වෛරසයක්, ප්‍රබල පෞර්ෂයක්  පිළිබඳ මිථ්‍යාව බිඳ දැමූහැටි

Posted by

මානවයන් පරිණාමය වී ඇත්තේ ස්වාධීන වීම පිණිස මිස ස්වයංපෝෂිතවීමට නොවේ.

කොවිඩ් 19 ගෝලීය මහාවසංගතයට පෙර සමය ද අසංඛ්‍යය (ගණන් කළ නොහැකි) ඇමරිකානුවන්ට දිගට පවතින වේදනාවන්ගෙන් යුක්ත අවධියක්ම විය: නිවාස අධික මිලක් ඉසිලීය; සෞඛ්‍ය සෙවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශවිය නොහැකිය; පාසල්වල සම්පත් හිඟය. වැ‍ටුප් මට්ටම එකතැන නැවතී තිබුන අතර සමස්ය්හ් පද්ධතියම අසමානටහාවලින් සමන්විතවිය. මේ වේදනාවන් ඔවුනට හුරුපුරුදුය. මේ නිදන්ගත දුක ඔවුන් දරා සිටින්නේ ඔවුනට වෙන විකල්පයක් නොමැති කමිනි. නිසි ආරක්ෂක හව්හරනක් නොමැතිව, ස්වයං පරියාප්තබාවය පිළිබඳ මිථ්‍යාවන් උත්කර්ෂයට නංවන ජාතිකවාදී ශීලය සු‍රැකීමට සිදුවූ මේ බොහෝ දෙනා, අවශ්‍යතාවන් ඇති වූ කල මනුෂ්‍යයන් සැමදාමත් කළ දෙයම කළහ: ඔවුහු, සිය පවුල්වල අයගෙන් සහ හිතමිත්‍රාදීන් ගෙන් චෛතසික සැනසිල්ල සහ භෞතික ආධාර පැතූහ.

එහෙත්, COVID-19 පැතිරීම පටන් ගත් විට එම ජනතාවට සිය සමීපතම ආධාර ජාල මතම පමණක් ‍රැඳී සිටීම  ප්‍රමාණවත් නොවීය. අනෙකුත් රටවල ජනතාව මුහුණපාන අභියෝගයන් ගණන් ගැනීමටවත් වුවමනා නොවන තරමට තමන් මිනිය නොහැකි තරමට බලවත් යයි සිතන ආකාරයට ඇමරිකානුවන්ගේ සිත් සතන් සකස් කර ඇත. එහෙත් යථාර්තය ඊට පටහැණිය. ඇමරිකාවේ සමාජ ආර්ථික  ආධාරක පද්ධති දුර්වලය;  බොහෝ දෙනෙකුට සිය ජීවිකාව පවත්වාගෙන යාමේ හැකියාවේ යම් වෙනස්කම් හේතුවෙන් ඔවුන් අවදානම් ග්‍රාහි බවට පත්කර ඇත. ගෝලීය වසංගතයේ අප්‍රසන්න බලපෑම අමරිකාවේ ආධාරක පද්ධති ශක්තිමත් කිරීම පිණිස කෙරෙන හදිසි ඉල්ලීමක් බඳුය.

අතිශය ඉහළ මට්ටමක සමාජශීලි බව, සහයෝගීතාව සහ ප්‍රජා සත්කාරය මානව වර්ගයගේ සුවිශේෂිත්වයේ ලාක්ෂණ   හැටියට මානව විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇත්තේ බොහෝ කලක සිටය. මේවා, අපගේ සමීපතම ඥතීන් වන චිම්පන්සින්ගෙන්  හා බොනබෝ වානරයන්ගෙන් අපව වෙන්කොට හුවා දැක්වෙන ගතිලක්ෂණයි. එකිනෙකා මත මෙම රඳා පැවැත්ම තමයි විශේෂයක්(species) හැටියට අපගේ සාර්ථකත්වයට මුල්වූයේ. මේ නයින් බලන කල එකිනෙකා වෙනුවෙන් පරිත්‍යාගශීලී වන්නට, එකිනෙකා ‍රැක බලාගනීමට මිනිස් අපට පර්ණාමීය ‘බලපත්‍රයක්’ ලැබී ඇත.

එසේවුවද, සාපේක්ෂව කුඩා කණ්ඩායම ලෙස ජීවත් වූ ආදී මානවයන් මෙන් නොව සහයෝගය පතා හුදෙක් අපගේ පවුලේම අය සහ හිතමිත්‍රාදීන් මතම ‍රැඳී පවතින්නට නොහැකිය. ඒ වෙනුවට අප ප්‍රජා සත්කාරය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති — ඒ කියන්නේ ආධාර, ඇප උපාකාර අවශ්‍යවන ජනතාව වෙනුවෙන් සම්පත් වෙත  වර්තමානයේ ගෝලීය ගත සමාජයන්ගේ ප්‍රමානය සහ සංකීර්ණතාවන්ට ගැලපෙන මට්ටමකින් ප්‍රවේශවීමට පහසුව සලසන ප්‍රතිපත්ති කෙරෙහි යොමුවිය යුතුය.

එක් අර්ථයකින් ගත් කල,  අපේ එදිනෙදා ජීවිතයේ අවුල් වියවුල් හා පටලැවිලි සුපුරුදු සාමාන්‍ය තත්ත්වය කියන මුලාව බිඳ හෙලා 2020 වසන්ත සමයේ දී සමාජයීය වශයෙන් එකිනෙකාගෙන් වෙන්ව හුදකලා වීමට බලකෙරෙන වාගත් වෛරසයකට අප සියලුදෙනා අවදානම් ග්‍රාහී කෙරුනේය. මුව ආවරණ පැළදීම,  සමාජ දුරස්තභාවය ‍රැකීම, හුදකලාවීම්, ලොක්ඩවුන් සහ පාසල් වසා දැමීම් ආදිය කැ‍ටුව ආ නව කොවිඩ් සමාන්‍ය තත්ත්වය අපට බලකර සිටියේ අපගේ වඩාත් මූලීක හඟීම් පසෙක ලා අපගේ පවුලවල අය, හිතමිත්‍රාදින් ගෙන් ඈත් වීමටය. එය අප විශවාසය තබා සිටින සමජ ඇතිරිල්ල පළුදු කළේය.

බෝවෙන රෝග අසාමාන්‍ය අභියෝගයන් ඉදිරිපත් කරයි: ඒවාට එරෙහිව කාර්යක්ෂමව සටන් කිරීමට නම් ආධාර යෝග්‍ය ආකාරයෙන් සහ නිසි පරිමාණයෙන් සංගතව සැපයිය යුතුය. අප මුහුණ පා සිටින මේ ගෝලීය වසංගතය  අපේ  පවුල්වල සහ මිත්‍රාදීන්ගෙන් සමන්විත සමීපතම කවයේ සිට පර්යන්තයෙහි පිහිටි ජාතික රාජයයෙහි දක්වා — අපගේ ජීවිතවල එක් එක් ස්තරයන්හි බි‍ඳෙන සුළු බව සහ දෝෂයන් හෙළිදරව් කිරීමට සහ ඕනෑම පුද්ගලයෙකුගේ හර ප්‍රජාව මුහුණපාන විවිධාකාර වූ අවදානම ගෙන හැර පෑමට සමත්ව ඇත.

පඩි සහිත නිවාඩු ආදී වඩා හොඳ සමාජ ආරක්ෂන ආවරණයක් සහිත් ප්‍රජවෝ මහා වසංගතයේ අවදානම් අඩු කර ගැනීමට සමත් වූහ. එහෙත් ස්වයංපෝෂිතභාවය සහ  පුද්ගලාර්ථවාදය(individualism) වැනි මතවාදවල එලබ ගෙන සිටි ප්‍රජවන්ට දිගට පවතින දුක් වේදනාවන්ට හා ජීවිත හානිවලට මුහුන දීමට සිදුවිය.

අපට අවශ්‍යතා ඇති වූ කල අපගේ සමීපතමයන් කරා නිතර නිතර අපට යොමුවිය හැකි නමුත්, අපගේ ජීවිත සුවිශේෂී මානවයන් සේ ගත කිරීමට නම් අවසානයේ දී අපට විශ්වාසය තැබීමට සිදුවන්නේ පර්යන්තයේ සිටින ප්‍රාදේශික සහ ජාතික මට්ටමේ නිලධාරීන් වෙතය.

එක්සත් ජනපදයේ රජයේ සහාය  අසංගත හෙවත් එක ආකරයක නොපැවති අතර වෛරසයේ දරුණු ප්‍රතිඵල වළක්වා ගැනීමට එකට එක්ව සටන් කිරීමට ජනතාවන්ට සිදුවිය. මේ ප්‍රශ්න ගැඹුරට මුල් ඇදගෙන ඇත. එක්සත් ජනපදය් බිහි වූ අවධියේ සිටම ප්‍රමුඛ මතවාද පුද්ගලාර්ථවාදය ධෛර්යමත් කෙරුණා පමණක් නොව ඇතැම් ජනකොට්ඨාශ මනුෂ්‍යයන් සේ නොසැළකිණ. කළු ජාතිකයන් වහල්භාවයට පත් කිරීම සහ ස්වදේශික ප්‍රජාවන් සිය නිජ බිම් වලින් පළවා හැරීම මීට සාක්ෂිය. වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ නම් ඕනෑම කෙනෙකුට දියුණු විය හැකිය යන මිථ්‍යාව තුළ සහ ආධාර අවශ්‍යවන ජනතාව වෙනුවෙන් පවතින සහන වැඩසටහන් අඩපණ කිරීම යන ස්වරූප වලින් අදටත් මේ මිනිස්කම පරිහානියට ලක් කිරීම(dehumanization) දිගටම සිදුවේ.  වෛරසය පැතිරෙන්නේ කෙසේ ද සහ ඉන් රෝග හටගන්නේ කෙසේ ද යන්න ගැන ඇමරිකාවට අවබෝධයක් ඇතත්, ඉහත දැක් වූ කාරණාවේ  ප්‍රතිඵලයක් හැටියට වෙනත් ඕනෑම තැනකට වඩා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළය.

සාර්ථක වු අවස්ථා එක්සත් ජනපදයෙන් වාර්ත නොවන්නේ නොවේ. නවජෝ ජාතිය ඊට නිදසුන්ය. අවට ප්‍රදේශවලට වඩා වැඩි එන්නත්කරණ අනුපාතයක් සිය වෙන්කළ භුමිවල දී අතපත් කර ගැනීමට නවජෝ ජාතියට හැකිවිය. පුද්ගලයාට වඩා ඉහලින් ජන කණ්ඩායම ඔසවා තබන ගෝත්‍රික හරයන්, සිය සාමාජික ජනතාව එන්නත් කරණයට යොමු කිරීමට  පෙළඹවීය.

ප්‍රබල පෞර්ෂයක් පිළිබඳ බොරුව හෙළිදරව් කිරීමට ක්ෂුද්‍රජීවියෙකුට හැකි විය. ඇමරිකාව ස්වයංපෝෂිත සහ ස්වාධීන නොවේ. කිසිදා එය එලෙස නොවීය. එරට වැසියන්ගේ ඉරණම් එකට බැඳී පවතී. අනුන් ගැන සොයා බැලීම  යනු තමන් ගැනම සොය බැලීමයි. බෙහෙවින් බෝවෙන සුළු ඔමික්‍රොන් ප්‍රභේදයේ ආගමනය සමග,  මුලදීම බලගතු ප්‍රතිපත්ති වර්ධනය කර ගෙන ඒවාට අනුකූලව ක්‍රියා නොකිරීමේ පාපය විඳීමට එරට වාසීන්ට සිදුව ඇත.

එහෙත්, මේ සියල්ලෙන් ගම්‍යවන්නේ අප ඔන්න ඔහේ සටන අත්හැර දමා සිටිමු යන්නක් ඉන් අදහස් නොකෙරේ. ඒ වෙනුවට, අවදානම්ග්‍රාහී ප්‍රජා සාමාජිකයන්ට සපයන සත්කාර සහ සම්පත් සැපයීම පිණිස වන ප්‍රයත්නයන් දෙගුණ කළ යුතුවේ. අළුතෙන් එක් එක් කොවිඩ් ප්‍රභේදයන් ඉස්මතුවන විට එය ඊට පෙර ප්‍රභේදය හමුවේ දේශීය වශයෙන් හෝ ලෝකයේ වෙනත් ප්‍රදේශයක සාර්ථක වූයේ කුමක් ද  අසාර්ථක වූයේ කුමක් ද යන්න විමසීමට අවස්ථාවක් කරගත යුතුය. එකිනෙකාට උදව් උපකාර කළයුතු යයි — හුදෙක් අප දන්නා කියන අපට එදිනෙදා හමුවන අය පමණක් නොව ඕනෑම තැනක ඕනෑම අයෙකුට උදව් උපකාර කළයුතු යයි පරිණාමීය වශයෙන් අපට පැවරී ඇති වගකීම වෙනුවෙන් අප කැපවිය යුතුය.

Scientific American හී පළ වූ How a Virus Exposed the Myth of Rugged Individualism යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.