පෙළ(Texts) විශ්ලේෂණය කිරීම: මාධ්‍ය සහ න්‍යාය

Posted by

පෙළ(Texts) විශ්ලේෂණය කිරීම: මාධ්‍ය සහ න්‍යාය

සන්නිවේදනය සහ මාධ්‍ය අප සමාජය වසාගෙන පැතිරී පවතින බව අමුතුවෙන් පෙන්වා දිය යුත්තක් නොවේ. එහි මූලිකම මට්ටමේ දී, අපට සන්නිවේදනය යනු තොරතුරු හෝ අර්ථය හුවමාරුවක් ලෙස සිතිය හැකිය – එසේ වුවත් එයින්  ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද? ඔබ තොරතුරු හෝ අර්ථය හුවමාරු කර නොගන්නේ කවදාද?

සන්නිවේදනය සිදුවෙමින් පවතින බව නිසැකව පැවසිය හැකි හමුවීම් සමුදායන්  තේරුම් ගැනීමට උත්සාහ කිරීම සඳා උපකාර කිරීමට, අපි සන්නිවේදනය විවිධ වර්ගවලට වර්ග කිරීමට උත්සාහ කරමු. මෙම ප්‍රවර්ගවලින් සමහරක් අතරට මතු දැක්වෙන වර්ග ඇතුලත්වේ:

  • අන්තර් පුද්ගල සන්නිවේදනය: ඒ කියන්නේ එකිනෙකා කතා කිරීම සහ වාචාලකම. මෙහිදී අපි ස්වරය(tone), ශරීර භාෂාව සහ කථනය වැනි දේ විශ්ලේෂණය කරන්නෙමු
  • ජන සංනිවේදනය හෙවත් සංහතික සංනිවේදනය: පුවත් පත් වැනි මාධ්‍යවර්තී සංනිවේදනය(mediated communication)කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව, එක් අයෙකු බොහෝදෙනෙකු සමග සංනිවේදනය කිරීම සහ බොහෝදෙනෙකු, බොහෝදෙනෙකු සමග සංනිවේදනය ආදී සන්නිවේදන ක්‍රියාවන් ඇතුළත්ය
  • සංවිධානාත්මක සන්නිවේදනය: මෙහි දී අප සලකා බලන්නේ කණ්ඩායම් හැසිරීම් පවත්වා ගැනීම සහ පහසු කිරීම පිණිස මිනිසුන් ඔවුන්ගේ තොරතුරු හුවමාරුව සංවිධානය කරන්නේ කෙසේදැයි යන්නය.
  • අන්තර් සංස්කෘතික සන්නිවේදනය(Intercultural communication): විවිධ සංස්කෘතික කණ්ඩායම් හෝ උප කණ්ඩායම් අතරේඉ තොරතුරු සහ අදහස් හුවමාරු කර ගැනීම දෙස බැලීමට ඉවහල් වන්නේ අන්තර් සංස්කෘතික සන්නිවේදනය යි.

කෙසේවෙතත්,  සන්නිවේදනය කියන්නේ තනිකරම තොරතුරු හුවමාරුව සඳහා වන ක්‍රියාකාරී සහ ප්‍රායෝගික මෙවලමක් පමණක් ද? සන්නිවේදනය, සමාජය තුළ වෙනත් කාර්යයක් හෝ භූමිකාවක් ඉටු නොකරන්නේ ද? නැතහොත් සමාජ සන්දර්භයක් තුළ සන්නිවේදනයේ ක්‍රියාව සහ භූමිකාව අධ්‍යයනය කිරීමේදී අප විසින් සලකා බලනු ලැබිය යුතු මට්ටම් එකකට වඩා තිබේද? අන්තර්ජාතික සංනිවේදෙන සංග්මයේ සභාපතිවරයෙකු සහ සංනිවේදන විශේෂයග්ග්නයෙකුවන මහාචාර්ය Robert T. Craig විසින් ආරම්භ කරන ලද වැඩ කොටස මත පදනම් වෙමින්, අපට සාමාන්‍යයෙන් ආකෘති නැතහොත් සන්නිවේදන සම්ප්‍රදායන් හතක් ගැන කතා කළ හැකිය – එදිනෙදා ජීවිතයේදී සන්නිවේදනය පිළිබඳ වඩාත් සියුම් අවබෝධයක් වර්ධනය කර ගැනීම පිණිස මෙම ආකෘති එකක් හෝ කිහිපයක දෘෂ්ටිකෝණය හරහා අපට ඕනෑම සන්නිවේදන භාවිතයක් දෙස බැලිය හැකිය.

 ආකෘති හත

වාගලංකාරමය(Rhetorical) – සන්නිවේදනය මූලික වශයෙන්, සංකථනයක්(කතිකාවක් – a  discourse) ලෙස ගෙන සැලකිලිමත් වන මෙම ආකෘතිය මූලික වශයෙන් කථනය වැනි අන්තර් පුද්ගල, එකිනෙකා සමග හෝ එක් අයෙකු කිහිපදෙනෙකු සමග ලෙස කෙරෙන සන්නිවේදන ක්‍රියාවන් ගැන සැලකිලිමත් වීමට නැඹුරු වේ. විසිවන සියවසේ මැද භාගයේ සිට අග භාගයේ භාෂාමය නැඹුරුවෙන් පසු, දේශපාලන සන්නිවේදනය සහ ප්‍රචාරණය වැනි නම්ම ගැනීමට උත්සාහ දරන ජන සන්නිවේදනය ඇතුළත් කරගැනීමට හැකි වන අයුරු වාගලංකාරය, එහි අවධානය යොමු කරන ක්ෂේත්‍රය පුළුල් කර ගෙනඇත. සන්නිවේදනය සඳහා වන වාගලංකාරමය ප්‍රවේශයක් මාර්ගයෙන්  කවුරු කාට  කතා කළේ ද? (ඒ) කුමන සන්දර්භය තුළ ද? සහ කුමන අරමුණක් සඳහාද හෝ ප්‍රතිඵලය ලෙස කුමක් බලාපොරොත්තුවෙන් ද (එනම්: මතයක් හෝ විශ්වාසයක් ඒත්තු ගැන්වීමට හෝ වෙනස් කිරීමට) යන්න සොයා බලනු ලැබිය හැකිය.

සංඥාවේදීමය හෙවත් සංඥා විද්‍යාත්මක(Semiotic) – මෙම ආකෘතිදේ, සන්නිවේදනය මූලික වශයෙන් අර්ථකථන පද්ධතියක් තුළ සංඥා හුවමාරු කිරීමක් ලෙස දකිනු ලැබේ.  සංඥාවේදය හෙවත් සංඥා විද්‍යාව  ගැඹුරින් විමර්ශනය කළ යුත්තක් වුවත් මෙම ලිපිය සඳහා සලකා බලීමේ දී  සඳහන් කළ හැක්කේ සංඥා විද්‍යාව එය තුළින්ම සන්නිවේදනයට ප්‍රවේශ වන අතර, සන්නිවේදනය සංඥා පද්ධතියක් තුළ සංඥාවක් ලෙස සලකනු ලැබේ. සංඥා පද්ධතියක්, අර්ථය ප්රකාශ කිරීම පිණිස සංස්කෘතික වශයෙන් සන්දර්භගත වූ සංඥා භාවිත කරයි. 

සංසිද්ධිමය හෙවත් ප්‍රපංචවේදීමය(Phenomenological)  – මෙම ආකෘතිය මූලික වශයෙන් අත්දැකීම් ලෙස සන්නිවේදනය ගැන සැලකිලිමත් වේ. සංසිද්ධි විද්‍යාත්මක ප්‍රවේශයක් මගින් සන්නිවේදනය යනු සන්නිවේදකයන් ස්වයං-පැහැදිලි ලෙස දකින දේ නියෝජනයක් ලෙස මෙන්ම  ප්‍රතිසාදනය කිරීමක් ලෙස  (a reinforcement) යන ද්යාකාරයෙන්ම දකිනු ලැබේ. සංසිද්ධි විද්‍යාත්මක ප්‍රවේශයක් තුළට අන්තර් පුද්ගල සහ ජන සන්නිවේදනය යන දෙකම අන්තර්ග්‍රහනය කරගත හැකි අතර  වස්තු හෝ අදහස්, අරුත් ගැන්වීමේ අඩවි ලෙස ද එමගින් ප්‍රවර්ධනය කරණු ලැබිය හැකිය.

සත්යාන්ත්‍රිකවිද්‍යාමය හෙවත් සයිබනතික(Cybernetic) – මෙම ආකෘතියේ දි සන්නිවේදනය සැලකෙන්නේ තොරතුරු ප්රවාහයක් ලෙසයි. එහෙත් මෙය හුදු ‘A, B වෙත පණිවුඩයක් යවයි’  යන වර්ගයේ ප්‍රයෝගික ප්‍රවාහයක් ලෙසම නොව, මෙම මොඩලය මගින් චාරිත්‍රධර්ම සහ සමාජ චාර්ත්‍ර විධි(mores and etiquette) වැනි සමාජ සාධක, නාලිකා ප්‍රවේශය සහ ලබා ගැනීමේ හැකියාව වැනි තාක්ෂණික සාධක, සහ නියාමනය වැනි දේශපාලන සාධක ඇතුළුව තොරතුරු ගලායාමට බලපෑම් කරන සහ සීමා කරන සාධක සැලකිල්ලට ගැනීමට උත්සාහ කරනු ලැබේ.

මනෝවිද්‍යාත්මක හෝ සමාජ-මනෝවිද්‍යාත්මක(Psychological or Socio-psychological )  – නමින්ම පැහැදිලිවෙන පරිදි මෙම ආකෘතිය නාභිගතවෙන්නේ පුද්ගලයා මත සන්නිවේදනයේ ක්‍රියාවන්වෙතය. විශේෂයෙන් සමාජය තුළ ඔවුන්ගේ ආත්මීය හැඟීම කෙරෙහි ඇති කරන බලපෑම ගැන සැලකිලිමත් වේ. මෙම ආකෘතිය සන්නිවේදනය යනු පුද්ගලයාට හෝ කණ්ඩායමට උපරිම ප්‍රතිලාභ ලබා දීම උදෙසා කරන ලද ඇතැම් පුද්ගල තේරීම් නියෝජනය කිරීමක් ලෙස මෙම ආකෘතිය මගින් සළකනු ලැබෙයි. 

සමාජ සංස්කෘතික(Sociocultural) – මෙම ආකෘතිය, සන්නිවේදනය සමාජ පර්යාය ප්‍රතිනිර්මාණය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ (සහ අභියෝගකිරීමේ) මාර්ගයක් ලෙස දකී. මෙම ප්‍රවේශය උපකල්පනය කරන්නේ යම් සමාජයක් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ආදෘශ්‍යයන්(models) සමාජයේ සිටින පුද්ගලයන් සතුව පවතින බවයි; මෙම ආකෘති ගොඩනැගීමට, ශක්තිමත් කිරීමට සහ ප්‍රචාරණය කිරීමට සන්නිවේදනය ක්‍රියා කරයි.

විවේචනාත්මක(Critical ) – මෙම ආකෘතිය, සන්නිවේදනය යනු අභියෝගයට සහ සාකච්ඡාවට සඳහා විවෘත උපකල්පන සමූහයක් ලෙස සලකයි; ඔබ අනුමාන කරන්නට ඇති පරිදි, එය සමාජ-සංස්කෘතික සම්ප්‍රදායට ප්‍රබල සම්බන්ධකම් ඇත. මාක්ස්වාදී විචාරය වැනි ප්‍රවේශයන් මෙම ආකෘතිය නියෝජනය කරන ප්‍රවේශයන්ය.

අපට මෙම ඕනෑම ආකෘතියක් හරහා ඕනෑම සන්නිවේදන ක්‍රියාවක් දෙස බැලිය හැකි අතර, සන්නිවේදනයේම වෙනස් දෙයක් ඉන් අනාවරණය කර ගැනීමට, ඉන් ගොඩනැගීමට සහ ප්‍රතිනිර්මාණය කිරීමට උපකාරී වන අර්ථය සහ එම සන්නිවේදනය සහ ඊට සම්බන්ධ සන්නිවේදකයන් සමාජ-සංස්කෘතික සන්දර්භයක් තුළ ගැළපෙන ආකාරය දැන් කියා ගත හැකිය. මේ එක්කම මොහොතකට තවත් ආපස්සට ගොස් එදිනෙදා ජීවිතයේ දී සන්නිවේදනය ඉ‍ටුකරන පුළුල් භූමිකාව වෙත ඔබේ අවධානය යොමු කිරීම වටී. මෙය, ප්රශ්නයක් සමගින් ආරම්භ කිරීම වටී: සන්නිවේදනයෙන් තොර ලෝකයක් ඔබට සිතාගත හැකිද? යන්න එම ප්‍රශ්නයයි. ඒ ගැන තවත් ලිපියකින් සොයා බලමු.

Media Studies 101(A Creative Commons Textbook) යන ග්‍රන්ථයෙහි ප්‍රථම පරිච්ඡේදය්ය යටතේ ඇති Analysing Texts: Media and Theory කොටස අසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.