අප ජීවත්වන මහ පොළවට දැනටමත් කර ඇති හානිය ආපස්සට හැරවිය හැකිද?
මිනිසුන් විසින් පෘථිවිය ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස වෙනස් කර ඇති බවක් සමහර විට පෙනී යා හැකිය. එසේනමුත් අපගේ ග්‍රහලෝකය යනු ශක්තිය, ජලය, කාබන් සහ තවත් බොහෝ දේ ගලා යන එමෙන්ම ජීවය පෝෂණය කරන ඇදහිය නොහැකි පද්ධතියකි. එය වසර බිලියන 4.5 ක් පමණ පැරණි වන අතර විශාල වෙනස්කම් වලට භාජනය වී ඇත.

පෘථිවි ඉතිහාසයේ සමහර අවස්ථාවලදී, විශාල ප්රදේශ ගින්නෙන් විනාශ වී ඇත. තවත් අවස්ථාවල දී, මේ මිහිතලයෙන් විශාල කොටසක් අයිස්වලින් වැසී තිබී ඇත. මිහිතලය මත සෑම ජීවියෙකුම පාහේ අතුගා දැමූ මහා නෂ්ටප්‍රාප්තවීම් ද වාර්තාවිණ. පෘථිවි දේශගුණය, ධ්‍රැවීය අයිස් තට්ටු නොමැති අතිශය උණුසුම් කාලපරිච්ඡේදවල සිට ග්‍රහලෝකයේ වැඩි කොටසක් ශීත කළ අවධිය දක්වා වෙනස් වී ඇත.
අපගේ ජීවමාන ග්‍රහලෝකය ඇදහිය නොහැකි තරම් ඔරොත්තු දීමේ ශක්තියෙන් යුක්ත අතර කාලයත් සමඟම යහපත් අතට පත් කළ හැකිය. එහෙත්, ගැටළුව වන්නේ ස්වයං-සුව කිරීමේ පද්ධති ඉතා මන්දගාමී වීමයි. පෘථිවිය යහපත් අතට පත් කර ගත හැකිය, එනමුත් මිනිසුන්ගේ ගැටළු වඩාත් ඒක්ෂණ වේ.
මිහිතලය මත ජීවත්වන අපව නඩත්තු කරන පද්ධති වලට මිනිස්සුන් බොහෝ ආකාරවලින් හානි කරනු ලැබ ඇත. අපි වාතය සහ ජලය දූෂණය කර ඇත්තෙමු; ප්ලාස්ටික් සහ වෙනත් කුණුකසල ගොඩබිම මෙන්ම සාගරවල සහ ගංගාවල වපුරමින් ශාක හා සතුන්ගේ වාසස්ථාන විනාශ කර දමන්නෙමු.
නමුත් මෙම කුණුකන්දල් බොහොමයක් පිරිසිදු කිරීමට මග පාදන ස්වාභාවික ක්‍රියාවලීන්ට උපකාරී වන්නේ අපි කොහොමද කියා අපි දන්නෙමු. තවද, මෙයට වසර 50 කට පමන පෙර මෙම ගැටළු ගැන මිනිසුන්ගේ අවධානය යොමුවන්නට පටන් ගැනීමත් සමගම බොහෝ ප්‍රගතියක් අත්පත් කරගැනීමට හැකිව තිබේ.
1970 ගනන්වල ආර්ථික ප්‍රවණතා සහ ප්‍රධාන වායු දූෂක හයක පහලට වැටීම පෙන්නුම් කරණ ප්‍රස්ථාරය.
1970 සිට එක්සත් ජනපදය, එහි ආර්ථිකය දැඩිව වර්ධනය ගත්තද වායු දූෂණය විශාල ලෙස අඩු කර ගෙන ඇත.
කෙසේවෙතත්, විසඳාගත යුතු ගැටලු තවමත් ඉතිරිව තිබේ. ප්ලාස්ටික් වැනි සමහර දූෂක, වසර දහස් ගණනක් පවතී. එබැවින් ඒවා මුදා හැර පසුව එකතු කිරීමට උත්සාහ කරනවාට වඩා ඒවා මුදා නොහැරම නතර කිරීම වඩා හොඳය. එලෙසම න් අෂ්ටප්‍රාප්තවීම වෙනස් කළ නොහැඉ ලෙස ස්ථීරය. එබැවින් එය අඩු කිරීමට ඇති එකම ඵලදායී මාර්ගය වන්නේ සතුන්, ශාක සහ අනෙකුත් විශේෂ ආරක්ෂා කිරීම ගැන වඩාත් සැලකිලිමත් වීමයි.

දේශගුණික විපර්යාස ආපසු හැරවීම
මිනිසා විසින් පෘථිවියට කරනු ලබන බරපතලම හානිය ප්‍රධාන වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් දහනය කිරීම හරහා සිදුවෙතැයි සැලකේ. එම දහනයන් දේශගුණය දැඩි ලෙස ලෙස උණුසුම් කරයි. කාබන් මත පදනම් වූ මෙකී ඉන්ධන දහනය කිරීම වාතයේ සහ සාගරවල මූලික රසායනය සහ භෞතිකය වෙනස් කරයි.
දහනය කරන සෑම ගල් අඟුරු කුට්ටියක් හෝ පෙට්‍රල් ගැලුමක්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදාහරියි. එහිදී එය පෘථිවි පෘෂ්ඨය උණුසුම් කරන්නේ ගංවතුර, ගිනි හා නියඟ හටගන්වමිනි. මෙම අතිරේකව එකතුවන කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක් සාගර වල දිය වේ ඒවා(සාගර) වඩාත් ආම්ලික කරයි, එසේ වීම සාගර ආහාර ජාල වලට තර්ජනයක් බවට පත්වෙයි.
දේශගුණික විපර්යාස යනු, මිනිසුන් එය නරක අතට හැරීම නවත්වන තුරු වඩාත් නරක අතට හැරෙන ගැටලුවකි – ඉන්පසු දේශගුණය එය තිබූ තැනට — අපි කියමුකෝ කාර්මික විප්ලවයට පෙර තිබූ තත්ත්වය කියලස් — නැවත පැමිණීමට සියවස් ගණනාවක් ගතවනු ඇත. කාර්මික විප්ලවයට පසුව, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මහා පරිමාණයෙන් දේශගුණය වෙනස් වූ බව ප්‍රකට කාරණාවකි.
දේශගුණයට අදාල කරුණු කාරනා තවත් නරක අතට හැරීම වළක්වා ගත හැකි එකම මාර්ගය වන්නේ කාබන් දහනය නතර කිරීමයි. එයින් අදහස්කෙරෙන්නේ, කාබන් දහනය කිරීමෙන් තොරව සෑම කෙනෙකුටම හොඳින් ජීවත් වීමට ආධාර විය හැකි බලශක්ති පද්ධතියක් ගොඩනැගීමට මානව සමාජයන් වෙහෙස මහන්සි වී ක්‍රියා කළ යුතුය.

කෙසේවෙතත්, ශුභාරංචිය වන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් දූෂණය මුදා හැරීමෙන් තොරව බලශක්තිය නිපදවන ආකාරය මිනිසුන් වන අප දැන සිටීමයි. සූර්ය, සුළං සහ භූ තාප බලයෙන් නිපදවන විදුලිය, ඉතිහාසය තුළ මෙතෙක් (නිපදවීමට අඩුම පිරිවැයක් දැරීමට සිදුවන) දැනට ලාභම බලශක්තිය ලෙස සැලකේ. ගෝලීය විදුලි සැපයුම (දේශගුණයට හානිකර නොවන සේ) ‘පිරිසිදුව’ පවත්වාගෙන යාමෙන් සහ අනතුරුව සෑම දෙයක්ම විද්‍යුත්කරණය කිරීමෙන් කාබන් දූෂණය නරක අතට හැරීම ඉතා ඉක්මනින් නවත්වා ගැනීමට මග පෑදෙයි.
මේ සඳහා විදුලි මෝටර් රථ සහ දුම්රිය, විදුලි තාපනය නැතිනමුණුසුම සඳහා සහ ඉවුම් පිහුම් සඳහා විදුලිය යොදා ගැනීම සහ විදුලියෙන් ක්‍රියාකරන කර්මාන්තශාලා අවශ්‍ය වේ. පෙර කී ආකාරයේ පිරිසිදු විදුලිය, එය ජනනය කරන ස්ථානයේ සිට භාවිත කරන ස්ථානය දක්වා ලබා ගැනීමට අපට නව ආකාරයේ සම්ප්‍රේෂණ සහ ගබඩා පද්ධති අවශ්‍ය වනු ඇත.
කාබන් මුදාහැඊම හැතුවෙන් ඇත්වන ඉතිරි “අවුල්”, වායුගෝලයට මුදා හැරීම වෙනුවට භූමියේ සහ ශාකවල කාබන් ගබඩා කිරීමට ඉවහලවන ආකාරයේ වඩා හොඳ ගොවිපල සහ වනාන්තර කළමනාකරණය මගින් ඉටු කර ගත හැකිය. මෙයද, විසඳන ආකාරය ගන විද්‍යාඥයින්ට අවබෝධයක් ඇති ගැටලුවකි.
පෘථිවිය නිසැකවම “සුවපත්” වනු ඇත; එනමුත් එය ඉතා දිගු කාලයක් ගතවන ක්‍රියාදාමයකි. එය ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය වන්නේ හානිය වඩාත් නරක අතට හැරීම වැළැක්වීම සඳහා සෑම කෙනෙකුම තම තමන්ගේ කාර්යභාරය ඉටු කිරීමයි.

The Conversation හී පළවන Is it possible to heal the damage we have already done to the Earth? යන ලිපිය ඇසුරෙනි