සමහරෙකු සතුන්ට සළකන්නත්, තවත් සමහරු ඔවුන් නොතකන්නත් පෙළඹීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

Posted by

සමහරෙකු සතුන්ට සළකන්නත්, තවත් සමහරු ඔවුන් නොතකන්නත් පෙළඹීම ගැන විද්යාත්මක පැහැදිලි කිරීමක්

මෑතකාලීනව ජනප්‍රිය වුණු “designer” (හෙවත් දෙමුහුන්) සුනඛයන්, බළලුන්, කුරු ඌරන් වැනි සුරතල් සතුන් ඇතිකිරීමේ ප්‍රවණතාවය, සුරතල් සතුන් ඇති කිරීමත් හුදෙක් තවත් එක් රැල්ලක් පමණද කියන මතය සමාජගත කිරීමට මගපෑදුවා. සුරතල් සතුන් ඇතිකිරීම බටහිර සංස්කෘතියේ බලපෑමක් බවත්, අපේ මුතුන්මිත්තන් අතර පැවති වැඩ ඉ‍ටුකර දෙන සතුන් ඇති කිරීමේ පුරුද්දේම විකාර රූපී වූ විකාශනයක් බවත් බොහෝ දෙනා විශ්වාස කරනවා.

බ්‍රිතාන්‍යයේ නිවාසවලින් හරි අඩකම කුමන හෝ ආකාරයක සුරතල් සතෙක් ඇතිදැඩි වෙනවා. ඒ අතරින් මිලියන දහයක් පමණ සුනඛයන් වන අතර බළලුන් සංඛ්‍යාවත් මිලියන 10ට ආසන්න අගයක් ගන්නවා. සුරතල් සතුන් නඩත්තුව සඳහා විශාල පිරිවැයක් සහ කාලයක් වැය වන අතරම එයින් හිමිවන භෞතික වාසි ප්‍රමාණය බෙහෙවින්ම සීමිතයි. නමුත් 2008 ආර්ථික අවපාතය පැවති සමයේ පවා සුරතල් සතුන් වෙනුවෙන් ඔවුන්ගේ හිමිකරුවන් දැරූ පිරිවැයේ වෙනසක් නොවූ තරම්. එයින් ඇඟවෙන්නේ සුරතල් සතුන් හිමි අයගෙන් බහුතරයක‌ට එම සතුන්   හුදු ආස්වාදය, විනෝදය සපයන නමුත් අත්‍යවශ්‍ය නොවන පිරිසක් නොව පවුලේ ම යාවජීව සාමාජිකයන් බවයි.

එසේ නමුත් සමහරු, සුරතල් සතුන් ප්‍රිය කරද්දී තවත් සමහරු එම සතුන් ගැන කිසිදු තැකීමක් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇයි? අපි සතුන්ගේ ඇසුර ප්‍රිය කිරීමට  හේතු වසර දස දහස් ගණනක් අතීතයකට උරුමකම් කියන්නත්, අපගේ පරිණාමීය ක්‍රියාවලිය සඳහා වැදගත් දායකත්වයක් (එම ඇසුර) සපයන්නටත් ඇති. එසේ නම් සමහරුන්ට සතුන් කෙරෙහි ආදරයක් පහල නොවෙන්නටත් ජානමය සාධකවල බලපෑමක් හේතු වෙනවාද?

domestication | National Geographic Society

සෞඛ්‍ය පිළිබඳ පරස්පරතාවය

මෑතකාලීනව සුනඛයෙක් (හෝ බළලෙක්) ඇතිදැඩි කිරීම බහුවිධ ආකාරයෙන් හිමිකරුගේ සෞඛ්‍යයට සුබවාදීව බලපාන බවට— හෘද රෝග අවධානම අවම කිරීමටත්, හුදෙකලාවට වැට බැඳීමටත්, විශාදය සහ ඩිමෙන්ෂියාව(ස්මෘති හානිය හෙවත් චිත්ත වික්ෂේපය) ආශ්‍රිත සංකූලතා අවම කිරීමටත් දායක වන බවටත්-== ඉදිරිපත් වුණු මතවාදයට වැඩි පිරිසකගේ අවධානය යොමු වුණා.

එහෙත් මෙම මතවාද ආශ්‍රිත ගැටලු දෙකක් තිබෙනවා. පළමුව, සුරතල් සතුන් සෞඛ්‍යයට කිසිදු හිතකර බලපෑමක් නොකරන බවටත්/ සුළු වශයෙන් අහිතකර බලපෑම් එල්ල කරන බවටත් (පක්ෂව හා විපක්ෂව) එක සමාන සමීක්ෂණ ප්‍රමාණයකින් අනාවරණය වී තිබෙනවා. දෙවනුව, සුරතල් සතුන් ඇතිකරන අය කිසිදා සතෙකු නිවසට වද්දා නොගත් අයට වඩා වැඩි කලත් ජීවත් වන බවක් පෙනෙන්නට නැහැ. ඉහත මතවාදවල සත්‍යතාවයක් තිබෙනවා නම් ඔවුන් සාපේක්ෂ වශයෙන් වැඩි කලක් ජීවත් විය යුතුයිනේ? එම මතවල යම් සත්‍යතාවයක් තිබුණත්, එකී සාධක වලංගු විය හැක්කේ නූතන යුගයේ කලබලකාරී නගරවලට මිස දඩයමින් සහ ආහාර රැස්කිරීමෙන් එදා වේල සරි කරගත් අපගේ ආදී මුතුන්මිත්තන්ට නොවෙයි. එම නිසා අපි සුරතල් සතුන් ඇති කිරීමට පෙළඹීමට එම කරුණු බලපෑවා යැයි සිතන්නට අසීරුයි.

නිවසේ සුරතල් සතුන් ඇතිදැඩි කිරීමේ නැඹුරුව කොතෙක් දුරට ව්‍යාප්ත වූ එකක්දැයි කියනවා නම් එය පොදු මිනිස් ස්වභාවයක් යැයි හැඟෙන්නත් පුළුවන්. බටහිර රටවල පවා සුරතල් සතුන් හෝ වෙනත් සතුන් සම්බන්ධයෙන් කිසිදු ළැදියාවක් නොදක්වන විශාල පිරිසක් සිටිනවා. සුරතල් සතුන් ඇතිකිරීම පවුල් හරහා උරුම වන පුරුද්දක් බව දක්නට ලැබෙනවා. අතීතයේදී ඊට හේතු වශයෙන් දැක්වුණේ දරුවන් මවුපියන්ගේ නිවස හැරගොස් ස්වාධීන වීමෙන් පසුවත් දෙමව්පියන් අනුගමනය කළ ජීවන රටාවම අනුගමනය කිරීම‌ට පෙළඹීමයි. නමුත් ඊට ජානමය සාධකත් බලපාන බව මෑතකාලීන පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. ඔවුන් හැදුණු වැඩුණු පරිසරය කුමක් වුවත්, සමහරු සතුන්ට සමීප වීමට වැඩි නැඹුරුවක් දක්වද්දී තවත් සමහරු තුළ ඒ නැඹුරුව දක්නට ලැබෙන්නේ නැහැ.

ඉතින් සුරතල් සතුන් ඇතිදැඩිකිරීමට පොළඹවන ජාන මානවයන්ට අනන්‍ය වුවත්, සියල්ලන්ටම පොදු නැති බව පෙනී යනවා. එයින් ඇඟවෙන්නේ ඇතැම් පුද්ගලයන්ගේ සහ ජන කොට්ඨාශවල යහපැවැත්මට සතුන් සමග ගොඩනගාගත් සහජ සහසම්බන්ධය ඉවහල් වන්නට ඇති බවයි.

සුරතල් සතුන්ගේ DNA

වර්තමානයේ සිටින ගෘහාශ්‍රිත සතුන්ගේ DNA අධ්‍යයනය කිරීමේදී අනාවරණය වන්නේ ඒ සෑම සත්ත්ව විශේෂයක්ම පේලියෝලිතික (ආදී පාෂාණ) යුගයේ අග භාගයේදී සහ නියෝලිතික(නව පාෂාණ) යුගයේදී (මීට වසර 15,000ත් 5,000ත් අතර වකවානුවේදී) ඔවුන්ගේ වනගත මුතුන්මිත්තන්ගෙන් වෙන්ව විකාශය වූ බවයි. අප සත්ව පාලනය සඳහා සතුන් අභිජනනය කිරීම ඇරඹුවේත් ඒ වකවානුවේදීමයි. එනමුත් එම ආදිකාලීන සුනඛයන්, බළලුන්, ගවයන් සහ ඌරන් හුදෙක් භාණ්ඩ වශයෙන් පමණක් සැලකුණා නම් ඔවුන්ට වර්තමානයේදී හිමි පිළිගැනීම අත්වුණේ කෙසේද යන්න ප්‍රහේලිකාවක්.

එවන් නොවැදගත් තත්ත්වයක් යටතේදී නම් ගෘහාහිත සහ වනවාසී සතුන් අතර ඇතිවන අනවශ්‍ය අභිජනනය වැළැක්වීමට ඒ වකවානුවේදී පැවති තාක්ෂණය ප්‍රමාණවත් නොවීම නිසාත්, ඔවුනොවුන් අතර අභිජනනයට ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තාවක් පැවතීම නිසාත්, “හීලෑබවට” අදාල ජාන නොකඩවා තනුක වීමෙන්(අඩ පණවීමෙන්)  සතුන්ගේ හීලෑවීමේ ක්‍රියාවලිය  ඇණහිටින්නටත්- ඇතැම් විටෙක ආපස්සට ගමන් කිරීමටත් හැකියාව පැවතුණා. ඊට අමතරව සාගත පවතිද්දී අභිජනනය සඳහා පවත්වාගෙන ආ සත්ව පට්ටිය ඝාතනය කිරීමට හිමිකරුවන් පෙළඹීම නිසා “හීලෑ ජාන” මුලුමනින්ම තුරන් වී යන්නටත් ඉඩ තිබුණා.

Quaternary Period, Hominid Settlement Photograph by Spencer Sutton
Animals and Humans: A Brief History

කෙසේවෙතත්, මේ ගෘහාශ්‍රිත සතුන් අතරින් ටික දෙනෙකු හෝ සුරතල් සතුන් වශයෙන් ඇතිදැඩි වුණා නම් මිනිස් වාසස්ථාන තුළ සිර වී ජීවත් වීමෙන් ගෘහාශ්‍රිත ගැහැනු සතුන් වනවාසී  පිරිමි සතුන් සමග සහවාසයේ යෙදීම සීමා වන්නට ඉඩ තිබුණා. දඩයමින් හා ආහාර රැස්කිරීමෙන් ජීවිතය සරි කරගත් අප ආදිතමයන්ගේ (hunter-gatherer — දඩකරු, අන්න ගවේෂක)) සුරතලුන් වශයෙන් එම සතුන් හිමි කරගත් සමාජීය වටිනාකම ඔවුන්ව ආහාර සඳහා ඝාතනය කර දමීම වලක්වාලන්නට ඇති. මේ ආකාරයෙන් හුදෙකලාව ඇතිදැඩි වීම මෙම අර්ධ වශයෙන් ගෘහාශ්‍රිත වූ සතුන්ට ඔවුන්ගේ ආදිතමයන්ගේ වනචාරී ගතිවලින් අත්මිදී අපි වර්තමානයේදී දකින හීලෑ සතුන් වන්නට මගපාදන්නට ඇති.

වත්මන් මානවයන්ට තම මුල්ම බලු හෝ බළල් සුරතලාව නිවසට කැඳවාගන්න පොළඹවන ජාන ම ඒ වකවානුවේදී අතීතයේ විසූ ගොවියන් අතර ව්‍යාප්ත වන්නට ඇති. සතුන් කෙරෙහි කරුණාව දක්වන, සත්ව පාලනය පිළිබඳ මනා අවබෝධයකින් යුතු අය, එවන් අවබෝධයක් නැති, මස් සඳහා දඩයම මත ම යැපුණු අයට සාපේක්ෂව සාර්ථක වන්නට ඇති. නමුත් ඒ හැඟීම කාටත් පොදු නොවන්නේ ඇයි? බොහෝවිට අතීතයේ එක් වකවානුවකදී ගෘහාශ්‍රිත සතුන් සොරකම් කිරීම හෝ ඔවුන් රැකබලා ගන්නා මිනිසුන් පැහැරගෙන වහලුන් ලෙස රඳවාගැනීම පහසු විකල්පයක් වන්නට ඇති.

නමුත් මේ අතීත කතාවේ තවත් අපූරු හැරවුමක් තිබෙනවා: මෑතකාලීන පර්යේෂණවල ප්‍රතිඵලවලට අනුව සතුන් කෙරහි දක්වන ආදරය ස්වභාවධර්මය කෙරෙහි දක්වන ළැදියාව සමග අත්වැල් බැඳගන්නවා. පෙනී යන ආකාරයට පරිසරය සහ සතුන් ගැන වැඩි තැකීමක් නොකරන සහ ඒ දෙවර්ගය කෙරෙහිම අසීමාන්තික ළැදියාවක් දක්වන අය වශයෙන් මිනිසුන්ව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියි. නූතනයේ නාගරීකරණයට ලක්වූ සමාජය තුළ පරිසරය හා බැඳෙන්නට මගක් වශයෙන් ඒ දෙවන කාණ්ඩයට අයත් අය සුරතලුන් ඇතිදැඩි කර සතුටක් ලබන්න පෙළඹෙනවානවා.

එලෙස සළකන විට සුරතල් සතුන් අප පරිණාමය වූ ජීව ලෝකය සමග යළිත් සහසම්බන්ධ වන්න‌ට අපට උපකාරී වන්නට පුළුවනි.

පරිවර්තනය කර සකස් කළේ: අරුන්දි ජයසේකර

The Conversation හී පලවන The science behind why some people love animals and others couldn’t care less යන ලිපිය අසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.