට අවසාන වශයෙන් ගවයන් ගැන හෝ මේ අධ්‍යයනය ගැන කියන්න යමක් තිබෙනවාද?

මම නම් ගවයන්ට හරිම කැමතියි. උන් බුද්ධිමත් සත්තු…ඒ වගේම ඔබ උන්ව අවබෝධ කරගන්න උත්සහ කළොත් උන් මොන තරම් හුරුබුහුටි සත්තුද කියන කරුණත් ඔබට වැටහේවි.

පරිවර්තනය කොට සකස්කලේ: අරුන්දි ජයසේකර

The Scientist හී පලවූ Potty Party: Researchers Show Young Cows Can Be Toilet-Trained යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.