ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වැදීම
එක එක මාදිලියේ ඒකාධිපතියෝ, විවිධාකාරයේ සමාජ ක්‍රියාවලීන් සහ මනෝවිද්‍යාත්මක ගතිකත්වයන් ගණනාවක් හරහා බලය ලබා ගන්න්වා සේම සහ බලය පවත්වාගෙන යති.
ගල් ආයුධ භාවිත කිරීම ඇරඹූ මුල් කාලය වන පුරාශිලා(Paleolithic) අවදීයේ අපගේ මූලයන්ගේ සිටම, ඒකාධිපතියෝ — ඔව්, ඔවුන් ගෝත්‍ර, රාජ්‍යයන්, රටවල්, ආගම් හෝ සංවිධානවලට නායකත්වය දුන්නද ඒකාධිපතියෝ විවිධාකාරයෙන් අප ඉදිරීයේ පෙණී සිටිති. ශක්තිමත් යයි පෙනී යන පුද්ගලයන් වෙත අප සැමවිටම ආකර්ෂණය වී ඇත. ස්ථාවරත්වය සහ ආරක්ෂාව ලබාදෙතැයි යන කාල්පනික හැඟීමක් වෙනුවෙන් පමණක් නොව නැවත ස්ථාපිත කරන්නාවූ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ මිත්‍යාවක් වෙනුවෙන් පවා තමුන්ගේ නිදහස අත් හැරීමට අප අතරෙන් සමහර අය පහසුවෙන් පොළඹවා ගත හැකිවේ..
පොදුවේ කතා කරන්නේ නම්, සමාජ නොසන්සුන්තා ඇති කාල වකවානු සැමවිටම ඒකාධිපතියන් ඉස්මත්තට ගෙන එන පෝෂණ භූමි බවට පත් වී ඇත. ආර්ථික අවපාතයන්ට මුහුණ පා සිටින අවස්ථා වාගේම දේශපාලන හෝ සමාජ අවුල් සහගත කාල පරිච්ඡේද ජනතාවන්ගේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිටීමට ඒකාධිපතියන්ට අවස්ථාව ලබා දෙන අතරම, අවශ්‍ය කොන්දේසි සපිරෙන්නේ නම්, කුමන්ත්‍රණ හෝ වෙනත් ක්‍රම මගින් බලය අල්ලා ගන්නට එම ඒකාදිපතියෝ යුහුසුළු වෙති. ඔවුන්ගේ ජනප්‍රියවාදී, කුටිල ජනනායකත්වය පෙන්වන කුකරි කතාවලට රටක ජනගහනයේ පුළුල් පරාසයක් වසඟ කළ හැකිය. කෙසේ වෙතත්, ඔවුන් විසින් පුම්බා පෙන්වනු ලබන පොරොන්දු සියල්ලම නෝසේනම් බොහොමයක්ම චාටු බස් හෝ නිරර්ථක පුරසාරම් වේ. ඉතින් මේ කරුණු කාරණා එසේ නම් ඔවුන්ට බලය ලබා ගැනීමට සහ පවත්වා ගැනීමට හැකි වන්නේ කෙසේද? කෙටි පිළිතුර මේකයි:දන්නාවූ සමාජ ක්‍රියාවලීන් සහ ගතිකත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඔවුහු සාර්ථක වෙති.


අනුකූල අභිනතිය(confirmation bias) හෙවත් තමන් විශ්වාස කරන දෙයම තහවුරු කරගනිමින් පිළිගැනීමට ඇති නැඹුරුව අනුව ක්‍රියා කිරීම:
පළමුව, යමෙක් කියන දෙය(බොහෝ විට වග විභාගයකින් තොරව) “විශ්වාස කිරීමට ඇති ආශාව” අප තුළ අවුලුවාලීමට ඔවුන්(එකාධිපතියන් හෝ එසේවීමට මාන බලන්නන්) අතිශයින්ම දක්ෂයි. දේශප්‍රේමය සහ ධර්මිෂ්ඨකම පිළිබඳ ඔවුන්ගේ වාගාලාප, ජනතාව මහත් අභිරුචියෙන්, ඇතැම් විට ආගමිකවන තරමේ භක්තියෙන් අසා සිට වැළඳගන්නේ එහෙයිනි. ඒකාධිපතියෙකුගේ වාගලංකාරය ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගැනීම මානව වර්ගයාගේ වඩාත්ම ප්‍රතිෂ්ඨාපිත අභිනතිය(bias) හෙවත් පක්ෂග්‍රාහීත්වය තුළ මුල් බැස ගෙන තිබෙන්නකි — එනම්, අනුකූල අභිනතියයි(confirmation bias). අපගේ විශ්වාසයන්, අදහස් සහ ආශාවන් තහවුරු කෙරෙන් අන්දමේ සඳහා සාක්ෂි සෙවීමට ඒවාට හරස්වන්, පරස්පර විරෝධී තොරතුරු , සාක්ෂි ඉවතලෑමට මෙය(අනුකූල අභිනතිය) අපට බල කරයි. අපගේ ලෝකයේ සංකීර්ණත්වය සරල කරගැනීමට එවන් පක්ෂග්රාහීත්වන් හෙවත් නැඹුරුවීම් අපට උපකාරී වන්නේ යයි පෙණී යා හැකි බව අත්තක් වන නමුත් එය “ස්නසාවේදීය කම්මැලිකමක”(a form of “neurological laziness”) ආකාරයක් ලෙසද දැකිය හැකිය. ඉතින්, උපාමාරු කිරීමේ(manipulation = අපගේ මත වෙනත් අයෙකුට ඕනෑ ආකාරයට මෑනවීමේ හෙවත් හසුරුවාගැනීමේ) විශේෂඥයන්, අති දක්ෂයන් වන මෙකී ඒකාධිපතියෝ ලොව සෑම තැනකම ප්‍රචලිත මෙම සංජානනයට හෙවත් වටහහා ගැනීමට ඇති ‘කෙටිමඟින්’ ප්‍රයෝජන ගනිති.
ආක්‍රමණිකයා සමඟ එකට හිට ගැනීම:
සමාජීය හා ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් — බොහෝවිට සමාජයේ එතරම් හොඳ අධ්‍යාපනයක් හෝ දැනුමක් නොමැති අය සහ, ඒ නිසාවෙන්ම බොහෝ විට ව්‍යාකූලත්වයෙන් සහ අනාරක්ෂිත බවෙන් පෙළෙන අය — ඉලක්ක කර ගැනීමේදී ද ඒකාධිපතියන් විශේෂයෙන් අතිදක්‍ෂයන්ය. තම “ගැලවුම් කාරයින් ලෙස හඳුනාගැනීමේ” මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය හරහා මෙකී ජන කොට්ඨාශවල කෝපය සහ කලකිරීම ඒකාධිපතියන් ගසාකන්නේ එය සිය වාසියටම හරවා ගනිමිනි. “ශක්තිමත්” පුරුෂයා හෝ “ශක්තිමත්” ස්ත්‍රිය තුළ බල හීන නැතිනම් බලනොගැන්වූ අය බොහෝදෙනා (එවන් පුරුෂයන් හෝ ස්ත්‍රීන්) දකින්නේ තමන්ගේම ප්‍රතිබිම්බයක් ලෙස වන අතර ගරා වටී ඇති ඔවුන්ගේ තත්ත්වයට එරෙහි ජයග්‍රහණය කරා ගෙන යන ගැලවුම්කාරයන් ලෙසයි. එවන් ජනයා මිත්‍යාවන්ගේ සහ මායාකාරී චින්තනයේ ආකර්ෂණයට පහසුවෙන් හසුවෙති. ඔවුහු නිරාසයෙන්ම බුද්ධිශෝධනයට(මොළ සේදීමට) පත්වෙති.
දොස්, අන් අය වෙත පැවරීමේ ක්‍රීඩාව:
සමාජීය වශයෙන් සිදුවන වැරදි කුමක් වුවත්, ඒකාධිපතියන් දොස්පැවරීම් උසිගැන්වීමට සහ ඒ දොස් සඳහ වගකිවයුතු අන්‍යද්‍යෝෂධාරින්(scapegoat) බිල්ලට හසුකර පාවාදීමට දක්ෂය. ඔවුහු “එකිනෙකා භේද කිරීමේ” ප්‍රාථමික ආරක්ෂක යාන්ත්‍රණය උපයෝගී කර ගනිමින් කණ්ඩායම් තුළ සහ පිටත පිරිස් අතරේ ගැටළු ස්ථානගත කිරීම, බැහැරින් එන තර්ජන විශාලනය කර දැක්වීම සහ සාමූහික පීඩනෝන්මාදයක් නැතිනම් සාමූහික ව්‍යාකූලත්වයක් ඇති කරති. ඒ අතරම, තමුන් වනාහී කිසිදා අත්නොහැරයන, ස්ථිර ගැලවුම්කරුවන් ලෙස ඒකාධිපතියෝ තමන්ව හුවා දක්වා ගනිති. මේ අතර ඔවුන්ගේ අනුගාමිකයෝ ද සරල, ද්විමය ප්‍රස්තුතයන් හෙවත් ‘දෙකෙන් එකාක් බේරා ගැනීමේ’ ක්‍රමය වෙත යොමුවෙමින් නපුරට එරෙහිව “නියමම සටන” යන සටන්පාඨය සමඟ පෙලගැසී තමන්ට වඩා වෙනස් අදහස්, මත දරන අය නොඉවසනනන් බවට පත්වෙති.
සම්ප්‍රචාරණ(Propaganda) කප්පිත්‍තෝ:
ඒකාධිපතියන් ඉක්මනින් අධිශික්ෂණයයෙහි(indoctrination) වටිනාකම වටහා ගනිති, ඉගෙන ගනිති. බලය මත තම ග්‍රහණය පවත්වා ගැනීම උඩ්දෙසා, ඔවුහු සියලු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එකතන් කිරීම මගින් තොරතුරු පාලනය කිරීමට උත්සාහ කරති. ධනාත්මක ප්‍රවෘත්ති ඔවුන්ට ආරෝපණය කරගන්නා අතර ඍණාත්මක පුවත් (ඔවුනට එරෙහි) රාජ්‍ය සතුරන්ට ආරෝපණය කෙරේ. ප්‍රචාරක යන්ත්‍රයේ ආධාරයෙන් (අපට නොදැනීම) ඒකාධිපතියන් සෑම කෙනෙකුගේම ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්වේ. මැතිවරණ වලදී, ඔවුන් මාධ්‍ය නිදහස කප්පාදු කිරීම, නිදහසේ ප්‍රචාරක කටයුතු කිරීමට විපක්ෂයට ඇති හැකියාව සීමා කිරීම සහ වැරදි තොරතුරු – “ව්‍යාජ පුවත්” පතුරුවා හැරීම මගින් අවසාන ප්‍රතිඵලය හසුරුවයි(මෑනවයි). ප්‍රතිවිරෝධී බලවේග ලෙස ක්‍රියා කරන සමාජ ව්‍යුහයන් සහ ආයතන වළකන්නට හෝ විනාශ කරන්නට ද ඒකාධිපතියෝ උත්සාහ කරති.
ඒකාධිපතිත්වයට වගකිව යුත්‍තෝ කවරහු ද?
ඒකාධිපතිත්වයට නැඹුරු වන මාදිලියේ පෞරුෂයක් සහිත පුද්ගලයන් සෑම විටම සමාජයේ සිටිනු ඇත. බොහෝ අතීත සහ සමකාලීන ආඥාදායකයෝ අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක නසිමයෙන්(narcissism) හෙවත් ආත්ම රාගයෙන්(ස්වරූප රාගයෙන්), මනෝ ව්‍යාධියෙන්(psychopathy)සහ පීඩනෝන්මාදයෙන්(paranoia) පෙලෙතිති. ඔවුන්ට ස්වයං-වැදගත්කම පිළිබඳ පුම්බන ලද හැඟීමක් ඇති අතර අන් අයගේ ප්‍රශංසාව ලැබීමට තමන්ට අයිතියක් ඇතැයි හඟිති. සභානුභූතිය හෙවත් සහකම්පනය(empathy), වරදකාරිත්වය පිළිබඳ හැගීමක් හෝ පසුතැවිල්ලක් පිළිබඳ හැගීමක් සහජයෙන්ම ඔවුනට නොමැත. මේ නිසාවෙන් වඩාත්ම වචනයෙන් කිව නොහැකි දරුණු අපරාධ සිදු කිරීමට ඔවුනට ඉඩ සැලසේ.
කෙසේවෙතත් ඒකාධිපතියන් අපකීර්තියට පමුණුවමින් දුෂ්ඨයන් සේ හුවා දැක්වීම පහසු වන අතරම, බොහෝ ආකාරවලින්, අප (ජනතාව) ඔවුන් සක්‍රීය කරන බව, ශක්ති සම්පන්න කරන බව ද අප තේරුම් ගත යුතුය. ඇත්ත වශයෙන්ම, අනුගාමිකයින් නොමැතිව ඒකාධිපතියෙකුට ක්රියා කළ නොහැකිය. ශබ්ද නඟා ප්‍රසිද්ධියේපිළිගන්නේ නැතත් අන් අය විසින් හරි වැරැද්ද තෝරා බේරා ඩීම අපට සිත්ගන්නා කරුණකි. එය එසේ නමුත් ඒ ආකරයෙන් පුද්ගලික වගකීම පැහැර හැරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අඩපණ කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් අඩාල කරයි. කෙසේ වෙතත්, ශුභාරංචිය නම්, අප ඒකාධිපතියන් සක්‍රීය කළත්, එලෙසම අපට ඔවුන්ව අක්‍රිය කිරීමට ද හැකිය.

වගකිවයුතු ඡන්දදායකයන් පිරිසක් බිහිකිරීම
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත බොහෝ රටවල ඒකාධිපතිත්වය කරා එළඹීම සැබෑ තර්ජනයක් බවට පත්වෙමින් තිබේ. මෙම ‘එළිදරව්ව” හමුවේ අප හදිසි ප්‍රශ්න දෙකක් සලකා බැලිය යුතුව ඇත: ඒකාධිපතියන් වීමqට ඇති අශාව “සුව කළ” නොහැකිද”? ඒකාධිපතියන් බලයට පත්වීම අපට වැළැක්විය නොහැකිද?
අකමැත්තෙන් වුවද, පළමු ප්‍රශ්නයට ප්‍රතිචාර වශයෙන් දැක්විය හැක්කේ “ඊට ඉඩ අඩුය” යන්නයි. ඓතිහාසික අත්දැකීම් වෙනත් ආකාරයකින් සනාථ කර ඇත්තේ එයයි. සායනික දෘෂ්ටිකෝණයකින්, බොහෝ මනෝචිකිත්සකයින් විශ්වාස කරන්නේ (මනෝ ව්‍යාධි ලක්ෂණ සහිත එම) ඒකාධිපතියන්ට එලෙස ‘ප්‍රතිකාර කොට සුව කළ නොහැකි’ බවයි. මේ අනුව, එකාධිපතියන් ප්‍රවර්ධනය වළක්වා ගන්නේ කෙසේද යන දෙවන ප්‍රශ්නය විසඳීමටනම්, (එනම් ඒකාධිපතියන් බලයට පත්වීමට වැළැක්විමට නම්) බොහෝ විරුද්ධ බලවේග අවශ්‍ය වේ.
සුප්‍රකට කියමනකින් දැක්වෙන අන්දමට ‘සුව කිරීමට වඩා වැළැක්වීම හොඳය යන කාරනාව’ අගනේය. එබැවින් ඒකාධිපතියන් බහිවී හොර රහසේ සම්මුතිවලට එළඹ අපගේ ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරන්නට පෙර අප කලින්ම ඔවුන් හඳුනා ගත යුතුය. ඔවුන් බලයට පත් වූ පසු බොහෝ විට අප ප්‍රමාද වුවා වැඩියි.
මනාව ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක පදනම්වන්නේ විවිධ දෘෂ්ටි කෝණයන්ට සවන් දීමට සහ අර්ත ව්‍යාකුල බව(ambiguity) කළමනාකරණය කිරීමට හැකි ජනතාවකි. එය දැනුමැති, බලමුලු ගැන්වූ සහ කැපවීමෙන් නියැලී සිටින ඡන්දදායකයන් පිරිසක් ද ඇතැයි අනුමාන කරයි — එසේ නොමැතිව, ඡන්දය දීම අන් අයගේ ව්‍යාපාරයක් යැයි විශ්වාස කිරීමටපෙළඹෙන අය නොවේ. ඒකාධිපතියන් කරලියට පැමිණීම වැලැක්වීමට නම් නිදහස ගැන සැලකිලිමත් වන සහ එහි වගකීම භාර ගන්නා ජනතාවක් සිටීම අවශ්‍ය වේ. තවද, රජය, රාජ්‍ය නායකයා, ව්‍යවස්ථාදායකය, අධිකරණය, පුවත්පත් සහ ඡන්දදායකයා යන සියල්ල ප්‍රතියෝජන(countervailing) අධීක්‍ෂණය සැපයීම සඳහා ස්වාධීන විය යුතුය.

වඩා හොඳ ලෝකයක් ස්ථාපිත කිරීම සඳහා උත්සාහ දැරීම
1940 නිපදවූ සුප්‍රකට චිත්‍රපටයක් වන (The Great Dictator) නිර්මාණයේහි, චාලි චැප්ලින් වැරදි අනන්‍යතාවයක් සහිත යුදෙව් බාබර් කෙනෙකුගේ චරිතය රඟපාමින් නාසිවාදය සහ ඇඩොල්ෆ් හිට්ලර් උපහාසයට ලක් කරයි. චිත්‍රපටිය අවසානයේදී, චැප්ලින් එකට එක්වී ඒකාධිපතිත්වයට එරෙහිව සටන් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලමින් ආවේගශීලී කතාවක් කරයි:
“මිනිසුන්වන ඔබට මේ ජීවිතය නිදහස් හා ලස්සන කිරීමට, මේ ජීවිතය පුදුමාකාර වික්‍රමාන්විතයක් බවට පත් කිරීමට, බලය ඇත… ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අපි එම බලය භාවිතා කරමු; අපි සැවොම එකමුතු වෙමු…!
|
ඒකාධිපතියෝ, නිදහස රිසිසේ භුක්ති විඳින නමුත් නමුත් ඔවුන් මිනිසුන් වහල්භාවයට පත් කරති… ලෝකය නිදහස් කිරීමට, ජාතිකවාදි බාධක ඉවත් කිරීමට, තණ්හාව, වෛරය සහ නොඉවසීම ඉවත් කිරීමට සටන් කරමු.
මේ ලිපියට මීට වඩා අගනා අවසානයක් තිබිය හැකිද? – සංස්කාරක
INSEAD Knowledge වෙබ් අඩවියෙහි Fighting Against Dictatorship (by Manfred F. R. Kets de Vries, INSEAD Distinguished Clinical Professor of Leadership Development & Organisational Change) යන ලිපිය ඇසුරෙනි