COVID-19 සඳහා වූ PCR සහ antigen පරීක්ෂණ දෙක අතර වෙනස අණුක ජීව විද්යාඥයෙක් පැහැදිලි කරයි.
මේ වනවිට COVID-19 ගෝලීය මහා වසංගතයට වසර දෙකකි. වසංගතයට අදාළ කරුණු කාරණා ගැන අප කාටත් දැන් තරමක් හෝ අවබෝධයක් ඇත. නිදසුනක් ලෙස අප සෑම දෙනාම වාගේ අඩුම තරමින් එන්නත් එක මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ. ඒ වාගේම, මේ වනවිට ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු COVID-19 සඳහා වූ පරීක්ෂණ වන PCR සහ antigen යන දෙකෙන් එකකට භාජනයවී ඇතුවා නො අනුමානයි. ඒත් ඒ පරීක්ෂණ ක්‍රියාත්මක වන ආකාරය හෝ ඒවායේ ප්‍රබලතා හෝ දුබලතා ගැන නිසි දැනුමක්, අවබෝධයක් ඇත් ද? මේ පරීක්ෂණ දෙක මොනවා ද? ඒවායේ වෙනස් කම් මොනවාද? ආදී වශයෙන් අණුක ජීව විද්‍යාඥයෙකු කරන පැදිලිකිරිමක් අද thathu.com ලිපියෙන් ගෙන එමු.

COVID-19 හට ගන්වන SARS-CoV-2 වෛරසයෙන් ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන වර්ගයේ පරීක්ෂා දෙකක් සිදු කරනු ලැබේ: ඒවා නම් PCR පරීක්ෂණ ලෙස වඩාත් ප්‍රකට පරීක්ෂණ සහ antigen(ප්‍රතිදේහජනක – සිරුර තමන්ට ආගන්තුකලෙස සලකා ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් උපදවනු ලබන ද්‍රව්‍යය) පරීක්ෂණ යන අණුක පරීක්ෂණයි.
එක් එක් පරීක්ෂණය මගින් වෛරසයේ වෙනස් කොටසක් සොයාගනු ලබන අතර ඒවා ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂණයේ ප්‍රතිඵල සඳහා ගතවන කාලය කෙරෙහි මෙන්ම සාපේක්ෂ නිරවද්‍යතාව කෙරෙහි ද බලපායි. ඉතින් මේ දෙයාකාර පරීක්ෂණ අතර වෙනස්කම් මොනවා ද?
ජානමය සාක්ෂි සෙවීම
පරීක්ෂණ දෙකෙන් කොයි එක වුවද මුල් පියවර වන්නේ රෝගියාගෙන් සාම්පලයක් ලබා ගැනීමයි. මෙය නාශික මාත්තුවක්(nasal swab) හෝ ඛේටය(කෙළ) බිඳක් විය හැකියි. PCR පරීක්ෂණය දී නම් ඊළඟ පියවර වන්නේ, රෝගියාගෙන් ලබාගන්නා සාමපලයෙහි කොරෝනා වෛරස ජාන සුළු ප්‍රමානයක් හෝ ඇත් දැයි සෙවීම පිණිස (ලබා ගන්නා) ජානමය ද්‍රව්‍ය විස්තාරණය කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ පොලිමරේස් දාම ප්‍රතිචාර(Polymerase Chain Reaction – PCR) නම් ශිල්ප ක්‍රමය භාවිත කරමිනි. සෞඛ්‍ය සත්කාර සේවකයෙක් (රෝගියාගෙන්) සාම්පලයක් ලබාගෙන එය, RNA ද්වි දාම DNA බවට හරවන එන්සයිමයක් පිරියම් කරයි.


අනතුරුව DNA, පොලිමරේස් නම් එන්සයිමය අඩංඟු ද්‍රාවනයක් සමග මිශ්‍ර කර රත්කරන්නේ තනිදාම කොටස් දෙකක් ලෙස වෙන් කෙරෙන ආකාරයටය. උෂ්ණත්වය පහළට හෙළන අතර මූලිකයක්(primer) කියන නියමු DNA කැබැල්ලක ආධාරයෙන් තනි දාම DNAයට බැඳී එය පිටපත් කරයි. කොරෝනා වෛරස DNA පමණක් විස්තාරනය කෙරෙන බව මූලික(primers) මගින් සහතික කෙරේ. දැන් ඔන්න මුල් RNA තනි කැබැල්ලෙන් කොරෝනා වෛරස DNA පිටපත් දෙකක් නිර්මාණ කර අවසන්ය.
පරීක්ෂණාගාර යන්ත්‍ර මගින් මෙකී රත් කිරීමේ සහ සිසිල් කිරීමේ චක්‍ර 30ස් 40ළිස් වතාවක් පුනරාවර්තනය කරන්නේ මුල් කොටසෙහි පිටපත් බිලියනයක් වනතුරු DNA දෙගුණ කරමිනි. විස්තාරණය වූ අනුක්‍රමණයේ යන්ත්‍රයක් මගින් කියවිය හැකි ප්‍රතිදීප්ත සායමක් අඩංඟුවේ.
PCR පරීක්ෂණයේ විස්තාරන ගුණය, සාම්පලයක ඇති කොරෝනා වෛරස ප්‍රවේණි ද්‍රව්‍ය සුළුම සුළු ප්‍රමාණය පවා සාර්ථකව සොයා ගැනීමට පරීක්ෂාවට ඉඩ සලසයි. මේ හේතුව නිසා එය බෙහෙවින් සංවේදී සහ නිරවද්‍ය පරීක්ෂණයක් බවට පත්වෙයි. සියයට 100කට ආසන්න වෙන්නා වූ නිරවද්‍යතාවක් සහිත මෙම පරීක්ෂාව තමයි නිර්ණය කරන ස්වර්ණමානය හෙවත් රන්මිනුම.

කෙසේවෙතත්, PCR පරීක්ෂණයේ ඇතැම් දුර්වලතාවන් ද ඇත. එම පරීක්ෂණ පැවැත්වීම පිණිස නිපුණ පරීක්ෂණාගාර තාක්ෂණ ශිල්පියෙකු මෙන්ම විශේෂ උපකරණ ද අවශ්‍ය වේ. තවද, විස්තාරණ ක්‍රියාදාමය ආරම්භයේ සිට අවසාන වනතෙක් පැයක් හෝ ඊටත් වැඩිවේලාවක් ගත විය හැකියි. PCR පරීක්ෂණ ගණනාවක් එකවර සිදු කිරීමට සාමාන්‍යයෙන් හැක්කේ මධ්‍යගත පහසුකම සහිත — රෝහල් පරීක්ෂණාගාරයක් වැනි — විශාල ආයාතනක දී පමණක්ය. සාම්පලය ලාබාගැනීම, ප්‍රවාහනය, විස්තාරණය, සොයාගැනීම, සහ වාර්තා කිරීම දක්වා පුද්ගලයෙකුට පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාගැනීම තෙක් ගතවන කාලය පැය 12 සිට දින පැය පහක් දක්වා වේ. අවසාන වශයෙන් කිව යුත්තේ PCR පරීක්ෂණ සඳහා සැලකිය යුතු වියදමක් නම් දැරිය යුතු බවයි.
ප්රතිදේහජනක(antigen) පරීක්ෂණ
SARS-CoV-2 වැනි බෙහෙවින් බෝවෙනසුළු වෛරසයක් පැතිරීම වළක්වාලීම සඳහා වේගවත්, නිරවද්‍ය පරීක්ෂණ අත්‍යවශ්‍යය. PCR පරීක්ෂණ නිරවද්‍ය නමුත් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දීර වේලාවක් අවශ්‍යවේ. අනෙක් රධාන පෙළේ කොරෝනාවෛරස පරීක්ෂණය වන ප්‍රතිදේහජනක(antigen) පරීක්ෂණ වඩා වේගවත් වන නමුත් නිරවද්‍යතාව සාපේක්ෂව අඩුය.
ප්‍රතිදේහජනක යනු සිරුරේ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් හටගැන්වීමට (ඒවා ප්‍රතිදේහ ජනනය කිරීමට මුලපුරයි) හේතුවන ද්‍රවය වේ. SARS-CoV-2 වෛරසයෙන් ප්‍රතිදේහජනක සෝයා ගනු වස් මෙම පරීක්ෂණ, පරීක්ෂණාගාරයක තැනූ(lab-made) ප්‍රතිදේහ යොදා ගනී.
ප්‍රතිදේහජනක(antigen) පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මුලින්ම කරනුයේ, සෛල සහ අනෙකුත් අංශු බිඳ වෙන්කිරීමට මග පාදන ලුණු සහ සබන් අඩංගු දියරයකින් පිරියම් කරනු ලැබීමයි. ඉන් පසුව, මෙම දියරය SARS-CoV-2 වෛරසයට සුවිශේෂී ප්‍රතිදේහ සිහින් රේඛාවක් මත පින්තාරු කළ පරීක්ෂණ පටියක්(test strip ) මත යොදනු ලබේ.
ඔබගේ සිරුරේ ප්‍රතිදෙහ සේම පරීක්ෂණ පටිය මත ඇති ඒවා ද සාම්පලයේ ඇති ඕනෑම ප්‍රතිදේහ ජනකයකට බැඳේ. මෙවිට ප්‍රතිදේහ, කොරෝනා වෛරස ප්‍රතිදේහජනකවලට බැඳුනොත් SARS-CoV-2 තිබෙන බව හඟවමින් වර්ණගැන්වූ රේඛාවක් පරීක්ෂණ පටිය මත දිස්වෙයි.
ප්‍රතිදේහ ජනක පරීක්ෂණ යොදා ගැනීමේ වාසි කිහිපයක් ඇත. ප්‍රථමයෙන්ම දැක්විය හැක්කේ, ඒවා භාවිතය පහසු බවයි — කොපමණ නම් පහසු ද කීවොත් විශේෂ පුහුණුවකින් තොරව පරීක්ෂා කර ප්‍රථිඵල තේරුම් කර ගත හැකිය; ඔව්, තම නිවසේ සිටම කර ගත හැකිය. තවද් මෙම පරීක්ෂණ වර්ගය, ප්‍රථිඵල ඉක්මණින් ලබාදෙයි: සාමාන්‍යයෙන් ඒ සඳහා ගතවන්නේ විනාඩි 15 කට අඩුකාලයකි. තවත් වාසියක් හැටියට දැක්විය හැක්කේ,මෙම පරීක්ෂණ සාපේක්ෂව වියදම අඩු වීමයි.

ප්‍රතිදේහ ජනක පරීක්ෂණ යොදා ගැනීමේ දී සමහරක් අවාසි ද ඇත. අවස්ථාව අනුව සලකනවිට ඒවා, PCR පරීක්ෂණවලට වඩා සාපේක්ෂව නිරවද්‍යතාවයෙන් අඩුය. පුද්ගලයෙකු ආසාදිත බවට ලකුණු ඇතිවිට හෙවත් ලාක්ෂණික නම් හෝ වෛරසයේ විශාල ප්‍රමානයක් ශරීරය තුළ ඇත්නම් එවැනි අවස්ථාවල දි ප්‍රතිදේහ ජනක පරීක්ෂණ බෙහෙවින්ම නිරවද්‍යය. කෙසේවෙතත් අණුක PCR පරීක්ෂණ මෙන් නොව ප්‍රතිදේහ ජනක පරීක්ෂණ, ඒවායින් සොයන දෑ(වෛරස කොටස්) විස්තාරණය කරන්නේ නැත. මෙයින් අදහස් වෙන්නේ ප්‍රතිදේහවලට පරීක්ෂණ පටිය මත සංඥාවක් ජනනය කරණු හැකි වෙන තරමට සාම්පලයේ ප්‍රතිදේහ ජනක ප්‍රමාණවත්ව තිබිය යුතු බවයි. පුද්ගලයෙකු ආසාදනයේ මුල් අවස්ථාවෙහි පසුවන විට නාසයේ හෝ උගුරෙහි එපමණ වෛරස නොමැත. පරීක්ෂන සඳහා සාම්පල ලබාගන්නේ එම දෙකෙනි. එහෙයින්, ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලට COVID-19 මුල් අවධියේ ආසාදන මග හරෙන්නට පුළුවන. තවද මෙම අවධියේ පුද්ගලයෙකු තුළ රෝග ලක්ෂන නොමැති විය හැකි නිසා තමන්ට රෝගය ආසාදනය වී ඇති බවක් ඔවුන් නොදැන සිටින්නට ඉඩ ඇත.
පරීක්ෂණ වැඩිවෙත්ම අවබෝධය දියුණුවෙයි
ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කිහිපයක්ම පහසුවෙන්ම වෙළඳ පොළෙන් ලබා ගත හැකිය. එමෙන්ම, 2021 ඔක්‍තෝබරයේ එක්සත් ජනපද ආහාඅර සහ ඖෂධ පරිපාලනය(Food and Drug Administration – FDA) නිවසේ සිදුකෙරෙන තවත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණයකට හදිසි භාවිතය සඳහ අනුමැතිය දුන්නේය. මෙම පරීක්ෂණ පහසුවෙන් ජනතාවට ලබාගැනිමට සැලැස්වීම පිණිස එරට රජය උනන්දුවෙයි.

කාලය සමග නිරවද්‍යතාව වෙනස් වන ආකාරය ගැන විද්‍යාඥයන්ට දත්ත වැඩියෙන් ලැබෙන්ට ලැබෙන්ට මේ පරීක්ෂණ වඩ වඩාත් පලදායීව භාවිත කළ හැකිවේ. PCR සහ antigen පරීක්ෂණ දෙකෙහිම හැකියාවන් සහ සීමාවන් මෙන්ම ඒවා භාවිත කළ යුත්තේ කොයි අවස්ථාවේද යන්න අවබෝධ කර ගැනීම COVID-19 ගෝලීය වසංගතය පාලනය කර ගැනීමට උපකාරීවේ. ඉතින් මීළඟ වතාවේ COVID-19 පරීක්ෂණයකට යනවිට ඔබට යෝග්‍ය පරීක්ෂණය තෝරා ගන්න.

The Conversation හී පළවන What’s the difference between a PCR and antigen COVID-19 test? A molecular biologist explains යන ලිපිය ඇසුරෙනි