අපි දැනටමත් පෘථිවියට කර ඇති හානිය ආපසු හරවා ගත හැකිද?

Posted by

අපි දැනටමත් පෘථිවියට කර ඇති හානිය ආපසු හරවා ගත හැකිද?

නැවතත් ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස පෘථිවිය මිනිසුන් විසින්  වෙනස් කර ඇති බවක් සමහර විට  පෙණී යා හැකියි. එනමුත් අපගේ ග්‍රහලෝකය කියන්නේ ශක්තිය, ජලය, කාබන් සහ තවත් බොහෝ දේ සපයා දෙන සහ ජීවය පෝෂණය කරන ඇදහිය නොහැකි පද්ධතියකි. එය වසර බිලියන 4.5 ක් පමණ පැරණි වන අතර ඒ විශලා කලය තුළ නොයෙකුත් විශාල වෙනස්කම් වලට භාජනය වී ඇත.

පෘථිවි ඉතිහාසයේ ඇතැම්  අවස්ථාවලදී, විශාල ප්රදේශ  ගිනි ගෙන දැවිණ. තවත් සමහර අවස්ථාවලදී එහි වැඩි කොටසක් අයිස්වලින් වැසී තිබුණි. පුථිවිය මතුපිට ඇති සෑම ජීවියෙකුම පාහේ අතුගා දැමූ මහා නෂ්ටප්‍රාප්තවීම් එහි හට ගෙන ඇත. පෘථිවි දේශගුණය, එහි ධ්‍රැවී මත අයිස් තට්ටු නොමැතිව ගතවන අතිශය උණුසුම් කාලවල සිට ග්‍රහලෝකයේ වැඩි කොටසක් ශීතලයෙන් ගල්වී ගිය අවධිය දක්වා, වරින් වර වෙනස් වී ඇත. අප ජීවතවන මේ මිහිත්ලය, අපගේ  ජීවමාන ග්‍රහලෝකය ඇදහිය නොහැකි තරමට ඔරොත්තුදීමේ ශක්තියෙන් හෙබි අතර කාලයත් සමඟම නැවත ප්‍රකෘතිමත්වීමේ හැකියාවෙන් යුක්තය. එසේවුව ද,  ගැටළුව වන්නේ එහි ස්වයං-සුවවීමේ පද්ධති(self-healing systems) ඉතා මන්දගාමී වීමයි. පෘථිවිය නැවත යහපත් වන්නට පුළුවන; නමුත් මිනිසුන්ගේ ගැටළු වඩාත් ක්ෂණිකව විසඳිය යුතු වේ.

 මිනිස් අපව නඩත්තු කරන පද්ධති වලට මිනිසුන්වන අපම විවිධ ආකාරවලින් හානියට පත් කර ඇත. අපි වාතය සහ ජලය දූෂණය කරමින්, ගොඩබිම සහ සාගරවල සහ ගංගාවල ප්ලාස්ටික් සහ අනෙකුත් කුණු වග විභාගයකින් තොරව වපුරමින්, ශාක හා සතුන් වෙනුවෙන් ඇත් වාසස්ථාන විනාශ කර තිබේ. එනමුත් මෙම අවුල් බොහොමයක් නිරවුල් කිරීම පිණිස ස්වභාවික ක්‍රියාවලීන්ට  අප උදව් කරන්නේ කෙසේද කියා අපි දන්නෙමු. මීට වසර 50 කට පමන පෙර මිනිසුන් මෙම ගැටළු පිළිබඳව නිසි අවධානය යොමු වන්නට පටන් ගත් දා සිට ඒ සම්බන්ධයෙන් අප විශාල ප්‍රගතියක් ලබා ඇත.

1970 සිට එක්සත් ජනපද ආර්ථිකය විචිත්‍රාකාර ලෙස වර්ධනය වී තිබියදීත් එ රට සිය වායු දූෂණය විශාල ලෙස අඩු කර ඇත. USEPA(U.S. Environmental Protection Agency)

එසේ වුවද, තවමත් විසඳීමට ගැටලු නැතුවා නොවේ. ප්ලාස්ටික් වැනි සමහර දූෂක වසර දහස් ගණනක් නොනැසී  පවතින බැවින් පරීසරයට ඒවා එක් වීමෙන් පසුව නැවත ඒවා එක්‍රැස් කර ඉවත කරන්නට වෙහෙස ගන්නවාට වඩා ඒවා මුදා හැරීම නැවැත්වීම වඩාත් යෝග්‍යය.  තවද නෂ්ට්ප්‍රාප්තිය() වරක් සිදුවුවහොත් නැවත් ආපස්සට නොහැරවිය ලෙස ස්ථිර බැවින් එය අවම කිරීමට ඇති එකම ඵලදායී ක්‍රමය වන්නේ සතුන්, ශාක සහ අනෙකුත් විශේෂ ආරක්ෂා කිරීම ගැන වඩ වඩාත් සැලකිලිමත් වීමයි.

දේශගුණික විපර්යාස ආපසු හැරවීම

මිනිසා පෘථිවියට කරන බරපතලම හානි අතර කේන්ද්‍රීය වන්නේ,  ප්‍රධාන වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් දහනය කිරීමයි; එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ ග්‍රහ ලෝකයෙහි දේශගුණය දැඩි ලෙස උණුසුම් කරයි. මෙම කාබන් මත පදනම් වූ හෙවත් කාබන්-පාදක ඉන්ධන(carbon-based fuels) දහනය කිරීම, වාතයේ සහ සාගරවල මූලික රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව වෙනස් කරන්නට තුඩු දෙයි. දහනය කරන සෑම ගල් අඟුරු කැබල්ලකින් හෝ පෙට්‍රල් ගැලුමකින්ම වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මුදා හැරේ. එහිදී එය පෘථිවි පෘෂ්ඨය උණුසුම් කරමින්, ගංවතුර, ගිනි හා නියඟ හට ගන්වයි. මෙසේ එකතු කරන ලද කාබන් ඩයොක්සයිඩ් වලින් සමහරක් සාගරවලට දිය වී ඒවා වඩාත් ආම්ලික කරයි, එය සාගර ආහාර ජාල වලට තර්ජන ඇතිකරන්නකි.

දේශගුණික විපර්යාස යනු, මිනිසුන් දේශගුණය නරක අතට හැරීමට බලපාන ක්‍රියාකාරකම් නවත්වන තෙක් වඩාත් නරක අතට හැරෙන ගැටලුවකි – එසේ වීමෙන් පසුව, කාර්මික විප්ලවයට පෙර දේශගුණය පැවති තත්ත්වයට යළි පැමිණීමට සියවස් ගණනාවක් ගතවනු ඇත. මානව ක්‍රියාකාරකම්  තුළින් මහා පරිමාණයෙන් දේශගුණය  වෙනස් කිරීමට පටන් ගැණුනේ කාර්මික විප්ලව සමයේ සිටය. තත්ට්වය තව තවත් නරක අතට හැරීම වළක්වා ගත හැකි එකම මාර්ගය වන්නේ කාබන් දහනය නතර කිරීමයි. ඒ කියන්නේ කාබන් දහනය කිරීමෙන් තොරව සෑම කෙනෙකුටම හොඳින් ජීවත් වීමට ආධාර විය හැකි බලශක්ති පද්ධතියක් ගොඩනැගීමට සෑම සමාජයක්ම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය.

කෙසේ වෙතතත් බලාපොරොත්තු නැතුවාම නොවේ. ඔබට, මට ශුභාරංචිය නම් කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් දූෂණය මුදා හැරීමෙන් තොරව බලශක්තිය නිපදවා ගන්නා ආකාර අප දන්නා බවයි. සූර්ය, සුළං සහ භූ තාප බලයෙන් නිපදවන විදුලිය ලෝක ඉතිහාසය තුල වාර්තාවෙන ලාභම බලශක්තියයි. ගෝලීය විදුලි සැපයුම පිරිසිදු කර පසුව සියල්ල විද්‍යුත්කරණය කිරීමෙන් කාබන් දූෂණය නරක අතට හැරීම ඉතා ඉක්මනින් නැවැත්විය හැකිය. මේ සඳහා,  විදුලි මෝටර් රථ සහ දුම්රිය, විදුලි තාපනය සහ විදුලියෙන් ඉවුම් පිහුම් කිරීමේ හැකියාව සහ විදුලි බලයෙන් ක්‍රියා කරන කර්මාන්තශාලා අවශ්‍ය වේ. ඒ වගේම මෙහි සඳහන්  පිරිසිදු විදුලිය නීපදවන ස්ථානයේ සිට එය භාවිතා කරන ස්ථානය වෙත  ලබා ගැනීමට අපට නව ආකාරයේ සම්ප්‍රේෂණ සහ (විදුලිය)ගබඩා පද්ධති අවශ්‍ය වනු ඇත.

කාබන් වායුගෝලයට මුදා හැරීම වෙනුවට ගොඩබිම සහ ශාකවල කාබන් ගබඩා කිරීමට මග පාදන අයුරින්  වඩා හොඳ ගොවිපල සහ වන කළමනාකරණය කිරීම හරහා  කාබන් හේතුවෙන් ඇතිවන ඉතිරි අවුල් බේරුම් කර ගත  හැකිය. මෙය ද, විසඳිය යුතු ආකාරය ගැන විද්‍යාඥයන්ට මනා අවබෝධයක් ඇති ගැටලුවකි.

පෘථිවිය නිසැකවම යළි යථා තත්ත්වයට පත්වනු ඇති නමුත් ඊට ඉතා දිගු කාලයක් ගතවනු ඇත. මේ ගමන ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය නම්, හානිය වඩාත් නරක අතට හැරීම වැළැක්වීම සඳහා සෑම කෙනෙකුම තම තමන්ගේ භූමිකාව හෙවත් කාර්යභාරය ඉටු කිරීමයි.

Curious Kids(The conversation)) හී පළවන Is it possible to heal the damage we have already done to the Earth? ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.