සමාජ කණ්ඩායම් හැසිරීම් රටා

Posted by

සමාජ කණ්ඩායම් හැසිරීම් රටා

විශේෂයක් ලෙස ගත් කල, අපි වෙනත් මිනිසුන් ඇසුරේ අපගේ ජීවිතය ගත කරන සමාජ ජීවීන් වන්නෙමු. තැන තැන යන කණ්ඩායම්, ගම්, නගර සහ රටවල් වැනි විවිධ ආකාරයේ සමාජ කණ්ඩායම්වලට නැතිනම් සමාජ කණ්ඩායම් හැටියට අපි සංවිධානය වන්නෙමු. අපි විවිධ ආකාරවලින් අප වැඩ කරන්නේ, වෙළඳාම් කරන්නේ, සෙල්ලම් කරන්නේ, ප්‍රජනනය කරන්නේ(වර්ගයා බෝකරන්නේ) සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් ක්‍රියා කරන්නේ එම සංවිධාන ඇතුලතය. අනෙකුත් විශේෂ මෙන් නොව, අපි සමාජායනය හෙවත් සමාකරණය කාලයත් සමඟ සමාජ හැසිරීම් සහ සංවිධානයේ හිතාමතා ඇතිකරවන වෙනස්කම්  සමඟ  ඒකාබද්ධ කරමු. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මානව සමාජයේ රටා තැනින් තැනට, යුගයෙන් යුගයට සහ සංස්කෘතීන් හරහා වෙනස් වන අතර, සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ හා ගතික වටපිටාවක්ක් බවට පත් කරයි.

මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මෙයට පෙර, අප්‍රියෙල් 9දා පල කෙරුණු ලිපියෙන් වාගේම මෙම ලිපියෙන් ද අදහස් ඉදිරිපත් කෙරෙන්නේ  ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට  ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා කලින් දැන සිටි බවක්, හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා,  විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු අන්දමට  මානව චර්යාවන් හී ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.

සමාජ කණ්ඩායම් කල්කිරියාව

ජනතාව, තමන් උපත ලබන සමාජයීය හෝ සංස්කෘතික වටාපිටාවට අයත් වනවාට අමතරව  පොදු බවක ඇති කාරනා වන රැකියා, විශ්වාසයන් හෝ  (සංගම්, දේශපාලන පක්ෂ හෝ සමාජ වැනි) උනන්දුවක් දක්වන දෑ  පදනම් කරගනිමින් ස්වේච්ඡවෙන්ම  කණ්ඩායම්වලට එක්වෙති. මේවායේ සාමාජිකත්වය දැරීම ජනතාව තමන්, තමන්  ගැනම සිතන ආකාරය මෙන්ම අනිත් අය ඔවුන් ගැන සිතන අන්දම කෙරෙහි ද  බලපෑම් ඇති කරයි. මෙම කණ්ඩායම්,  සිය සාමාජිකත්වයේ චර්යාව වඩාත් කල් ඇතිව පුරෝකතනය කළ හැකිවන පරිදි අපේක්ෂාවන්(අරමුණු) සහ අණ පණත් පනවති. මෙම නීතිරීති දැඩි විධිමත් බවකින් තොර, සාමාජික හෝ වෙනත් පිරිසක් සමග සමාගමයේදී හැසිරිය යුතු ආකාරය වැනි ආදර්ශයෙන් පළ කරන ඒවා විය හැකියි. එසේත් නැතිනම් දැඩිව තදින් කි‍්‍රයාත්මක කරන ලිඛිත නීතිරීති විය හැකියි. තමන් සිය සාමාජිකත්වයෙන් බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ හැසිරීමක්ද හෙවත් චර්යාවක්ද යන්න නිලමය හෙවත් වඩාත් විධිමත් කණ්ඩායම් විසින් (ප‍්‍රශංසා කිරීම, ත්‍යාග සහ වරප‍්‍රසාද වැනි) ප‍්‍රතිලාභ මගින් සහ (තර්ජන, දඩ සහ කණ්ඩායමෙන් ඉවත්කිරීම වැනි) දඬුවම් මගින් සන්කරනු ලැබේ.

Group Behavior Model

ස්වේච්ඡාවෙන් එකතු වූවා හෝ ඒ තුළ උපත ලැබූවා හෝ වේවා කිසියම් කණ්ඩායමකට අනුබද්ධවීමෙන් විශාල පිරිසක් සමග එකට එක්ව සිටීමේ වාසි අත් පත් වේ. එනම් (මුදල් හෝ ශ්‍රමය වැනි) සම්පත් සැමටම ප‍්‍රයෝජනයට ගැනීමට හැකි වීම (වැඩ වර්ජන, උද්ඝෝෂණ හෝ ඡන්දයදීම වැනි අවස්ථාවලදී) එකට එක්ව කි‍්‍රයාකිරීම, (සංවිධාන, සංකේත ලාංජන හෝ මාධ්‍යයේ අවධානය දිනාගැන්ම) වැනි අනන්‍යතාව හා පිළිගැනීම වේ.  සෑම කණ්ඩායමක් තුළම තමන්ගේ කාණ්ඩය සෙස්සන්ට වඩා ඉහළය යනුවෙන් බොහෝවිට සිතීම වැනි සාමාජිකයන් දරන ආකල්ප ඇතුළත්ව තම කණ්ඩායම පිළිබඳ හැඟීමක් තිබීම බොහෝ විට ඇතුළත් වන තම කාණ්ඩය තුළ සංසක්තියක් හෙවත් ඒකාබද්ධභාවයක්  තහවුරු කිරීමට උපකාරී වුවද අනෙකුත් කාණ්ඩ සමග තදබල ගැටුම්වලට ද  මඟපෑදිය හැකිවේ. අනෙකුත් කාණ්ඩයම් කෙරෙහි දක්වන ආකල්පය  ඒකාත්මික කිරීම(stereotyping) හා සම්බන්ධ වේ — කණ්ඩායමක සියලූම සාමාජිකයන් එක වගේ යයි සිතා එලෙස සැලකීම සහ එම ජනතාවගේ සැබෑ චර්යාව තුළ නිරීක්ෂකයාගේ ප‍්‍රාග්  විනිශ්චයන්ට අනුකූලවන ගුණයන් පමණක් තේරුම් ගැනීම ඒ ආකාරයේ ඒකාත්මික කිරීම්ය. එවන් සමාජයීය පූර්ව මතයන්ට අතරට වෛද්‍යවරුන්ට, පූජක පක්ෂයට වැනි ඇතැම් ප‍්‍රවර්ගවල පිරිස්වලට අන්ධානුකරණයෙන් ගරු කිරීම මෙන්ම පිටරැටියන්ට හෝ කාන්තාවන්ට වැනි අනෙකුත් ප‍්‍රවර්ගවල ජනතාවට අන්ධානුකරණයෙන් නිගරු කිරීමද අයත් වේ.

කණ්ඩායම්වලට හැසිරීම යනු ඒවායේ එක් එක් සාමාජිකයාගේ හැසිරීමෙහි එකතුවක් ලෙස අවබෝධ කර ගත නොහැක. නිදසුනක් ලෙස දක්වතොත්, එක් එක් පුද්ගලයන්ගේ ආක‍්‍රමණශීලී ප‍්‍රවණතාව හෙවත් නැඹුරුව එකට එකතු කිරීමෙන් නූතන යුද වැදීම් හෝ ගැටීම් වටහා ගත නොහැක. පුද්ගලයකු ආගමික මෙහෙයකදී හෝ පාපන්දු තරගයකදී හෝ උද්ඝෝෂනයකදී වැනි පිරිසක් සමග සිටියදී තනිව හෝ පවුලේ සාමාජිකයන් හා සමග සිටින විටදීට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකට හැසිරේ. ගැටවර ළමයි කිහිප දෙනෙකු එක්වූ විට ගොඩනැගිල්ලක් නිකරුනේ කඩා බිඳ දමා අලාභ හානි පැමිණිය හැකි නමුත් ඉන් එක අයෙකුවත් තනි තනිවම එවන් කිසිවක් සිදු නොකරනු ඇත. ඒ අර්ථයෙන්ම ගත් විට වැඩිමහළු අයෙකු යම් සමාජයක හෝ ආගමික සංවිධානයක සාමාජිකයෙකු වශයෙන් ඉන්නා විට පෞද්ගලිකව සිදු කරනවාට වඩා වැඩි වශයෙන් ත්‍යාගශීලීවනවා මෙන්ම අන් අයගේ අවශ්‍යතා ගැන සැලකිලිමත්වේ. කණ්ඩායමක ගත කිරීමේ අවස්ථාව, කණ්ඩායමේදී හවුලේ කරන කාර්යයන් සඳහා  ප‍්‍රතිලාභ සහ පිළිගැනීම  සපයන අතර එක් තනි පුද්ගලයකුට දෝෂ දැක්වීම හෝ ගෞරවය ලබාදීම අපහසු කරයි.

සමාජ සංවිධාන එවා නිල වශයෙන් පෙනී සිටින කාර්යයන්ට ඔබ්බෙන් ගිය හෙවත් ඉක්මවා ගිය අරමුණු බොහොමයක් වෙනුවෙන් සේවය කළ හැකිය. නිදසුන්: විනෝදාස්වාදය සඳහා කැප වූ පෞද්ගලික සමාජ බොහෝ අවස්ථාවලදී ව්‍යාපාරික ගනුදෙනු සිදු කිරීම පිණිස යොදා ගැනේ; ඉගෙනීම සහ ශික්ෂණය ප‍්‍රවර්ධනය කිරීම  නිල අරමුණු වශයෙන් පවතින විශ්ව විද්‍යාල පන්ති භේදය ප්‍රවර්ධනයට හෝ අඩුකිරීමට බලපානු ඇත; ව්‍යාපාරික හා ආගමික සංවිධානවලට,  බොහෝ විට ලාභයක් උපයා ගැනීමට හෝ ආගම උගැන්වීමට එහා ගිය දේශපාලන හෝ සමාජීය න්‍යායපත‍්‍ර ඇත. බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ තමන්ගේ කටයුතුවලින් එක්තරා ප‍්‍රවර්ගයක ජනතාව ඈත් කර තැබීම(කණ්ඩායම්වල) අප‍්‍රකාශිත කාර්යයක් බවට පත්වීමයි. මෙය ද වෙනස් ආකාරකින් සැලකීමේ (discrimination) තවත් ස්වරූපයකි.

Science for All Americans online (Chapter 7: HUMAN SOCIETY: GROUP BEHAVIOR) ආශ්‍රයෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.