COVID-19 බූස්ටර් මාත්‍රාවේ ඵලදායීතාව මාස හතරකින් පසු හීනවේ: එහෙත් රෝහල් ගතකිරීම් අඩුකරයි
COVID-19 බූස්ටර් මාත්‍රාවේ ඵලදායීතාව මාස හතරකින් පසු හීන වූවත්, මෑතක පැතිර ගිය ඔමික්‍රොන් රැල්ලේ දි රෝහල් ගත කිරීම් තුන්වෙනි මාත්‍රාව හේතුවෙන් වැලකී ගිය බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention – CDC) මගින් සොයා ගනු ලැබ ඇත.

මේ ශීත සෘතුවේ ඔමික්‍රොන් ප්‍රභේදය බලවත්ව ඉස්මතුවෙද් දී ආසාදිතයන් රෝහල් ගතවීම් වලක්වාලමින් ආරක්ෂාව සපයා දීමට Pfizer-BioNTech සහ Moderna COVID-19 mRNA එන්නත් බූස්ටර මාත්‍රා සමත් වුව ද, මාස හතරකට පමණ පසුව, එම මාත්‍රාවේ ඵලදායීතාවයෙන් සැලකිය යුතු ප්‍රමානයක් අහිමිව යන බව පෙබරවාරී 11වෙනි සිකුරාදා ප්‍රකාශයට පත් කළ නව අධ්‍යයන වාර්තාවක් දක්වන්නේ යයි රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථාන කියා සිටියි.
mRNA එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබා ගැනීමෙන් මාස දෙකක් පමණ පසුවෙන තුරු මද මෙන්ම දැඩි COVID-19 සිද්ධිවලට එරෙහිව බෙහෙවින් ඵලදායීව පැවතුණත් මාස හතර වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් බූස්ටර මාත්‍රාවේ ඵලදායීතාව පහළට යන බව අධ්‍යයනය සිදු කළ පර්යේෂකන්ට පෙණී ගොස් ඇත. SARS-CoV-2 ආසාදනයෙන් දැඩි ලෙස රෝගීවීමේ අධික අවදානමට මුහුණපාන අයවළුන්ට අතිරේක බූස්ටර් මාත්‍රා අවශ්‍ය විය හැකි බව අධ්‍යයන වාර්තාව පෙන්ව දෙයි.

COVID-19 mRNA එන්නත් වන Pfizer-BioNTech හෝ Moderna වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් රෝහල්ගත කිරීම සහ හදිසි සේවා හෝ ක්ෂණික සත්කාර සඳහා යොමුවීම වැළැක්වීමෙහි ලා කෙතරම් ඵලදායී දැයි සිය අධයනයේ දී පර්යේෂකයෝ සොයා බැලූහ. 2021 අගෝස්තු 26දා සිට 2022 ජනවාරි 22 දක්වා එක්සත් ජනපදයේ ජනපද 10කින් එකතු කරගත් දත්ත මේ සඳහා ඔවුහු යොදා ගත්හ. වැක්සීනයේ මාත්‍රා දෙකක් හෝ තුනක් ලබාගත් වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටියන් අතරේ හදිසි සේවා හෝ ක්ෂණික සත්කාර සඳහා යොමුවීම් 241,204 ක් සහ රෝහල්ගත කිරීම් 93,408 ක් පිළිබඳ දත්ත පර්යේෂකයෝ විශ්ලේෂණය කළහ.

ආසාදිතයන් රෝහල්ගත කිරිම වැළැක්වීමෙහි ලා බූස්ටර් මාත්‍රා මාස දෙකක කාලයක් තුළ වෛරසයේ ඕනෑම ප්‍රභේදයකට එරෙහිව සියයට 91ක් ඵලදායී බව ඔවුනට පෙණී ගියේය. කෙසේවෙතත්, මාස දෙකක් ගත වූ විට එය සියයට 78 දක්වා පහළ වැටිණ.
බූස්ටර මාත්‍රාවෙන් පසු මෙකී කාල රාමුව තුළ හදිසි සේවා සහ ක්ෂණික සත්කාර සේවා සඳහා යොමුවීම් (මාස දෙකකට පසුව තිබූ) සියයට 87න් සියයට 66 දක්වා පහත වැටිණ. මෙම් සංඛ්‍යාව මාස පහකට පසුව තවත් පහතට වැටෙන්නේ සියයට 31 ලෙසිනි. එහෙත් The New York Times පුවත් පත් දක්වන අන්දමට ජනතාව බොහෝ දෙනෙකු සිය බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ අධ්‍යනයේ කාල රාමුවේ මාස හතර ඇතුළතය. ඒ අනුව දත්ත සීමිත බවක් දිස්වේ.
බූස්ටර් මාත්‍රාවක් නොමැතිව, රොහල් ගතවීමට එරෙහි ආරක්ෂාව mRNA එන්නතක දෙවැනි මත්‍රාවෙන් මාස දෙකකට පසු සියයට 71ක් වූ අතර මාස පහ වන විට එය සියයට 54 දක්වා පහතට වැටෙයි.
CDC ය සහ ඊශ්‍රායලයේ පර්යේෂකයන් විසින් කලින් එකතු කරන ලද ප්‍රාරම්භක දත්ත දක්වනු ලැබුයේ, කාලයත් සමග බූස්ටරවල ආරක්ෂාව හීනව යන බව යයි The Washington Post පුවත් පත සඳහන් කරයි. එහෙත් මේ සොයා ගැනීම් සනාථ කරනු වස් එක්සත් ජනපදයෙන් ලබාගත් ප්‍රථම යථා ලෝක දත්ත නියෝජනය කරන්නේ මේ නව විශ්ලේෂණයයි. ඊට යොදාගත් දත්ත අතරට, රට(ඇ.එ.ජ) තුළ COVID-19 සිද්ධිවලින් සියයට 50කට වැඩියෙන් ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද වගකිව යුතු දිනයන් ද ඇතුළත් වූ බව The New York Times පුවත් පත වාර්තා කරයි. The Wall Street Journal දක්වන අන්දමට ඔමික්‍රොන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වූයේ (පසුගිය) දෙසැම්බර 20 පමණ දීය.
නව අධ්‍යනයේ පර්යේෂකයන් ජනතාව අතුරෙන් COVID-19 රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර පැතූ පිරිසක් කෙරෙහි අවධානය යොමු කර තිබුණි. මේ හේතුව නිසා අධ්‍යනය වඩාත් වයස්ගත හෝ ප්‍රතිශක්තිය හීනවූ පිරිස් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන්නට ඉඩ ඇත. මන්ද, වඩාත් තරුණ, සෞඛ්‍යසම්පන්න පිරිස් වලට වඩා රෝහල් ගත කිරීමේ වැඩි ඉඩකඩක් ඇත්තේ එම (වයස්ගත හෝ ප්‍රතිශක්තිය හීනවූ) පිරිස්ය. පොදු මහජනතාව රෝහල් ගත කිරීම වළක්වාලීමට බූස්ටර් මාත්‍රා මගින් සැබවින්ම සැපයෙනවාට වඩා අඩු ඵලදායීතාවක් දැක්වීමට මෙම පටු අවධානය හේතු වන්නට ඇතැයි The Washington Post පෙන්වා දෙයි.
වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් දැඩි ලෙස රෝගාතුර වීම වැළැක්වීම පිණිස එන්නත්වල හැකියාව කාලය ගතවීමත් සමග යම් ආකාරයකින් අහිමිව ගියත්, හොඳ සෞඛ්‍යෙන් පසුවන තරුණ ජනතාව අතරේ(එන්නත්වල හැකියාව) ඵලදායීව පවතින බව අනෙකුත් අධ්‍යනවලින් පෙන්වා දී ඇතැයි වාර්තා කරයි. කෙසේවෙතත්, එන්නත් මාත්‍රා තුන ලබාගැනීමෙන් පසුව ද අතිරේක බූස්ටර් මාත්‍රා අවශ්‍යවන තරමට ඉහළ අවදානමකින් පසුවන්නේ කව්ද යන්න තීරණය කළ යුතුව ඇත්තේ ෆෙඩරල් සෞඛ්‍ය නිලධාරීන් විසිනි.
” වයස මෙන්ම කෙනෙකු තුළ දිගට පවතින රෝග තත්වයන් පදනම් කරගෙන නැවත වරක් තවත් බූස්ටර් මාත්‍රාවක ලබාදීමේ අවශ්‍යතාව — මේ අවස්ථාවේ නම් mRNA එන්නත ලබන්නෙකුට හතරවැනි මාත්‍රාව සැපයීමේ අවශ්‍යතාව පවතීනට ඉඩ තිබෙනවා” යයි පසුගිය සතියේ ධවල මන්දිරයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆවුචි කියා සිටියේය.

පසුගිය සිකුරාදා නිකුත් කළ වෙනත් වාර්තාවක දැක්වෙන පරිදි CDCය දුර්වල ප්‍රතිශක්ති පද්ධතියක් සහිත පුද්ගලයින් හට බූස්ටර් මාත්‍රා ලබාදීම සම්බන්ධ මාර්ගෝපදේශ වෙනස් කර ඇත්. Pfizer-BioNTech හෝ Moderna එන්නත් වල මූලික මාත්‍රා ලබා ගත ජනයා, (කලින් නියම කෙරුණු) මාස පහකට පසුව නොව මාස තුනකට පසුව බූස්ටර මාත්‍රා ලබාගත යුතු බවයි.
සමස්තයක් වශයෙන් ගත් කල එන්නත් සාර්ථකව ක්‍රියාත්මක වන බවට සහ ජනතාව රෝහල් ගත කිරීමෙන් වළක්වාලීමට ඒවා ඒව සමත වන බවට සාක්ෂි මෙම නව අධ්‍යයනයෙන් සැපයෙන්නේ යයි බර්මින්හැම් හි අලබාමා විශ්ව විදායාලයේ බෝවෙන රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වන මයිකල් සාග් පවසයි.
The Scientist (Feb 14, 2022) හී පළවූ COVID-19 Booster Effectiveness Wanes After Four Months සහ WebMD (Feb 14, 2022) හි පළවන Booster Effectiveness Wanes After 4 Months, Study Shows යන ලිපි ඇසුරෙනි