COVID-19 එන්නත ලබා දීමෙන් පසු තෙහෙට්ටුව අඩු කර ගැනීමේ උපායමාර්ගය

Posted by

COVID-19 එන්නත ලබා දීමෙන් පසු තෙහෙට්ටුව අඩු කර ගැනීමේ උපායමාර්ගය

mRNA මත පදනම් වූ COVID-19 එන්නත් SARS-CoV-2 ට එරෙහිව ප්‍රබල කාර්යක්ෂමතාවක් තිබියදීත්,  තෙහෙට්ටුව වැනි අහිතකර පශ්චාත් එන්නත් බලපෑම් සමඟ සම්බන්ධ වන බව පෙණී ගොස් ඇත; මෙය වළක්වා ගත හැක්කේ කෙසේද?  විවෘත ප්‍රවේශයක් සහිත PLOS Biology හි සඟරාවේ මැයි 31 වන දින ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයක, සිංගප්පූරුවේ Duke-NUS වෛද්‍ය විද්‍යාලයේ Ayesa Syenina සහ සගයන් වාර්තා කරන්නේ COVID-19  සඳහා එන්නත් කරන ලද පුද්ගලයින්ගේ රුධිර සාම්පල පිළිබඳ නව විශ්ලේෂණයකින් පශ්චාත් එන්නත් තෙහෙට්ටුව සඳහා වැඩි සම්භාවිතාවක් සහිත විශේෂ්‍ය හෙවත් සුවිශේෂීව වෙනස් අණුක ලක්ෂණ හඳුනාගෙන ඇති බවයි.   මීට අමතරව, මීයන් පිළිබඳ අත්හදා බැලීම් වලින් දැක්වෙන්නේ  එන්නත් කිරීමේ උපාය මාර්ගය මාරු කිරීමෙන් එවැනි අහිතකර බලපෑම් ලිහිල් කළ හැකි බවයි.

එන්නත් කිරීමෙන් පසු අහිතකර බලපෑම් මගින් එන්නත් ලබා ගැනීමට හෝ බූස්ටර මාත්‍රාවක් ලබා ගැනීමට මිනිසුන් තුළ ඇති කැමැත්ත කෙරෙහි බලපෑම් කරණු ලැබීමට හැකිවන්නේ, COVID-19 පැතිරීම මෙන්ම බරපතලකම අඩු කිරීමට දරන ප්‍රයත්නයන් අඩාල කරමිනි. කෙසේ වෙතත්,  එන්නත් ලබාගැනීමෙන් පසුව එන අහිතකර බලපෑම් වල අණුක පදනම අපැහැදිලි ය.

අවබෝධය වැඩි කර ගැනීම පිණිස, Syenina සහ සගයෝ, Pfizer-BioNTech COVID-19 එන්නත වන BNT162b2 ලබා ගත් සෞඛ්‍ය සේවකයින් 175 දෙනෙකුගේ රුධිර සාම්පල විශ්ලේෂණය කළහ. සුවිශේෂීව, ඔවුහු එක් එක් සහභාගිවන්නාගේ ජාන ප්‍රකාශනයේ ඡායාරූපයක් විශ්ලේෂණය කිරීමට හෝ කුමන ජාන ක්‍රියාත්මක හෝ අක්‍රිය කර ඇත්ද යන්න විශ්ලේෂණය කිරීමට රුධිර සාම්පල භාවිතා කළහ.

මෙම විශ්ලේෂණයෙන් හෙළි වූයේ එන්නත ලබා දීමෙන් පසු තරමක් දැඩි තෙහෙට්ටුවක් අත්විඳින පුද්ගලයින් අතරේ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රධාන සෛල වර්ග දෙකක් වන ඨ් සෛල සහ ස්වාභාවික ඝාතක සෛලවල ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ජානවල ඉහළ මූලික ප්‍රකාශනයක් තිබීමට ඇති ඉඩකඩ වැඩි බවයි.

පර්යේෂකයන් මීයන් තුළ විවිධ එන්නත්  උපාය මාර්ග දෙකක් ද පරීක්ෂා කර ඇත. සමහර මීයන්ට BNT162b2 ලබුණේ අභ්‍යන්තර මාංශ පේශි එන්නත් වශයෙනි, දැනට මිනිස් රෝගීන් සඳහා භාවිතා කරන ක්‍රමය එය වන අතර එන්නත මාංශ පේශිවලට එන්නත් කරනු ලැබේ. අනෙකුත් මීයන්ට චර්මාභ්යන්තර එන්නත් කිරීමක් ලැබුණු අතර, එම එන්නත සමට යටින් ඇති පටක වලට එන්නත් කරනු ලැබේ.

එන්නත් කිරීමෙන් පසු, අභ්‍යන්තර මාංශ පේශි එන්නත ලබා ගත් මීයන් හා සසඳන විට, චර්මාභ්යන්තර එන්නත ලබා ගත් මීයන් විඩාව වැනි අහිතකර බලපෑම් ඇතිවීමේ අඩු සම්භාවිතාවට අනුකූල වන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාර පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, චර්මාභ්යන්තර එන්නත් කිරීම එන්නතෙහි ආරක්ෂිත බලපෑම් වලට බාධාවක් නොවන බව පෙනේ.

මෙම සොයාගැනීම් මත පදනම්ව ඉදිරියට යාමට සහ ඒවායේ සායනික වැදගත්කම ගවේෂණය කිරීමට වැඩිදුර පර්යේෂණ අවශ්ය වනු ඇත. තවමත්, ඔවුන් පශ්චාත් එන්නත් තෙහෙට්ටුව පිළිබඳ අවබෝධය වැඩි කරන අතර එය හටගැනීමේ සම්භාවිතාව අඩු කිරීමට හැකියාවක් ඇති උපාය මාර්ගයක් ඉදිරිපත් කරයි.

අධයනයේ සම කතෲ Eng Eong Ooi තවදුරටත් පවසන්නේ, ” mRNA එන්නත ලබා දීමෙන් පසු බොහෝ දෙනෙකු අත්විඳ ඇති අතුරු ආබාධයක අණුක පදනම පිළිබඳ මුල් අවබෝධය මෙම අධ්‍යයනය මගින් ලබා දෙයි. මෙම සොයා ගැනීම, එන්නත් ආශ්‍රිත අතුරු ආබාධ පිටුපස ඇති මූලික යාන්ත්‍රණ සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම සඳහා මෙන්ම අතුරු ආබාධ වඩාත් හොඳින් දරාගත හැකි එන්නත් නිපදවීමට සාමූහිකව දායක වන තවත් අධ්‍යයනයන් දිරිමත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යනුවෙනි.

මේ අතර සෞඛ්‍ය සේවකයින් අතරේ එන්නත් ලබාගැනීමෙන් පසුව ඇතිවන මේ අතුරු ආබාධ  ගැන සොයා බැලුණු ජර්මානු අධ්‍යයනයකින් හෙළි වී තිබෙන්නේ ඔවුන්ගෙන් තුනෙන් එකක් COVID-19 එරෙහිව  එන්නත් කිරීමෙන් පසු අසනීප නිවාඩු ලබා ගෙන ඇති බවයි. පෘතුගාලයේ ලිස්බන් හි මෙම වසරේ අප්‍රේල් අග පැවති සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ යුරෝපීය සම්මේලනයේ දී (European Congress of Clinical Microbiology & Infectious Diseases — ECCMID) මෙම අධයන වාර්තාව ඉදිරිපත් කෙරිණ

COVID-19 සම්බන්ධයෙන්  සාර්ථකව කටයුතු කිරීමට මෙන්ම මහජන සෞඛ්‍යයට ගෝලීය වසංගතයේ පුළුල් බලපෑම් සම්බන්ධයෙන් සාර්ථකව ක්‍රියා කිරීමට ද සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායක් අත්‍යවශ්‍ය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල් සෞඛ්ය සේවකයින් එන්නත් කිරීමට ප්‍රමුඛත්වය දී ඇත .

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවකයින් අතරේ එන්නත්වලින් පසුව ඇතිවන අතුරු ආබාධ සිදුවීම් මෙන්ම එය සෞඛ්‍ය සේවකයන්ගෙන් සැපයෙන සේවාවන්ට කෙරෙන බලපෑම පිළිබඳව තොරතුරු විරලය. එන්නත්වලින් පසුව ඇතිවන අතුරු ආබාධ ගැන සොයා බැලීම වැදගත් වන්නේ, (එලෙස අතුරු ආබාධ හේතුවෙන්) ඔවුන්ගේ කාලය සේවයෙන් බැහරව ගත කිරීමට මග පාදන්නේ නම්, එය දැනටමත් පීඩනයට ලක්ව ඇති සෞඛ්‍ය සේවා පද්ධති අමතර පීඩනයකට ලක් කළ හැකි බැවිනි.

අධ්‍යයනයේ දී 1,797 සෞඛ්‍ය සේවකයින්ගෙන් (වයස අවුරුදු 18ට වැඩි) අසනීප නිවාඩු සහ අතුරු ආබාධ පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා විද්‍යුත් ප්‍රශ්නාවලියක් භාවිතා කරන ලදී. ප්‍රශ්නාවලියෙහි ඇතුළත් අතුරු ආබාධ අතර, ස්ථානික එන්නත් ප්‍රතික්‍රියා (එනම්, එන්නත් කරන ස්ථානය අවට ඉදිමීම, රතු පැහැය හෝ වේදනාව), හිසරදය, අත් පා කැක්කුම, උණ සහ/හෝ වෙවුලුම සහ තෙහෙට්ටුව ඇතුළත් විය.

සෞඛ්‍ය සේවකයින් 588 ක් (32.72%) සමස්තයක් වශයෙන් අසනීප නිවාඩු ලබා ගත් අතර දින වශයෙන් දක්වතොත් එය අසනීප දවස් 1,777 කි. අසනීප නිවාඩු ගතකල  සාමාන්‍යය කාලය දින දෙකකි.

සෞඛ්‍ය සේවකයින් අසනීප නිවාඩු ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණු බව පෙණී ගියේ  තුන්වන මාත්‍රාවෙන් පසුවය. එන්නතෙන් සිය පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව අසනීප නිවාඩු ලබාගත්තේ සහභාගී වූවන්ගෙන් 5.65% ක් පමණකි (බොහෝ විට එය දෛශික එන්නතක්(vector vaccine) ලබා ගැනීමෙන් පසුවය)  20.66% ක් දෙවන මාත්‍රාවෙන් පසුව සහ 27.31% ක් තුන්වන මාත්‍රාවෙන් පසු අසනීප නිවාඩු ලබා ගත්හ. අසනීප නිවාඩු වල මධ්‍ය කාලය දින 2 ක් වූ අතර දින 47 ක් දක්වා පැවතුණු අවස්ථා ද විය.

Medical Xpress හි පලවූ Potential strategy to reduce fatigue after COVID-19 vaccination සහ A third of healthcare workers took sick leave after COVID vaccination, German study finds යන ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.