සති දෙකක් තිස්සේ තර්ක විතර්ක, සංසන්ධි කතිකා පවත්වමින් මහා ඝෝෂාවක් කළ COP26 රාජ්‍ය නායක සමුළුව යම්තම් දැන් නිමාවට පත්ව තිබේ. අවසන් මොහොතේ ඉන්දියාවේ මැදිහත්වීම නොතකා සමුළුවට සහභාගී වූ රටවල් 197ත ම ඊනියා ‘ග්ලැස්ගෝ දේශගුණ සම්මුතිය’ අනුමත කරගත්තේය. මේ අවසන් මොහොතේ සංශෝධනයෙන් අවසන් සම්මුතියෙහි මුලින් දැක්වූ ‘අදියර ගතව අවසන් කිරීම’ වෙනුවට ‘අදියර ගතව පහලට හෙළීම’ ලෙසට වෙනස් කරමින් ඊනියා ග්ලැස්ගෝ දේශගුණ සම්මුතිය දියාරු කර දැම්මේය. මේ අවසන් මොහොතේ වෙනස ගැන COP26 සභාපති ආලෝක් ෂර්මා අවසන් කතාවෙහි දී සමාව භජනය කරන ලෙස ඉල්ලා සිටි බව ඇත්තය. එහෙත් ඒ සමාව කාවදින්නේ ග්ලැස්ගෝ සමුළුවේ ඉෂ්ටාර්ථ මැදටය: එනම්, පැරිස් සම්මුතියේ ඉලක්ක සාක්ෂාත් කරගනු වස් වහ වහා ගත යුතු ක්‍රියා මාර්ග මෙම සමුළු ප්‍රතිඵල වලට මනාව ගලපා ගැනීමයි.


සමුළුව ආරම්භයේ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres රටවලින් තරයේ ඉල්ලා සිටියේ “සෙන්ටිග්‍රේඩ් අංශක1.5 ට තබා ගැනීමේ ඉලක්කය නොනැසීපවත්වාගෙන යාම”, ගෝලීය ආර්ථිකය කාබන්හරණය වේගවත් කිරීම, සහ ගල් අඟුරු අදියරෙන් අදියර ඉවත් කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවයි.
ඉතින්, මේ නයින් ගත් කල COP26 රාජ්‍ය නායක සමුළුව අසාර්ථක යයි නම් කළ හැකි ද? සමුළුවේ ප්‍රකාශිත මුල් ඉෂ්ටාර්ථ සැල්කිල්ලට ගෙන ඇගයීමක් කළොත්, කියන්න තියෙන්නේ ඔව් අසාර්ථක තමයි බලාපොරොත්තු වූවාට වඩ අඩු සාර්ථකත්වයක් තමයි ලබාගත්තේ. ප්‍රධාන කාරණා දෙකක්ම ඉෂ්ට නොවීය: ගෝලීය උණුසුම්වීම සෙන්ටිග්‍රේඩ් අංශක1.5 ට සීමා කර ගැනීමට ගැලපෙන ආකාරයෙන් 2030 ඉලක්ක අළුත්කිරීම, සහ ගල් අඟුරු අදියරගතව ඉවත්කිරීම වේගවත් කිරීම පිණිස එකඟතාවයකට එළඹීම. එහෙත්, අසාර්ථකත්ව අතර වැදගත් තීරණ මෙන්ම කැපීපෙණෙන කාරණා ද තිබිණ. එහෙයින්, සමුළුව විග්‍රහ කෙරෙන ගැටළු සලකා බලමු.
2030 සඳහා ඉලක්ක පසුබෑමට ලක්වෙයි
පැරිස් සමුළුවේ එල්ලය වූයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මේ සියවසේ දී සෙල්සියස් අංශක2ට වඩා අඩුවෙන් තබා ගැනීමයි; ඒ වාගේම ගෝලීය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5 ට තබා ගැනීමේ ප්‍රයත්න අනුගමනය කිරීමයි. මේ ඉම පැන්නුවොත්, මුහුදු මට්ටම් ඉහළයාම සහ වඩාත් තීව්‍ර හා නිරන්තරතාවයකින් ස්වභාවික විපත් හට ගැනීම වැනි මහා විපත්තිදායක බලපෑම් මුදාහැරෙන්නට පුළුවන.
කෙසේවෙතත්, COP26 ප්‍රතිඥා සියල්ලම ඉටු කළ ද, අපට සපුරා ගැනීමට හැකිවන්නේ 2030 ඉලක්ක පමණක් නම් අපේ මේ ග්‍රහ ලෝකය සෙල්සියස් අංශක 2.1කින් හෝ බාගදා 2.4කින් උණුසුම් වීමේ මගට පිවිසෙයි. ඕස්ට්‍රේලියානු රාජ්‍යයය උදාහරනයකට ගතහොත් එරට 2030 ඉලක්ක වශයෙන් පවතින්නේ 2015 ඉලක්කමය. ලෝකයේ සෙසු රටවල් ද මේ ආකාර මද, කෙටි කාලීන ඉලක්ක වෙත යොමු වුවහොත්, ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3 සීමාව වෙත යන මගට පිවිසෙනු ඇත.

රීත්‍යනුකූලව බලතොත් 1.5 C තවමත් සාක්ෂාත් කර ගත හැකිව තිබේ. මන්ද කීවොත්, ග්ලැස්ගෝ සම්මුතිය යටතේ රටවලට දන්වා ඇත්තේ තමන්ගේ 2030 ඉලක්ක වසරක් ඇතුළත යාවත්කාලීන කරගන්නා ලෙසය. කෙසේවෙතත්, ෂර්මා පෙන්වාදෙන පරිදි, 1.50 C ඉලක්කය වෙත යන ගමන අඩපණ ගතියක් දක්වයි. අනික, දේශගුණ ප්‍රතිපත්ති මෙහෙයවන බලවේගය වන්නේ ජත්‍යන්තර බලපෑමට වඩා රටේ අභ්‍යන්තර දේශපාලනයයි. එම නිසාවෙන් රටවල් 2022 වනවිට වඩාත් ඉහළ අපේක්ෂාවන්ට යොමු වෙතැයි සිතිය නොහැක.
‘අදියරගතව අවසන් කිරීම’ නොව ‘අදියර ගතව අඩු කිරීම’
ග්ලැස්ගෝ ප්‍රකාශනයෙහි “අදියරගතව අවසන් කිරීම” වෙනුවට ගල් අඟුරු භාවිතය “අදියර ගතව අඩු කිරීම” ලෙස අවසන් මොහොතේ වෙනස් කිරීමට ඉන්දියාව මැදිහත්වීම, ගල් අඟුරු භාවිතයෙන් ඉවත්වීමේ ‘හදිසිය’ අඩපණකරයි. චීනය සහ එක්සත් ජනපදය ළඟට ලොව වැඩියෙන්ම හ්රෛතාගාර වායු විමෝචනය කරන්නේ ඉන්දියාවයි. ඉන්දියාව, ගල් අඟුරු භාවිතය මත දැඩිව රඳා පවතින අතර 2024 තෙක් ගල් අඟුරු බලයෙන් ශක්ති ජනනය සෑම වසරකම 4.6%කින් වර්ධනය වෙතැයි අපේක්ෂිතයි. ග්ලැස්ගෝ ප්‍රකාශනයෙහි ‘අදියරගතව අවසන් කිරීම’ යන්නට විරෝධතාව දැක්වීමේ දි ප්‍රමුඛ වූයේ ඉන්දියාව වුව ද චීනයේ සහාය ද පළවින.
තවද, ප්‍රභවස්ථානයේ දී ම (කාබන්) හසු කරගැනීම සහ භූගතව ගබඩා කිරීම සඳහා වූ තාක්ෂණය තවදුරටත් වැදියුණු කළ හැකි බවට එක්සත් ජනපද දූත ජෝන් කෙරී තර්කයක් ගෙන ආවේය. දේශගුණය වෙනුවෙන් ගතයුතු ක්‍රියා මාර්ගයක් හැටියට කාබන් හසු කරගැනීම සහ භූගතව ගබඩා කිරීම මතභේදයට තුඩු දෙන ප්‍රස්තුතයකි. විශාල පරිමාණව එය සාර්ථක යයි ඔප්පු වූවක් නොවන අතර හසු කරගෙන භූගතව තැන්පත් කෙරෙන කාබන් අවසානයේ නැවතත් වායුගෝලයට එක්වේද යන්න අප තවම හරිහැටි දන්නේ නැත. එපමණක් ද නොව, ලොව පුර විශාල පරිමාණයේ භූගත ගබඩා පවතින්නේ සාපේක්ෂව අඩුවෙනි.
මෙකී මිළ අධික තාක්ෂණය, අඩු වියදම් පුනර්ජනනීය බලශක්ති හා සසඳන විට පිරිවැය එලදායිතා කටයුත්තක් ලෙස සැලකීම අසීරුය. පැරිස් සම්මුතියෙහි 6 වෙනි වගන්තිය ලෙස දැක්වෙන ගෝලීය කාබන් වෙළඳාමේ නීති COP26 රාජ්‍ය නායක සමුළුවේ දී අවසානයකට ගෙන ඒමට හැකිවීම වැදගත් සාධනීය ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. කෙසේවෙතත්, මේ නීතිරීති යටතේ ෆොසිල ඉන්ධන කර්මාන්තයට සිය කාබන් විමෝචන ‘පාඩු පිරිමැසීමට’ ඉඩ සැලසෙන හෙයින් දිගටම වායුගෝල දූෂණය කිරීමට පුළුවන. ‘අදියර ගතව අඩු කිරීම’ හා එක්ව ගත් කල මේ පියවර හේතුවෙන් ෆොසිල ඉන්ධන විමෝචන දිගටම සිදුවෙනු ඇත.

සමුළුවේ සාධනීය අංග නැතුවා නොවේ
අඩුපාඩු තිබුණ ද ග්ලැස්ගෝ COP26 රාජ්‍ය නායක සමුළුව වැදගත් ධනාත්මක ප්‍රතිඵල කිහිපයකට මග පෑදීය. බලශක්ති මූලයක් වශයෙන් ෆොසිල් ඉන්ධනවලින් ඈත්වීම පිණිස ලෝකයා පහැදිලි, අසංදිග්ධ මගක් ගෙන ඇත. එමෙන්ම, ගෝලීය උණුසුම් වීමේ 1.50 C ඉලක්කය සමුළුව පුරා ප්‍රධාන තැනක් ගත්තේ එම ඉලක්කය සපුරා ගැනීමට නම් 2010 හා සසඳන විට 2030 වන විට 45%ක ඉක්මණින් ගඹුරු ආකාරයෙන් දිගටම පවත්වාගෙන යන අන්දමින් විමෝචන අඩුකිරීම අවශ්‍ය බව හඳුනාගනිමිනි.
එපමණක් ද නොව, වනාන්තර සහ ජෛවීවිවිධත්වය ඇතුළුව ස්වභාව ධර්මය සහ පරිසර පද්ධති සංරක්ෂණයෙහි වැදගත්කම ග්ලස්ගෝ සම්මුතියෙන් අවධාරණය කෙරිණ. මේ අතරවාරයේ සමුළුවෙන් බාහිරව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 124ක් 2030 වන විට වනහරණය නතරකිරීමේ ගිවිසුමකට එළඹුණේය. දේශගුණ විපර්යාසයන්ට භාජනය විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවලට වසරකට ඩොලර් බිලියන 100ක් බැගින් වසර පහකට ලබාදීමට තිබූ පොරොන්දුව මුඉද ඒ ආකාරයෙන්ම් සම්පූර්ණයෙන්ම පියවන ලෙස ගිවිසුම මගින් ඉල්ල සිටිනු ලැබේ. තවද, ප්‍රතිඥා ක්‍රියාවට නැංවීමේ දී විනිවිද භාවයෙන් කටයුතු කළ යුතු යයි ද අවධාරනය කෙරේ.
පැරිස් ගිවිසුමේ උෂ්ණත්ව ඉෂ්ටාර්ථය හා ගැලපෙන පරිදි 2022 අවසානය වනවිට අවශ්‍ය ආකාරයට 2030 ඉලක්ක යළි සලකාබැලීම හා බලගැන්වීම පිණිස ක්‍රියා කරන්නැයි රටවල්වලින් ඉල්ලා සිටිනු ලැබේ. එක්සත් ජනපද සහචීනය අතර දේසගුණ ගිවිසුම ද පරෙස්සෙමින් සලකිල්ලට ලක් කළයුතු සුබවාදී ප්‍රවෘත්තියකි.
1.50 C ඉෂ්ටාර්ථය ලඟා කර ගැනීමේ මගට හරියාකාරව පිවිස නැතත් ග්ලැස්ගෝ ප්‍රවර්තක ශක්තිය යොමුව ඇත්තේ නිවැරදි දිශානතියකටය.
The conversation හී පළ වූ The ultimate guide to why the COP26 summit ended in failure and disappointment (despite a few bright spots) යන ලිපිය අසුරෙනි