කඩාවැටෙන තාරකා ඇත්තටම පවතී, ඒත් ඒවා උල්කාපාත නම් නොවේ
සමහරක් තාරකා විශ්වය හරහා අධික වේගයෙන් ගමන් කරන්නේ ඇතැම් අවස්ථාවල දූවිලි හා වායු ආකර්ෂණීය වලාවක් ඉතිරි කර තබමිනි.
(14-16 වන සියවස්වලදී යුරෝපයේ කලා ශිල්පවල පුනරුදයක් ඇති කළ) පුනරුද කාලයේ දි ජනයා කඩාවැටෙන තාරකා දුටුවේ දෙව්ලොවින් ප්‍රභාසම්පන්නයන් මෙලොවට ඇද වැටීමක් ලෙසය. ඔවුන් විශ්වාස කළේ එය ඉදිරියට එන ව්‍යසනයක් පිළිබඳ අසුබ පෙර නිමිත්තක් ලෙසිනි. එහෙත්, සත්‍ය කතාව වඩාත් ලෞකික එකක් බව 19 වැනි සිය වස අවසන් වෙද්දී විද්‍යාඥයන් විසින් තහවරු කරනු ලැබ අවසන්ය. shooting or falling stars හෙවත් උල්කාපාත ලෙස ප්‍රකටව හඳුන්වනු ලබන මේවා යනු හුදෙක් පෘථිවි වායුගෝලයට ඇතුල්වෙද්දී ක්ෂණිකව දැවී යන කුඩා පාෂාණ කැබලි සහ දූවිල් අංශුය. ඒ කියන්නේ ඒවා තරකා කොටස් නොවේ යන්නයි.
එහෙත්. අප පුදුම කරවන පුවතක් ගෙන ඒමට ස්වභාව ධර්මය ඉදිරිපත්වෙයි — ඒ, කඩාවැටෙන තාරකා ඇත්තටම පවතින බව තාරකා, ග්‍රහලෝක සහ මන්දාකිණි වැනි වස්තූන් ක්‍රියා කරන ආකාරය හෙවත් කොස්මික හෙවත් ඛගෝලීය යාන්ත්‍රණය(celestial mechanics) ගැන සොයා බලන තාරකා භෞතික විද්‍යාඥයෝ පෙන්වා පෙන්වා දෙන කාරණාවයි.
2005 සිට 2014 දක්වා ක්‍රියාත්මක, Sloan Digital Sky Survey සහ Fred Lawrence Whipple Observatory හි දුරේක්ෂ සංයෝජිත අති දැවැන්ත නිරීක්ෂණ වැඩසටහන තහවුරු කළේ, සිය නිජ මන්දාකිණියෙහි ගුරුත්වාකර්ෂණයෙන් ගැලවී ගැනීමට හැකිවන විශ්මයජනක වේගයකින් ගමන් කරන තාරකා පංතියක් ඇති බවයි. පැයකට සැතැපුම් මිලියන ගනන් වේගයෙන් ඛගෝලයේ වේගයෙන් ඇදී යන අධි-ප්‍රවේගි තාරකා ( hypervelocity stars) නමින් දැක්වෙන සැබෑ ජීවිතයේ අප අත්දකින මෙම කඩාවැටෙන තාරකා තේරුම් ගැනීමට තාරකා විද්‍යාඥයන් පටන්ගත්තා පමණකි.


බමන තරු සහ කැටපෝල
අධි-ප්‍රවේගි තාරකා පිළිබඳ කතාන්දරය පටන් ගන්නේ1988 දී Los Alamos National Labs හී න්‍යායාචාර්යවරයෙකු වන ජැක් ගිල්බට් හිල්ස් හට අනුභාවික අදහසක් පහළ වූ විටය: යුගල තාරකා පද්ධතියක්* , ක්ෂීර පථය(Milky Way) මධ්‍යයෙහි ඇති දැවැන්ත කළු කුහරයක්(Black Hole) ආසන්නයෙන් ගමන් කළොත් කුමක් වේද? හිල්ස් ගණන් හදා බැලූ අන්දමට කළු කුහරයෙහි උදම් ශක්තිය, යුගල පද්ධතිය දෙකඩ කර දමනු ඇත.
*(Binary Star — නක්ෂත්‍ර පරිමානය අනුව තරු දෙක ඇත්තවශයෙන්ම කිට්‍ටු නම් ඒවා ස්වකීය පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා පරිභ්‍රමණය වෙයි නමෙවිට එය ද්ව්‍යංගී තාරකාවක් හෙවත් යුගල තාරකාවක් ලෙස හඳුන්වයි — තාරකා විද්‍යා ශබ්දකෝෂය, ජිනෙන්ද්‍රවංශ ද සිල්වා. සරසවි ප්‍රකාශකයෝ 2010)

මෙහෙම පරිකල්පනය කරමු: ඔන්න හිම මත ලිස්සා යන ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයන්(ice skaters) දෙදෙනෙක්, එකිනෙකාගේ අත් අල්ලාගෙන තදින් කරකැවෙන ගමන් හිටි අඩියේම අත් මුදා හරිති. එවිට එම පුද්ගලයන් දෙදෙනා එකිනෙකාගෙන් ඉවතට විසි වී යයි. මෙලෙසම්, යුගල පද්ධතියක තාරකා දෙකක් කළු කුහරයකට ආසන්න වීමෙන් ඒවා වෙන්ව විසි වී යයි. එවැනි අභිමුඛ වීමක දී එක තාරකාවකට කොපමණ ශක්තියක් අත්පත් කර ගනීද කියතහොත්, එය සිය මන්දාකිණියෙන් සම්පූර්ණයෙන්ම විසිවී යන්නේ කැටපෝලයකින් විද්දාක් මෙනි. අධි-ප්‍රවේගි තාරකා බිහිවන්නේ මේ ආකාරයෙන් බව තාරකා විද්‍යාඥයෝ දැන් දනිති.
න්යය, නිරීක්ෂණ සහ විඩම්බන
හිල්ගේ දූරදර්ශී වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව තරකා විද්‍යාත්මක ප්‍රජාව, නිරීක්ෂිත සාක්ෂි නොමැති වුවද, අධි-ප්‍රවේගි තාරකා යනු කුතුහලය දනවන හැකියාවෙන් යුක්ත යයි සැළකීය. 2005 දී එය වෙනස් විය.
ක්ෂීර පථයේ ප්‍රභා මණ්ඩලයේ පිහිටි තාරකා නිරීක්ෂණය කරන අතර තුර ඇරිසෝනා හී නිරීක්ෂණාගාරය භාවිත කරන පර්යේෂකයන් කණ්ඩායමකට කෙසේවත් බලාපොරොත්තු නොවූ දෙයක් හමුවිය. පැයට කිලෝමීටර් මිලියන 3.2ක වේගයෙන් ක්ෂීර පථයෙන් පිටවී ඉවතට යන තාරකාවක් ඔවුනට නිරීක්ෂණ විය. ඒ තමයි, HVS1 යනුවෙන් නම් කෙරුණු, හඳුනාගනු ලැබූ ප්‍රථම අධි-ප්‍රවේගි තාරකාවයි. නිරීක්ෂනයෙන් කියවෙන්නේ කතාවෙන් කොටසකි පමනකි. අධි-ප්‍රවේගි තාරකාවෙන් වෙන්වූ පසු යුගල පද්ධතියේ අනිත් තාරකාවට සිදුවන්නේ කුමක් ද? වැනි අනෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම පහසු කරවනු වස් පර්යෙෂකයෝ පරිගණක විඩම්භන වලට(computer simulations) යොමු වූහ. ඔවුන්ගේ අකෘති මගින් පුරෝකතනය කරණු ලැබුයේ යුගලයෙන් ඉතිරිවන තාරකාව, (පෘථිවිය, සූර්යයා වටා කක්ෂගතව ගමන් කරන්නා සේ) බොහෝවිට කළු කුහරය වටා කක්ෂගතව ගමන් කරනු ඇති බවයි.
පර්යේෂකයන්ගේ මෙම විඩම්භන ප්‍රයත්නවල තවත් උද්‍යෝගය දනවන ප්‍රතිඵලයක් වූයේ ඇතැම් අවස්ථාවල තාරක දෙක එකිනෙක හා ඝට්ටනය විය හැකි බව සොයා ගැනීමයි. මෙලෙස සිදුවුව හොත් එක් අති දැවැන්ත තාරකාවක් ලෙස තාරකා යුගලය එකට එකතුවන්නට ද පුළුවන. ඉතින්, මේ යුගල තාරකා අතුරෙන් එකක් වටා කක්ෂගතව ග්‍රහ ලෝකයක් තිබුනේ නම් ඊට අත්වන ඉරණම් කුමක්ද? පර්යේෂකයෝ ආකෘති යොදා ගනිමින් ඒ ගැන ද සොයා බැලූහ. කෙටි වාර්තාවක් සකසමින් පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ, අපගේ ක්ෂීර පථය මන්දාකිණිය මධයයෙහි ඇති කළු කුහරයට ග්‍රහයන්ද ආලෝකයේ වේගයෙන් 5% කට ආසන්න වේගයකින් මන්දාකිණියෙන් ඉවතට විසි කර දමිය හැකි බවයි.

මේ වනතුරු අධි-ප්‍රවේගි ග්‍රහ ලෝක(hypervelocity planets ) සොයා ගනු ලැබ නැත. ඒත්, උත්සාහවන්ත තාරකාවිද්‍යාඥයන් විසින් මතු යම් දවසක ඒවා සොය ගනු ලබන්නේ නැතැයි කිව හැක්කේ කාටද?
අධි-ප්‍රවේගී තාරකා සියල්ල මන්දාකිණියෙන් බැහැර යන්නේ නැත.
2013 දී අභ්‍යවකාශ ගත කෙරුණු Gaia අභ්‍යවකාශ යානාවෙන් ලබාගත් දත්ත පදනම් කරගෙන මෙම පර්යේෂක කණ්ඩායම විසින් සොයා ගනු ලැබුවේ, තාරකවිද්‍යාඥයන්ගේ ප්‍රජාව විසින් කලින් අධි-ප්‍රවේගි තාරකා ලෙස සළකණු ලැබූ ඇතැම් තාරකා ඇත්තටම ක්ෂීර පථය තුලම රැඳි සිටිය හැකි බවයි.
මේ කාරනාව සිත් කළකිරවනසුළු, දොම්නස් සහගත ප්‍රතිඵලයක් සේ පෙණී යා හැකි නමුත්, පර්යේෂකය කියා සිට්න්නේ ඉන්(එම ප්‍රතිඵලය) ඇත්තටම වැදගත් කාරණා දෙකක් අනාවරණය වන බවයි. ප්‍රථමයෙන්ම, තාරකා අධි ප්‍රවේගකාරී තත්වයට පත් කිරීම සඳහා වෙනස් යාන්ත්‍රණ ඇති බව ඉන් පෙනී යයි. වේගවත් තාරකා දහස් ගනනක් ගැන විද්‍යාඥයො අද දනිති. එහෙත් තාරකාවක් අධි වේගයෙන් ගමන් කිරීම නිසාම එය ක්ෂීර පථයෙන් බැහැරවන අධි-ප්‍රවේගි තාරකාවක් බවට අවශ්‍යයෙන්ම පත්විය යුතු නැත.
දෙවනුව, ක්ෂීර පථයෙන් බැහැරව යන සැබෑ අධි-ප්‍රවේගි තාරකා, අප කලින් කල්පනා කළාට වඩා දුර්ලභ විය හැකියි. අධි-ප්‍රවේගි තාරකා ඇතුළු සියළු ආකාරයේ ඉහළ ප්‍රවේගයක් සහිත තාරකා පිළිබඳව වැඩිදුර අධ්‍යයනයට, පෘථිවිය මත මෙන්ම අභ්‍යවකාශ ගත දුරේක්ෂ තාරකා විද්‍යාඥයන්ට පිහිට වෙයි.
අනාගතය දීප්තිමත්, ඒ වාගේම වේගවත්
කඩාවැටෙන තාරකා ලෙස අප දකින උල්කාපාත වෙනුවට සැබෑ කඩාවැටෙන තාරකා පවත්න බව සොයා ගනු ලැබීම සිත් ආලෝකමත් කරන්නකි. ඒවාගේම් ඒවායේ පරාචක්‍ර(trajectories – කිසියම් බලයකින් යැවෙන වස්තුවක් හෝ උඩින් යන ප්‍රක්ෂිප්තයක මඟ) සහ ප්‍රවේගයන්(velocities) අද විද්‍යාව මුහුණපාන ප්‍රධාන පෙළේ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සෙවීමට උපකාරීවේ. නිදසුනක් දක්වතොත්, අධි-ප්‍රවේගි තාරකා විශ්වයේ ඇති අඥාත ද්‍රව්‍ය(ඩර්ක් මට්ටෙර්) පැතිරී ඇති ආකාරය සහ ඒවායි ස්වභාවය පිළිබඳ ඉඟි සැපයීමට පුළුවන. එපමණක් නොව අපගේ මන්දාකිණිය මධ්‍යයේ එක් කළු කුහරයකට වැඩියෙන් තිබේ ද යන්න නිර්ණය කිරීමේ ගැටළුව විසඳීමට වැදගත් වනු ඇත. මේ තාරකා අධික වේගයෙන් යුක්තයි; එහෙත් ඒවා සෙමින් සෙමින්, ස්වභාව ධර්මයේ අඳුරු රහස් හෙළි කර ගැනීමට එළිය විහිදුවයි.
The Conversation(January 6th, 2022) පළවන Real shooting stars exist, but they aren’t the streaks you see in a clear night sky යන ලිපිය ඇසුරෙනි.