ශාක උඩ අතට වැඩෙන්නේ ඇයි?
මේ ප්‍රශ්නය ඇහුවොත්, හිරු එළිය නිසා යයි වැඩිදෙනෙක් උත්තර දේවි. ඒක ඉතින් ඇත්තකුත් තමයි. ඒත් ඊට වඩා විස්තරාත්මක පැහැදිලිකිරීමක් අපි අද තතු ලිපියෙන් ගෙන එන්නෙමු. පැහැදිලිකිරීම කරන්නේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ජීව රසායන විද්‍යා, අණුක ජීවවිද්‍යා හා ක්ෂුද්‍රජීවිද්‍යා, සහ අණුක ප්‍රවේණිවිද්‍යා මහචාර්යවරිය වන Beronda L. Montgomery යි.
ඔබ කවදා හරි සංගීත සංදර්ශනයකට හරි වෙනත් ප්‍රසංගයකට හරි සහභාගී වෙලා තියනවාද? පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයටවත්?. ඒවගේ අවස්ථාවල, සිදුවෙන්නේ මොකක් දැයි හරිහැටි බලාගන්න සෙනග අතර ඔබ දඟලපු දැඟලිල්ල මතක් වෙනවද?පොදිකන සෙනග අස්සේ ඔබ ඒ පැත්තට මේ පැත්තට හැරෙන්න ඇති. සමහරුන්ව තල්ලු කරන්නත් ඇති. බාගදා පුටුවක් හරි ඒ වගේ යමක් උඩ නගින්න සිදුවෙන්නත් ඇති.
ඉතින් ශාක ද බොහෝ වෙලාවට ඔය අන්දමේ යමක් කරනවා, ඒවාටත් පුළුවන් තරම් ආලෝකය ‘දකින්න’. මොකද, ප්‍රභාසංශ්ලේෂණය කියන කාර්ය ඉටුකරගන්න ශාකවලට ආලෝකය අවශ්‍යවෙනවානේ. — ශාක සිය පෝෂණය සඳහා අවශ්‍යවන සීනි වර්ග නිපදවා ගැනීම පිණිස වාතයෙන් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් සපයාගන්නේ ඔය කිව් ප්‍රභාසංශ්ලේෂණයෙන් තමයි.
ඉතින් සූර්යාලෝකය (ශාකයට) ලැබෙන්නේ ඒවාට උඩින් නැතිනම් ඉහළින් නම් එවිට ශාක කෙළින්ම උඩ අතට වර්ධනය වෙනවා.

සමහර අවස්ථාවල ඔය කියන තරම් සරලව ඕවා සිද්ධවෙන්නේ නැහැ. නිදසුනක් අරගෙන සලකා බලමු: නිවසක් ඇතුළත ඇති පැලයක්, සෘජුව උඩට උසට වැඩෙන්නේ නැතිව ඒ වෙනුවට ජනේලය දෙසට නැමී, හැරී වැඩෙන්න පටන් ගන්නවා සමහරවිට ඔබත් දැක ඇති. ඉතින් ඔය විදිහට ආලෝකය ලැබෙන්නේ වෙනත් කෝණයකින් නම් ශාක ඒවායේ වර්ධනයට අවශ්‍ය ආලෝකය වඩාත් හොඳින් ලබා ගනු වස් ආලෝක මූලය දෙසට වක්වෙන්නට නැතිනම් හැරෙන්නට පෙළඹෙනවා. මේ හැරීම , වක්වීම සිදුවෙන ආකාරයත් හරිම අපූරුයි. ශාක පටකවල තියනවා ඔක්සීන් (auxin) යනුවෙන් හෝමෝනයක්. ශාකයේ ආලෝකය නොලැබෙන පැත්තේ ඇති සෛල වඩාත් වැඩියෙන් වර්ධනය කරන්නට මේ හෝමන ක්‍රියා කිරීම නිසා (අනික් පැත්ත සාපේක්ෂව අඩුවෙන් වැඩෙන හෙයින්) ශාකය ආලෝකය පැමිණෙන දිශාවට හැරෙනවා. මෙහෙම අවස්ථාවල ශාකය වැඩෙන්නේ උඩ අතට නොවන බව පැහැදිලියිනේ?

ප්‍රකාශාවර්තනය හෙවත් ප්‍රභාවර්තනය(phototropism) පැහැදිලිකෙරෙන වීඩියෝවක් මෙතැනින් නරඹන්න
වනාන්තරයක දී නම්, ශාක ඒවායේ ශාඛා හෙවත් අතු වශයෙන් බෙදී යන්නේ ඒවායේ පත්‍ර කෙලින්ම සූර්යාලෝකය වැටෙන විවෘත කොටසවලට සිටින ආකාරයට මිස අඳුරු කොටස් කරා නොවෙයි. වඩාත් උස ගස් සහ පඳුරු මෙම ශාකය වසාගෙන ඒවාට උඩින් පිහිටා ඇතිවිට හෝ එහෙම නැතිනම් මෙම ශාකය වෙනත් ශාක ගොන්නක් අතරේ වැඩෙනවිට මෙය බොහෝවිට වඩාත් පැහැදිලිව දැකගන්න ලැබෙනවා. හරියට මිනිසුන් වන අප එලිමහනේ සීතල පරිසරයක ඉන්නා විට සූර්යාලෝකය වටෙන තැනක් බලා යාම හෝ රාත්‍රියේ නම් ගිනි මැලයක උණුසුම පතා අපේ අත් උඩින් අල්ලනවා වගේ කියල හිතන්න පුළුවන්.
මිනිසුන් වන අප ඇඹරෙමින් නැවෙමින් තාවකාලිකව අපේ ශරීර ඉරියව් වෙනස්කරනවා. ඒත් ශාක ඇඹරෙන්නේ, නමෙන්නේ හෝ දිගට අදෙන්නේ ඇත්තටම ඒවා ආලෝකය දෙසට අදෙමින් වර්ධනය වෙන්නයි. ආලෝකය සොයමින් සිය තැන්වෙනස් කරන ශාක වර්ග තමයි සෙමින් එහෙත් නිශ්චිත ආකාරයට වර්ධනය වන විශේෂයන්.
අනෙකුත් ශාක වර්ගවලට වෙනස් ක්‍රමෝපායන ඇති නිසා ඒවා කෙලින් වර්ධනය් නොවන්න පුළුවන්. නිදසුනක් දක්වන්නේ නම්, ස්ට්‍රෝබෙරි භූමියට ආසන්නව ව්‍යාප්ත වන්නේ ඒවායේ ධාවක(රුන්නෙර්ස්) විහිදුවමිනි. ධාවක කියන්නේ ශාක නිර්මාණය කිරීම පිණිස පොළවට මදක් උඩින් ව්‍යාප්ත වී යන දඬු නැතිනම් කඳන්.

අයිවි(ivy) වැනි සෙසු ශාක ගස්, ගල් තාප්ප ආදිය බදාගෙන ඒ වගේම ඒවා ආධාරක වශයෙන් යොදාගෙන වැඩෙන වැල් වර්ග වශයෙන් වර්ධනය වෙනවා. ආරෝහක වැල්, ඒවාට වැඩෙන්න පහසුවෙන් සොයා ගත හැකි ආධාරක වර්ග අනුව කෙළින්, පැත්තට හෝ කෝණාකාරව වර්ධනය වීමට පුළුවනි. කොහොමටත් මේවායේ අරමුන වෙන්නේ හැකි තරම් ඒවායේ පත්‍ර හිරු එළියට නිරාවරණය කිරීමයි.
ඉතින් මිනිසුන් වන අප ඇලුම් වඩන හෝ අවධානය දිනා ගන්නා යමක් දැක බලාගන්නා පිණිස(මහා සෙනගක් මැද පෙරහැරක් නරඹන අවස්ථාව හිතට නගා ගන්න) කර පොවමින්, එහාට මෙහාට වෙමින්, හැරෙමින් නැවෙමින් අපේ ඉරියව කරන ආකායටම වාගේ ශාක ද ආලෝකය දැක ගනු වස් ස්ථානගතවන ආකාරය හරි පුදුමයි නේද?
ඉතින් මේ ශාක කෙළින්ම උඩ අතට හෝ අලෝක මූලය වෙත හරෙමින් හෝ වැල් වර්ග මෙන් ඒවාට අවශ්‍ය ආධාරක සොයමින් වර්ධනය කෙරන ආකාරය නිරීක්ෂණය කිරීම රුචිජනක විනෝදාංශයක් කරගන්න ඔබටත් පිළිවන්.
Curious Kids(The Conversation – 17th January, 2022) හී පළවන Why do plants grow straight? නම් ලිපිය ඇසුරෙනි