විද්‍යාව ප්‍රාථමික පාසලේ සිටම උගැන්වීමේ වැදගත් කම

Posted by

විද්‍යාව ප්‍රාථමික පාසලේ සිටම උගැන්වීමේ වැදගත් කම

නොබෙල් ත්‍යාගලාභී, මහාචාර්ය එරික් රිචඩ් කැන්ඩෙල් විසිනි.

එරික් රිචඩ් කැන්ඩෙල්(Eric Richard Kandel) යනු ඔස්ට්‍රියාවේ උපන් ඇමරිකානු වෛද්‍යවරයෙකි, ඔහු මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්, ස්නායු විද්‍යාඥයෙක් සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන්ගේ සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව සහ ජෛව භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. මහාචාර්ය කැන්ඩෙල්, 2000 වසරේ දී කායික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ද  1988 වසරේ දී ජාතික විද්‍යා පදක්කම ද දිනාගත්තෙකි.

අප අවට ලෝකය ගැන ඉගෙන ගැනීමට ඇති හොඳම මාධ්‍යය විද්‍යාවයි. ඉතාම කුඩා දේ  සිට ඉතා විශාලතම දේ දක්වා, තනි පරමාණුවල සිට දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වය දක්වා, තනි ස්නායු සෛලවල සිට මොළයේ සහ මනසෙහි ක්‍රියාකාරිත්වය දක්වා විද්‍යාව අපගේ මේ පෘථිවියේ ජීවය ගැන අප (දැනට)දන්නා දේ අපට උගන්වා ඇත. ජීව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන විට,  අපව මිනිසුන් බවට පත් කරන්නේ කුමක්ද, අපගේ මානසික ක්‍රියාවලීන් එතරම් සුවිශේෂී වන්නේ ඇයි යන්න මෙන්ම අපගේ සත්ව මුතුන් මිත්තන් සමඟ අප සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැනත් විද්‍යාව අපට උගන්වා ඇත.

ඊට අමතරව, විද්‍යාව ජීවිතයේ වඩාත්ම උද්යෝගිමත් ක්‍රියාකාරකම්වලින් එකක් ලෙස දැකිය හැක. සෑම දිනකම රසායනාගාරයට පැමිණීමෙන් විද්‍යාඥයයෝ ඉමහත්සතුටක් ලබති.- කොතරම් කුඩා වුවත්, කෙතතරම් සුළු වුවත්, සෑම නව සොයාගැනීමකින්ම ලබන සතුට,  එළිමහනේ කරන ටෙනිස් ක්‍රීඩාවක් හෝ අභ්‍යන්තරයේ කෙරෙන කාඩ් සෙල්ලමකින්  ජයග්‍රහණය කිරීමෙන් ලබන සතුටට වඩා අසීමිත ලෙස ප්‍රියජනකයි. වඩාත්ම  වැදගත් දෙය ලෙස සැලකිය හැක්කේ, තාක්ෂණික වශයෙන් නවීන එමෙන්ම සංකීර්ණ අපගේ මේ ලෝකය සඳහා විද්‍යාව අත්‍යවශ්‍යය යන කාරණාවයි. පුරවැසියන් වශයෙන් අපට  දැනුවත් තීරණ ගැනීමට නම්(informed decisions), අප සැමට විද්‍යාව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය.

එබැවින් අධ්‍යාපනය ලබාදෙන පළමු අවස්ථාවෙහිදී — එනම්,  ප්‍රාථමික පාසලේදීම විද්‍යාව ඉගැන්වීම අත්‍යවශ්‍ය වේ. සමාජය වෙනුවෙන් ඉ‍ටු කරණු පිණිස විද්‍යාවට බොහෝ කාර්යයන් පැවරී ඇත. විද්‍යාව යනු ආර්ථිකය මෙහෙයවන යාන්ත්‍රණයයි(එන්ජිමයි); විද්‍යාව යනු අපේ මේ මිහිතලය මත වර්ධනය වන වැදගත් සහ උද්වේගකර නව මුලපිරීම් ගැන අප ඉගෙන ගන්නා ආකාරයයි; සහ විද්‍යාව යනු  අපගේ ලෝකයේ අප මුහුණ දෙන ප්‍රධාන ශාරීරික හා මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීම් තව තවත් වර්ධනය කරමින් ඉදිරියට ගෙන යා හැකි මාධ්‍යයයි. ඉතින් විද්‍යාව යනු නිසැකවම, ළමුන්ට, තරුණ තරුණියන්ට නියැළීමට, නිරතවීමට හැකි වඩාත්ම ප්‍රබෝධමත්, ආවේශක සහ ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රියාකාරකම් වලින් එකකි. 

හොඳින් දැන උගත්, දැනුම් තෙරුම් ඇති, එමෙන්ම අනාගතය සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිණිස මනා සුදානමක් සහිත රටවසියන් පිරිසක් බිහිකිරීමට නම් අප කළ යුත්තේ කලින්ම පටන්ගෙන දරුවන්ගේ අධ්‍යාපනය ආරම්භයේ දීම විද්‍යාව උගැන්වීමට නොපමාව පියවර ගැනීමයි. එය, විද්‍යා පර්යේෂණ මෙන්ම කර්මාන්ත සංවර්ධනය දිරිමත් කිරීමට මග පාදනු ඇත.

එහෙත් මේ සැමටත් වඩා වැදගත් දෙය වන්නේ,  වගකිවයුතු රටවැසිභාවයේ බුද්ධිමය ඇතිරිල්ලෙහි කොටසක් බවට විද්‍යාව පත් කළ යුතුය යන්නයි. සාමාන්‍යයෙන් මාධ්‍යය තුළ හුවා දැක්වෙන ක්‍රීඩා, චිත්‍රපට, වේදිකා නාට්‍යය, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය සහ ආර්ථිකය යන  අංග සමග  සමාජයේ මූලික බුද්ධිමය ව්‍යුහයේ ඉදිරි පෙළ  කොටසක් ලෙස  විද්‍යාව ද  දැන් ඇතුළත් කර ඇති බව ප්‍රසිද්ධ මාධ්‍යවලින් වැඩි වැඩියෙන් පැහැදිලි වේ.  විද්‍යාව නූතන ජීවිතයට වැදගත්වන කේන්ද්‍රගත කොටස බවට පත්වීමට නම් විද්‍යාව ඉගැන්වීම මුල සිටම අධයාපනයෙහි කේන්ද්‍රීය කොටස බවට පත් විය යුතුය.

විද්‍යාව පිළිබඳ දැන උගෙනීම සිසුන් තාක්ෂණික වශයෙන් සංකීර්ණ රැකියා සඳහා සූදානම් කිරීමකට වඩා වැඩි යමක් ඉ‍ටුකරයි: එය ඔවුන් නියම මිනිසුන් ලෙස හැඩගස්වන අතර  එසේ හැඩගැස්වීම සමඟ අපගේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරයත් හැඩගස්වයි.

Science for the Next Generation Preparing for the New Standards (Copyright © 2013 by the National Science Teachers Association) ග්‍රන්ථයේ The importance of teaching Science in elementary school යන 6වැනි පරිච්ඡේදයෙහි හැඳින්වීම ඇසුරෙනි.

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.