සුනඛයන්ට, ශරීරය පිළිබඳ ස්වයං දැනුවත්භාවය ඇතැයි නව පර්යේෂණයකින් හෙළිවෙයි

Posted by

සුනඛයන්ට, ස්වකීය ශරීරය පිළිබඳ ස්වයං දැනුවත්භාවය ඇතැයි නව පර්යේෂණයකින් හෙළිවෙයි

සුනඛයෙකුට, තමා හිඳගෙන සිටින පලසට ඇමිණූ වස්තුවක් අහුලන්නට හිමිකරු නියම කළ විට අදාල කාර්යය ඉටුකිරීමට නම් තමා පලස මතින් ඉවත් විය යුතු බව බලු සුරතලුන් වටහාගත් බව පර්යේෂකයන් වාර්තා කර සිටිනවා.

Figure 1තමා ඉදිරියේ ඇති වස්තුවක් අහුලාගැනීමට හිමිකරු නියම කරන තුරු පලස මත හිඳගෙන සිටින ශෙල්ටී (Shetland  Sheepdog) වරිගයේ සුනඛයෙක්

ස්වකීය සිරුර තමාට බාධාවක් එල්ල කරන අවස්ථාවලදී සුනඛයන් එය අවබෝධ කරගන්නා බව අද දින (පෙබරවාරි 18) Scientific Reports ජර්නලයේ පල වූ පර්යේෂණ වාර්තාවක් හෙළි කරනවා. මේ පරීක්ෂණයේදී සුනඛයන්ගේ හිමිකරුවන් උන් හිඳගෙන සිටි පලසට ඇමිණූ වස්තුවක් අහුලාගන්නට නියම කළ විට, ඔවුන් එම කාර්යය ඉටු කිරීමට ස්වකීය සිරුරු පලස මතින් ඉවතට ගත යුතු බව අවබෝධ කරගත් බවක් පෙන්නුම් කළ බව සඳහන් වෙනවා.

ස්වයං දැනුවත්භාවය සුනඛයන් සතු බව පර්යේෂණ කිහිපයකින්ම හඳුනාගැනීමට උත්සහ කළත් ඒ අතරින් සාර්ථක වුණේ අතලොස්සක් පමණයි. සතෙකුගේ සිරුර පෑනක් හෝ තීන්න යොදාගෙන සලකුණු කිරීමෙන් අනතුරුව සත්වයා ඉදිරියෙන් කැටපතක් තැබීම මගින් සිදුකරන ජනප්‍රිය කැටපත් පරීක්ෂණය නම් සුනඛයන් බහුල වශයෙන් අසමත් වෙනවා: කැටපත් පරීක්ෂණයේදී සත්වයා තම සිරුරේ ඇති සලකුණ ගැන සොයා බැලීමට පෙළඹුණොත් උන් ස්වකීය ප්‍රතිබිම්භය හඳුනාගත් බව හැඟවෙන නිසා පරීක්ෂණයෙන් සමත් වෙනවා. (“සත්ව සිත් කියවන කැටපත් පරීක්ෂණය” කියවන්න).

මේ පරීක්ෂණයේදී  පර්යේෂකයන් විවිධ වරිගවලට සහ වයස් කාණ්ඩවලට අයත් ගැහැනු සහ පිරිමි සුනඛයන් 50කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක්කිරීම සඳහන් පලස සහිත ඇටවුම යොදාගත්තා. මේ පරීක්ෂණයේදී අලි ඇතුන් සහ ළදරුවන්ගෙන් වැඩි පිරිසක් කළ අන්දමින්ම, සුනඛයනුත් ඔවුන් මුහුණ දුන් පාලක පරීක්ෂණ තත්වයන්ට සාපේක්ෂව අදාල වස්තුව අහුලාගන්නට පලස මතින් ඉවත් වීමට වැඩි නැඹුරුවක් පෙන්වනවා. Canis familiaris සතුන් සතුව එවන් දැනුවත්භාවයක් ඇති බවට මුල්ම වරට සාක්ෂි සැපයුණේ මෙම පරීක්ෂණය තුළින් බව පර්යේෂණ වාර්තාවේ සඳහන්.

ආචාර්ය උපාධි අපේක්ෂක රීටා ලෙන්කේ සමග මෙම ව්‍යාපෘතියට දායක වුණු හංගරි රාජ්‍යයේ ඉයෝට්වොස් ලොරාන්ද් (Eötvös Loránd) විශ්ව විද්‍යාලයේ  පීටර් පොන්ග්‍රේස් (Péter Pongrácz) පර්යේෂණ කණ්ඩායම පරීක්ෂණය සිදුකළ ආකාරය සහ සත්ව සංජානනය පිළිබඳ පර්යේෂකයන්ට වඩාත් දියුණු පරීක්ෂණ මාදිලි අවශ්‍ය වීමට හේතු දක්වමින් ද සයන්ටිස්ට් වෙබ් අඩවිය සමග පළකළ අදහස් පහත දැක්වෙනවා.

Dogs prove they are aware of their own bodies when playing fetch | New  Scientist

ශාරීරික දැනුවත්භාවය කියන්නෙ මොකද්ද? එය මනුෂ්‍යයෙක් සම්බන්ධයෙන් සලකා බැලුවොත් මොන වගේද?

Péter Pongrácz: ජීව විද්‍යාවේදි ශාරීරික දැනුවත්භාවය ලෙස හඳුන්වන්නේ සතෙකු යම් ක්‍රියාවක් සිදු කළොත්, ඒ සත්වයාට තමාගේ ශරීරයේ ප්‍රමාණය හෝ ශරීරයක් පවතින බවට අවබෝධයක් ඇති බව පෙන්නුම් කරන සංජානන හැකියාවක්. අපි මේ පරීක්ෂණයට පදනම් කරගත් මුල් පරීක්ෂණයට යොදාගත්තේ ළදරුවන්… ඔබට “මට අරක දෙන්න මේක දෙන්න” වගේ සරල ඉල්ලීමක්  තේරුම්ගන්න පුළුවන් ළදරුවෙක් ඉන්නවා කියලා හිතමු. ඔබ මේ ළදරුවාව බ්ලැන්කට්ටුවක් උඩින් තියලා “ මට ඔය බ්ලැන්කට් එක දෙන්න” කිව්වොත් දරුවාට ඔබට බ්ලැන්කට්ටුව දෙන්න නම් ඒ මතින් ඉවත් වෙන්න වෙනවා. ඔහු වාඩිවෙලා ඉන්නේ ඒ බ්ලැන්කට්ටුව උඩනෙ. ඉතින් දරුවාට ඒ සම්බන්ධය අවබෝධ කරගන්න පුළුවන් නම්- මට මේ බ්ලැන්කට් එක උස්සන්න බැරි මම ඒක උඩ ඉඳගෙන ඉන්න නිසා කියලා තේරුම්ගන්නවා නම්- අපිට මේ දරුවාට ශාරීරික දැනුවත්භාවය තිබෙනවා කියා කියන්න පුළුවන්.

ඔබ එතකොට මීට සමාන පරීක්ෂණයක් සුනඛයන් සඳහා යොදාගන්න උත්සහ කරනවා. සම්මත පරීක්ෂණ ක්‍රියාවලිය ඉතාමත් සරලව පැහැදිලි කළොත්?

අපේ වාසනාවකට වගේ මීට වසර කිහිපයකට ඉහතදී වෙනත් කණ්ඩායමක් මෙම පරීක්ෂණය අලි ඇතුන් සමග අත්හදා බැලුවා… අපේ පරීක්ෂණ ක්‍රමවේදයට ආසන්නම පරීක්ෂණය එයයි. අපි උපකරණයක් වශයෙන් ගත්තේ සුනඛයාගේ ප්‍රමාණයට වඩා තරමක් විශාල පලසක් හෝ කලාලයක්. අපි සුනඛයන් වෙනුවෙන් තැනූ සෙල්ලම් බඩුවක් මේ පලස කෙළවරට තියලා මැහුවා… මේ කලාලය මත හිටගෙන, එහෙමත් නැතිනම් ඉඳගෙන ඉන්න අතරම පහත් වෙලා ඒ වස්තුව අහුලාගෙන හිමිකරුවාට දෙන්නඋන්ව යොමු කළා.

අලි ඇතුන් හා ළදරුවන් සමග කළ පරීක්ෂණවලදී වගේම පරීක්ෂාවට ලක් වන සත්වයා පලස මතින් නැගී සිටින්නේ නැතිව මේ කාර්යය කරන්න බැහැ. ඉතින් සිද්ධ වෙන්නේ සුනඛයා වස්තුව කටින් අල්ලාගෙන අදින්න උත්සහ කරනවා, නමුත් උන්ට තමන්ගේ සිරුරට යටින් පලසත් ඇදී එන බවත්, වස්තුව ඉහළට ඔසවන්න බැරි බවත් දැනෙනවා. පලස මතින් ඉවත් නොවී මේ ගැටලුව විසඳාගන්න බැරි බව සුනඛයන්ට අවබෝධ වුණොත් උන් ඒ මතින් ඉවත් වේවි කියලා අපි උපකල්පනය කළා.

Dogs have self awareness like humans, new study shows - pennlive.com

ඔබේ පරීක්ෂණයේදී , සුනඛයන් ක්‍රියාව අවබෝධ කරගත් බවත්, ඔවුන් ඉවත් වුණේ පලස මත ඉඳීමට අකමැති වීම වගේ වෙනත් හේතුවක් නිසා නොවන බව තහවුරු කරගන්න යොදාගත් පාලිතයන්, අනුගමනය කළ නිර්නායක මොනවාද?

මෙතැනදී සුනඛයා වස්තුව කටින් අදිද්දී උගේ පාදවලට යටින් පලස සෙලවෙන බව දැනිලා බියපත් වෙලා පලස මතින් ඉවත් වෙන්න පුළුවන්. අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය නෙවෙයි ඒ. ඒ සඳහා අපි පාලක පරීක්ෂණයක් යොදාගන්නවා- අපි එය නම් කළේ පාද අපහසුතාව නමින්. මෙතැනදී සුනඛයා කිසිවක් නොකර පලස මත සිටිද්දී පරීක්ෂකයා පලස යටි පැත්තේ, සුනඛයාගේ පාදවලට යටින් ඇමිණූ කඹයක් සෙමෙන් අදිනවා… අපි මෙය සිදුකළේ සුනඛයාට පලස මතින් ඉවත් වෙන්න තරම් අපහසුවක් දැනෙනවාද කියා  පරීක්ෂා කරන්නයි. අපි පාලක පරීක්ෂණයට ලක් කළ සත්තු අතරින් පලස මතින් නැගී සිටන්න පෙළඹුණේ බොහොම සුළු පිරිසක්- මට මතක විදියට තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් පමණයි. අපි උන්ව ප්‍රධාන පරීක්ෂණයෙන් ඉවත් කළා.

අපේ අනිත් උපකල්පනය වුණේ; සුනඛයාට මේ අමුණා තිබුණු වස්තුව අදිනකොට, මේ ප්‍රශ්නය විසඳාගන්න බැරි බව, වස්තුව සිර වී අති බව හැඟෙද්දී ඌ පලස මතින් ඉවතට ඇදෙන්නේ එය ගලවාගන්න දඟලන අතරතුර ඉබේටමයි. මේ උපකල්පනයට පාලිතයක් වශයෙන්  අපි කළේ වස්තුව පලසට අමුණනවා වෙනුවට පලස අද්දරින් පොළොවට බැස්සූ යකඩ කූරකට අමුණනවා. මේ පරීක්ෂණයේ තත්වය ප්‍රධාන පරීක්ෂණයට  බොහෝදුරට සමානයි- සුනඛයට පලස මත හිඳිද්දී අරමුණ ඉටුවෙන්නේ නැහැ-නමුත් සුනඛයාගේ පාදවලට සංවේදනයක් දැනෙන්නේ නැහැ. ඌට සෙලවිය නොහැකි ඉලක්කයක් හමුවනවා පමණයි.

මෙය තමයි මේ පරීක්ෂණයේ තීරණාත්මකම මොහොත. පොළොවට සවිවුණු වස්තුව ගලවාගන්න බැරිව දඟලද්දී සුනඛයන් පලස මතින් ඉවත් වෙන්න සැලකිය යුතු කාලයක් ගත කළත්, වස්තුවත් පලසත් එකවර ඇදී එන විටදී උන් ඉතාමත් ඉක්මනින් ඒ මතින් ඉවත් වුණා. ඒ නිසා තමාට ඇති බාධකය තමාම බව, තමාගේම සිරුර බව උන් අවබෝධ කරගත් බවත්, උන් පලස මතින් ඉවත් වීම  පලස සොලවන්නට බැරි වීම නිසා නොවන බවත් නිගමනය කරන්න අපි පෙළඹුණා.

ඔබට වැඩ කරන්න වුණේ බිමට අමුණපු වස්තුවක් ගලවාගන්න දඟලන බලු කැලක් එක්ක. හැම දෙයක්ම සැලසුම් කළ විදියටම සිද්ධ වුණාද?

නැහැ. මේ ප්‍රධාන පාලක පරීක්ෂණයේදී වස්තුව පොළොවට සවි කරලානෙ තිබුණෙ. අපි එය සවි කළේ වක්‍රාකාර චලනයන් හරහා පස තුළට බැස්සූ උලකට… ඉතින් සුනඛයන් අතරින් ඉතාමත් සුළුතරයක් හිටියා මේ උල පසෙන් උගුල්ලා දමන්න තරම් ශක්තිමත්. අපිට උන්ව  පරීක්ෂණයෙන් ඉවත් කරන්න සිද්ධ වුණා… ඒක හරිම කනගාටුදායකයි, මොකද උන් වස්තුව අහුලාගෙන බොහොම කැමැත්තෙන් හිමිකරුවා වෙත දීපු කීකරු සත්තු. තමන්ගේ සුනඛයා ඒ දේ කරාම ප්‍රීතියෙන් පිනා ගිය හිමිකරුවෝ හිටියා.  “බලන්න මගෙ බල්ලා දිහා, නියමයි නේද එයා?” ඒ අය හිතන්නෙ එහෙමයි. මේක සෑම විද්‍යාඥයෙකුටම පොදු ඉරණමක්. හැම දෙයක්ම සැලසුම් කරපු ආකාරයටම සිද්ධ වෙන්නෙ නැහැ.

Dogs Pass Test for Awareness of Their Own Bodies: Study | The Scientist  Magazine®

ඔබේ වාර්තාවේ මේ පරීක්ෂණය පරිසර විද්‍යාත්මක පදනමක් සහිත පරීක්ෂණයක් ලෙස හඳුන්වා තිබුණා. මොකද්ද ඔබ එයින් අදහස් කළේ?

ස්වයං දැනුවත්භාවය කියන්නේ සංසන්ධනාත්මක මනෝ විද්‍යාව සහ සංසන්ධනාත්මක ජීව විද්‍යාව කියන විශය ක්ෂේත්‍රයන් දෙකේදීම ඉතාම ආකර්ශනීය මාතෘකාවක්. නමුත් මෙතෙක් කල් විද්‍යාඥයන් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ අපිට ඔවුන්ගේ හැසිරීම් අතරින් නිරීක්ෂණය කළ හැකි සංකීර්ණම හැසිරීම මොකද්ද කියන යල්පැනගිය ප්‍රවේශය. එහි ප්‍රතිඵලය වුණේ බෙහෙවින්ම ආකර්ශනීය, නමුත් අසාර්ථක උපකල්පනයක් මත පදනම් වුණු කැටපත් පරීක්ෂණය. මූලිකම කාරණය, සුනඛයෙක් තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙයි කියලා අපි හිතන්නේ කොහොමද? දෙවනි කාරණය සුනඛයෙක් කැටපත තුළින් තවත් සුනඛයෙකුව දැක්කාම ප්‍රතිචාරයක් දක්වන්න පෙළඹුණත්, උන් බොහෝවිට හැසිරෙන්නේ කලහකාරීවයි: “ඇයි මොනවද බලන්නෙ?” වගේ ප්‍රතිචාරයක් තමයි දක්වන්නෙ.

 අපි උත්සහ කළේ  සාපේක්ෂ වශයෙන් පරිසර විද්‍යාත්මක පදනමක් සහිත ප්‍රවේශයකට යොමු වෙන්න. තෝරාගත් සත්ව විශේෂය තුළ පැවතිය හැකි ආකාරයේ  ස්වයං දැනුවත්භාවයක්… බල්ලෙකුට තමාගේ සිරුරේ ප්‍රමාණය, නැත්නම් සිරුර බාධකයක් වෙන අවස්ථා ගැන යම් දැනීමක් තිබීම අපේක්ෂා කරන්න පුළුවන්. මේ සංකීර්ණ ස්නායු පද්ධතියක් තිබෙන සතෙක්, බුද්ධිමත් සතෙක්, වේගයෙන් ගමන් කරන සතෙක්… බල්ලෙක් කෑම කන විදිය දැකලා තියෙනවා නම්, තරමින් විශාල කෑම කැබැල්ලක් කනකොට, මස්කටුවකින් මස් කැබලි ගලවාගන්න කොට ඊට ශරීරයේ බර යොදන හැටි හිතින් මවාගන්න පුළුවන්. ඉතින් ඒ සන්දර්භය මේ සංජානන හැකියාව පරීක්ෂා කිරීමට වඩාත් උචිතයි.

පරිවර්තනය කර සකස් කළේ: අරුන්දි ජයසේකර

The Scientist Magazine හී පලවූ Dogs Pass Test for Awareness of Their Own Bodies: Study යන ලිපිය අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.