ආහාරය, ප්රතිශක්තිකරණය සහ පෝෂණය

Posted by

ආහාරය, ප්රතිශක්තිකරණය සහ පෝෂණය

ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු විවිධ සෛල හා අණු වලින් සමන්විත විශාල සම්මංජරියකි. එහි එක් එක් සංරචකයට අනන්‍ය වූ ක්‍රියාකාරිත්වයක් පමණක් නොව ඊට සමානම අද්විතීය පෝෂණ ඉල්ලුමක් ඇත. මෙම සංකීර්ණත්වය නිසා, පෝෂණය, ප්රතිශක්තිය සහ රෝග අතර සම්බන්ධතා  සෙවීමේ දී, ආහාර වේලෙහි භූමිකාව පිළිබඳව දිගු කලක් තිස්සේම අපට තිබුණේ දුර්වල වැටහීමකි. කෙසේ වෙතත් දැන් අපට වඩාත් පැහැදිලි චිත්‍රයක් දැකගත හැකිව තිබේ. එය හරියටම ඔබ සිතන දේම  නොවන්නට ඉඩ තිබේ. මෙම සම්බන්ධය, (නිදසුනක් ලෙස) දුම්පානය සහ පිළිකා අතර සම්බන්ධය වැනි වූ රේඛීය සම්බන්ධයක් නොවේ. එවැනි බහුවිධ පද්ධතියක් තුළ, පෝෂණය සැමවිටම (සම්පූර්ණ)චිත්‍රයේ කොටසක් පමණක් විය හැකිය. ආහාර, පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර අතර සම්බන්ධය මෙම සංකීර්ණ යෙදවුම් ජාලය තුළ අන්තර්ගත වී ඇති අතර, අපගේ ශරීරයේ ක්ෂුද්‍ර ජීවීන් පිහිටා සිටින්නේ අප කන දේ සහ අපගේ ශරීරයට එම පෝෂ්‍ය පදාර්ථවලට ප්‍රවේශ වී භාවිතා කළ හැකි ආකාරයෙහි අතුරු මුහුණතෙහිය.

ප්‍රතිශක්තිකරණය පණගන්වන ආහාර රටාවක්?

ආරම්භයේදීම,  පැහැදිලිව කිව යුත්තක් ඇත: ප්‍රතිශක්තිකරණය ඇතිකරවන ආහාරයක් යනුවෙන් ඒ ස්වරූපයෙන්ම දැක්විය හැකි දෙයක් නැත.(අවධාරනය අපගෙනි — සංස්කාරක). කෙසේ වෙතත්, පෝෂණය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැඹුරින් වෙළී ඇති  අතර ඒ දෙක අතර සම්බන්ධය ඉතා සංකීර්ණය.

ප්‍රතිශක්තිකරණ පෝෂ්‍ය පදාර්ථ ගැන දැක්වෙන ලිපිලේඛන ආදිය ඔබගෙන් සමහරෙකුට දැකගන්නට , කියවන්නට ලැබී ඇතුවා විය හැකියි. මෙම ලිපිය කියවන්නට පටන් ගන්නට ඇත්තේ ඒ නිසාවෙන් වීමට ද පුළුවන. පරිපූරක ආහාර, සුපිරි ආහාර සහ විටමින් ගැනීමෙන්  ප්‍රතිශක්තිය ශක්තිමත් වේ යැයි ඔබ කෙනෙකු සිතනවා විය හැකිය.  ආහාර ගැනීම කෙනෙකුගේ ශරීර ප්‍රතිශක්තිකරණයට සහාය වන්නේ කෙසේදැයි අප මේ ලිපියෙන් සලකා බලන විට, ආහාර ඔබේ ප්‍රතිශක්තිය වැඩිකරන බවට කියාපෑම් බොහොමයක් ඇති බව පෙණී යා හැකි නමුත් ඒවා බොහොමයක් හොඳ සාක්ෂි මගින් සනාථ වන ඒවා නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

විටමින් ඌනතාවය ප්‍රතිශක්තියට අහිතකර බව ඔබ දැනටමත් දන්නවා ඇති. එහෙත්, එතරම් විශද නොවන කාරණාව වන්නේ ඕනෑවට වඩා පෝෂණය (අධිපෝෂණය) මෙන්ම ප්‍රමානවත් නොවන පෝෂණය(දුෂ්පෝෂණය) යන තත්වයන්; එනම් ආහාර වැඩියෙන් ගනීම මෙන්ම ආහාර අඩුවෙන් ගැනීම යන තත්වයන් දෙකම ප්‍රතිශක්ති පද්ධතියට හානිකර විය හැක යන්නයි. කෙසේ හෝඅවසාන වශයෙන් අපට  අවශ්‍යවන්නේ සමබර ප්රතිශක්තිකරණ පද්ධතියක්  වන අතර, මේ සඳහා සමබර ආහාර වේලක් අවශ්ය වේ. එසේනමුත් සමබර ආහාර වේලක් ගෑන නිතර සඳහන් වෙතත් එය කෙබඳු එකක් යන්න පිළිබඳව නම් බොහෝ ව්‍යාකූලත්වයක් තිබේ. සාර්ව(පෝෂක), ක්ෂුද්ර(පෝෂක), විටමින්, ඛනිජ, ප්රතිඔක්සිකාරක ආදී වශයෙන් දිග ලැයිස්තුවක්  පවතී. එනමුත් ඒවා හරියටම කුමක්ද? ප්‍රතිශක්තිය සපයා ගැනෛඉම උදෙසා ආහාර ගැනීමේ දී ඒවායින් ඉ‍ටු කළ හැක්කේ කුමක්ද? 

අපම ගොඩනගා ගන්නා ආහාර සිපිරිගෙය

අසංඛ්‍යාත සමාජ-මාධ්‍ය පළ කිරීම් මගින් ද බහුලව දක්වනු ලබන හිපොක්‍රටීස්ගේ දර්ශනය  —  ‘ආහාර නුඹගේ බෙහෙත වේවා, බෙහෙත් නුඹගේ ආහාරය වේවා’ (Let food be thy medicine and let medicine be thy food’)-  බෙහෙවින් ප්‍රචලිත කියමනකි. ඒ තුල යම් ශුභවාදී අදහසක් ගැබ්ව ඇත: ඔබ අසනීප නම්, ඉන් සුවය ලැබීම පිණිස  ඔබ කළයුත්තේ හුදෙක් ඔබේ ආහාර වේල වෙනස් කරගැනීමයි. එසේවුවද, ඒ තුළින්  සමහර විට සැබෑ ප්‍රශ්නය දැකීමට අපි අපොහොසත් වන්නෙමු. ආහාර ඖෂධයක් නොවේ.(අවධාරනය අපගෙනි — සංස්කාරක). ඔබට ඇති වන රෝග ආහාර මගින් සුව කර ගනු ලැබිය හැකිය යන අදහස අකාර්ෂණීය බව සබෑය. මන්ද,  ඖෂධ යනු බිය උපදවන, බිහිසුණු අතුරු ආබාධ ඇති විය හැකි එමෙන්ම සෑම විටම රෝග නිධානයට  ප්‍රතිකාර කළ නොහැකි,  හුදෙක් රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම පමණක් යොදාගන්නක් ලෙස අප දකින බැවිනි; එසේනමුත් බෙහෙත්, ඖෂධ ප්‍රතිඵල ගෙනෙනා සුළුය. එමෙන්ම යහ පෝෂණය තොටිල්ලේ සිට මිනීවළ දක්වා අපගේ සෞඛ්‍යය සුරක්ෂිත කරගැනීමටට සහතිකවම අපට සහය විය හැකිය. එහෙත් අප,  ආහාර ඖෂධයක් බවට පත් කරගෙන ‘සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම පිණිස ආහාර ගමු’  යනුවෙන් මානසිකත්වයක් ඇති කර ගත් විට, අපි එය(ආහාර) අනෙක් සියල්ලෙන් ඉවත් කර ගැනීමේ අවදානමකට මුහුණ දෙන්නෙමු — අපි ඉතිහාසය, සැමරුම් සහ මතකයන් මකා දමන්නෙමු.  එවිට ඇතිවන තත්ත්වය  ‘ආහාර බන්ධනාගාරය’ (the food prison) ලෙස හැදින්වීමට පුළුවන: භයානක, හානිකර, එනමුත් සම්පූර්ණයෙන්ම සමාජීය වශයෙන් පිළිගත හැකි නවීන ආහාර සංස්කෘතියේ පැතිකඩ; එනම්, ආහාර ගැන තමන් විසින්ම පනවා ගනු ලබන නීති මාලාවක්, ආහාර අධිකව සීමකිරිම මගින් හෝ  අනන්‍යතාවක් වන තරමේ ආහාර පිළිබඳව අන්තවාදි මතයන් විසින් සිරගත කිරීමක් බවට පත්වීමකි. එමෙන්ම  ප්‍රීතියෙන් හා සමාජ සම්බන්ධතාවෙන් තොර ආහාර අනුභව කිරීමේ ආතතිය —  ඔබේ ජීවිතය එය මත රඳා පවතිනවාක් මෙන් ‘දෝෂයෙන් තොර ආහාර පමනක් අනුභවය'(‘eating clean’), ප්‍රතිශක්තිය සඳහා නිසැකවම උපකාරී වන්නේ නොවේ.

ආහාර යනු හුදෙක් පෝෂ්‍ය පදාර්ථවලට වඩා බොහෝ වැඩි දෙයකි(අවධාරනය අපගෙනි — සංස්කාරක). එය ගැඹුරු සමාජ ආශාවක් ඉටු කරන්නක් වන අතර සෑම විටම පාහේ එක්ව, සමාජශීලීව භුක්ති විඳින දෙයකි: මිනිස්සු එකට එක්ව ආහාර ගැනීමට මනාපය දක්වති, ආහාර වේල යනු මුළු පවුලම හෝ මිතුරන් එකට එකතු කරනවන සිදුවීම්කි.  ආහාර යනු සැමරීමට, බෙදා හැරීමට සහ ප්‍රදානය කිරීම සඳහා,, දෙමාපියන්ගෙන් ළමයින්ට, පවුලේ අයගෙන් මිතුරන්ට, අමුත්තන්ට හෝ ආගන්තුකයන්ට ද යනාදී වශයෙන් පරාර්ථකාමිත්වය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවකි. අද අපට පෝෂණය ගැන වෙන කවරදාටත් වඩා දැනුමක් ඇත; එනමුත් සමහර විට අපට එම තොරතුරු භාවිත කරමින් කළ හැකි හොඳම දෙය නම් එය අපව නැවත කෑම මේසයට ගෙන යාම සහ නැවත ආහාර රස විඳීම පටන් ගැනීමයි.

ඒ සියල්ල ගැන සලකා බැලීඑමෙන් පසුව, සාමාන්‍ය බුද්ධිය සහ නවීන වෛද්‍ය විද්‍යාව යන දෙකම අපට පවසන්නේ ආහාර වරනයන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට සහ එහිම දිගුවක් වශයෙන්  ඔබේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට ඇති හොඳම අවස්ථාවන්ගෙන් එකක් බවයි. ඉතින්, අපි ආහාරවලට අදාලව කරුණු ස්වල්පයක් සලාක බලමු.

ක්ෂුද්‍ර පෝෂක

උපයෝගී හෙවත් ඵලදායී ආහාර අංග විස්තර කිරීමට විද්යාව බොහෝ විට සංකීර්ණ යෙදුම් භාවිතා කරයි. ක්ෂුද්‍ර පෝෂක යනු අපට කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වන්නාවූ එනමුත් අපගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන විටමින් සහ ඛනිජ ලවණ වැනි අණුය. දැන් විද්‍යාව (අපි දන්නාවූ) විටමින් අතුරෙන් අත්‍යවශ්‍ය විටමින් වර්ග 13ක් පමණ එමෙන්ම අපගේ ශරීරය හොඳ ක්‍රියාත්මක තත්වය තබා ගැනීමට පරිභෝජනය කළ යුතු ඛනිජ වර්ග 20ක් පමණ හඳුනාගෙන ඇත.   විටමින් සහ ඛනිජ ලවණ සෞඛ්‍යයට තීරණාත්මක වන අපගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍ය සංරචකයි.  ඒවායින් කොයික හෝ නොමැතිකම ඌනතාව නිසා හටගන්නා රෝග ඇති කළ හැකිය.  එදිනෙදා කටයුතු ප්‍රශස්තව ක්ර්යාත්මක වීමට නම් ප්‍රතිශක්තිකරණය උදෙසා සියලුම ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය වේ.

මෙයින් කියවෙන්නේ යම් නිශ්චිත (පෝෂණ)ඌනතාවයක් තිබීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ විය හැකි බවයි. අද ලිපියෙන් ක්ෂුද්‍ර පෝෂක සියල්ල ගැන සලකා බැලීමට තැත් කෙරන්නේ නැත. ඒ වෙනුවට  ශක්තිමත් ප්‍රතිශක්තියක් ගොඩ නැගීම සඳහා ප්‍රයෝජනවත් ඉඟි කිහිපයක් මෙහි දැක්වේ.

Scurvy (විටමින් C), beri-beri (විටමින් B1), rickets (vitamin D) සහ pellagra (vitamin B3) වැනි ඌනතා රෝග වර්තමාන අද බටහිර ලෝකයේ දුර්ලභ ය. ඒවා බොහෝ විට ඇතිවන්නේ සංස්කෘතික හා ආර්ථික අවාසි හෝ හුදෙක් නොදැනුවත්කම නිසා වන නමුත් වසර ගණනාවක පර්යේෂණ මගින් අපගෙන් බහුතරයකට ඒවා ජය ගැනීමට හෝ වළක්වා ගැනීමට ඉඩ ලබා දී ඇත. කෙසේ වෙතත්, එවැනි තත්වයන් අධ්‍යයනය කිරීම  අපට උගන්වා ඇත්තේ ප්‍රතිශක්තිය කෙරෙහි මෙම ක්ෂුද්‍ර පෝෂකවල වැදගත් බලපෑමයි — ආසාදනයට එරෙහිව අපට ආරක්ෂාව සලසාගැනීමට සහ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුමටව ක්‍රියාත්මක වීමට අපට ඒ සියල්ල අවශ්‍ය වේ.

Immunity, the  Science of Staying Well (2020) by  Dr. Jenna Macciochi     ග්‍රන්ථයේ Immunity-nourishing Nutrition යන පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.