
බොහෝ අය සිතන්නේ තර්ක කිරීම යනු තමන්ගේ පූර්ව මතයන් හෙවත් ප්‍රාග් විනිශ්චයන්(prejudices) නව ආකාරයකින් ප්රකාශ කිරීම බවයි. තර්ක යනු අප්‍රසන්න එමෙන්ම නිෂ්ඵල දෙයක් යැයි බොහෝ දෙනා සිතන්නේත් මේ නිසාය. “තර්කය”(“argument”) යන්න සඳහා එක් ශබ්දකෝෂයක් අර්ථ දැක්වීමක් වන්නේ “ආරවුල”(“disputation”) යන්නයි. පුද්ගලයන් දෙදෙනෙකුට “ආරවුලක් ඇති” බව අපි සමහර විට පවසන්නේ මෙම අර්ථයෙන් අරගෙනයි: වාචික ගැටුමක්. එය, ඇතිතරම් නිරන්තරෙයෙන් සිදු වේ; නමුත් ඇත්ත වශයෙන්ම තර්ක යනු එය නොවේ.
මෙම ලිපියේ “තර්කයක් ඉදිරිපත් කිරීම” යන්නෙන් අදහස් කරන්නේ නිගමනයක් තහවුරුකිරීමට උපකාරී වීම සඳහා හේතු හෝ සාක්ෂි සමූහයක් ඉදිරිපත් කිරීමයි. මෙහිදී තර්කයක් යනු හුදෙක් යම් යම් මතවල ප්‍රකාශයක් නොවන්නා සේම එය හුදෙක් ආරවුලක් ද නොවේ. තර්ක යනු යම් යම් මත හේතු සහිතව තහවුරු කර දැක්වීමට දරන උත්සාහයයි. මෙම අර්ථයෙන් තර්කය යනු නිෂ්ඵල දෙයක් නොවේ; ඇත්ත වශයෙන්ම, ඒවා අත්‍යවශ්‍ය වේ(නැතුවම බැරිය).

තර්කය අත්‍යවශ්‍ය වේ, මන්ද, මුලින්ම එය අනෙක් ඒවාට සාපේක්ෂව වඩාත් හොඳ මත සොයා ගැනීමේ ක්‍රමයක් වන බැවිනි. සියලුම මත එක හා සමාන නොවේ. සමහරක් නිගමන හොඳ හේතු මගින් තහවුරු කළ හැක; අනෙක් ඒවාට පාදක වන්නේ වඩාත් දුර්වල හේතූන්ය. එනමුත් බොහෝ විට කුමකින් කුම්ක්දැයි පැහැදිලි කර ගැනීමට අපි නොදන්නෙමු. විවිධ නිගමන සඳහා අපට තර්කානුකූල හේතු ලබා දිය යුතුවන අතර, ඊළඟට එම තර්ක ඇත්ත වශයෙන්ම කෙතරම් ශක්තිමත් දැයි, වලංගු දැයි බැලීමට ඒවා තක්සේරු කළ යුතුවේ.
මෙහි දී තර්කය යනු විමසීමේ මාධ්‍යයකි. නිදසුනක් වශයෙන්, සමහර දාර්ශනිකයන් සහ ක්‍රියාකාරීන් තර්ක කරනු ලැබ ඇත්තේ, මස් සඳහා සතුන් ඇති කරන ‘පැක්ටරි සත්ව පාලනය'(“factory farming” = අතිශය සූක්ෂම ක්‍රම භාවිත කරමින්, දැඩි පාලිත තත්ත්වයන් යටතේ ගොඩ නැගිලි ඇතුලටම සීමා කරමින් කුකුල්, ගව හෝ සූකර සතුන් ඇතිකිරීම) ) සතුන්ට ඉමහත් දුක් ගෙන දෙන බවත්, එබැවින් එය අසාධාරණ සහ සදාචාර විරෝධී බවත්ය. ඔවුන් නිවරැදි ද? අපගේ වර්තමාන මත විමසා බැලීමෙන් පමණක් අපට කිව නොහැක. බොහෝ ගැටලු මීට සම්බන්ධයි – අපි තර්ක විමර්ෂණ කර බැලිය යුතුයි. නිදසුනක් වශයෙන්, අපට වෙනත් සත්ව විශේෂයන් වෙත සදාචාරාත්මක බැඳීම් තිබේද? නැතහොත් අප ඇත්තෙන්ම සානුකම්පිකවන්නේ මනුෂ්‍යන්ගේ දුක් වේදනා ගැන පමණක් ද? මාංශ නොමැතිව මිනිසුන්ට කෙතරම් නම් හොඳින් ජීවත් විය හැකිද? සමහර නිර්මාංශිකයින් බොහෝ වියපත් වනතුරු ජීවත් වී ඇත. මෙයින් පෙණී යන්නේ නිර්මාංශ ආහාර වඩාත් සෞඛ්‍ය සම්පන්න බව ද? එසේත් නැතිනම් සමහර නිර්මාංශ නොවන අයද ඉතා මහලු විය දක්වා ජීවත් වූ බව ඔබ සලකන විට එය කාරනාවට අදාළ නොවන එකක් ද? (නිර්මාංශිකයින් මහලු විය දක්වා ජීවත්වීඑමේ අමුපාතය සාපේක්ෂව වැඩිද? යන්න විමසීමෙන් ඔබට යම් ප්‍රගතියක් අත් පත් කර ගත හැකිය.) එසේත් නැතිනම් නිරෝගී පුද්ගලයන් නිර්මාංශිකය වීමට නැඹුරු විය හැකිද? මෙම ප්රශ්න සියල්ලම ප්රවේශමෙන් සලකා බැලිය යුතු අතර, පිළිතුරු කල්තියා පැහැදිලි කර ගත නොහැක.

තවත් හේතුවක් නිසාවෙන් ද තර්කය අත්‍යවශ්‍ය වේ. හේතු සාධක මගින් මනාව තහවුරු වනු ලැබෙන නිගමනයකට එළඹීමෙන් පසු, එය පැහැදිලි කිරීමට සහ ඒ වෙනුවෙන් පෙණී සිටීමට අපි තර්ක භාවිතා කරන්නෙමු. හොඳ තර්කයක් මගින් සිදු කරනු ලබන්නේ නිගමන පුනරුච්චාරණය කිරීමම පමණක් නොවේ. ඒ වෙනුවට තර්කය, හේතු සහ සාක්ෂි ඉදිරිපත් කරයි, එසේ කරන විට අනෙක් පුද්ගලයින්ට ඔවුන්න් වෙනුවෙන් ඔවුන්ගේ මනස සකස් කර ගත හැකිය. උදාහරණයක් ලෙස, අපි සත්‍ය වශයෙන්ම සතුන් ඇති කරන අන්දම සහ යොදා ගන්නා ආකාරය වෙනස් කළ යුතු බව ඔබට ඒත්තු ගියහොත්, ඔබ ඔබේ නිගමනයට එළඹි ආකාරය පැහැදිලි කිරීමට තර්ක භාවිතා කළ යුතුය. ඔබ අන් අයට ඒත්තු ගන්වන්නේ එලෙස ය: ඒත්තු ගැනීමට ඔබට පාදක වූ හේතු සහ සාක්ෂි ඉදිරිපත් කිරීමෙනි. යමක් ගැන දැඩි මති මතාන්තර ඇතිකර ගැනීම වරදක් නොවේ. වැරැද්ද නම් ඒවා හැර වෙන කිසි දෙයක් නොමැති එකයි.

තර්කය ඔබ තුළම තවත් වර්ධනය වේ
සාමාන්‍යයෙන් අපි සහතික ලෙස ප්‍රකාශ කිරීම මගින් “තර්ක කිරීමට” ඉගෙන ගනිමු. එනම්, අපගේ නිගමන — අපගේ ඉච්චාවන් හෝ අදහස් – සනාථ කිරීමට සෑලකිය යුතු දෙයක් නොමැතිව, එලෙස ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට අපි නැඹුරු වන්නෙමු. සමහර විට, අවම වශයෙන් අපි ඉතා කුඩා කාලයේදීවත් එය සාර්ථකව ක්‍රියාත්මකවේ. ඉතින්, ඊට වඩා හොඳ විය හැක්කේ වෙන කුමක් ද?
ඊට වෙනස්ව, සැබෑ තර්කය හඳුනා ගැනීමට, ප්‍රගුණ කිරීමට කාලය සහ පුහුණුව අවශ්ය වේ. ඒ අනුව, අපගේ හේතු දැක්වීම, අපගේ නිගමන සැබෑ සාක්ෂි වලට සමානුපාතික කිරීම, විරෝධතා සලකා බැලීම සහ අනෙකුත් සියල්ල – මේවා අත්පත් කරගත් කුසලතා වේ. අප මදක් හැදෙන්න– වර්ධනයවෙන්න– උත්සාහ කරන්න ඕනේ. අපේ ආසාවන්, මතවාද ටිකකට පැත්තකින් තියලා ඇත්තටම හිතන්න අරඹන්න ඕනේ.
ඉතින් මේ උත්සාහයේ දී බාගවිට, පාසලෙන් උදව් ලැබිය හැකිය. එසේ සහයක් නොලබන්නටත් පුළුවන. සෑම විටම විශාල කරුණු හෝ ශිල්පීය ක්‍රම ඉගැන්වීමට අදාළ පාඨමාලා වල විෂය පථය එන්ට එන්ටම විශාලවේ. එහෙයින් තර්ක මගින් පිළිතුරු සපයන මාදිලියේ ප්‍රශ්න ඇසීමට සිසුන් උනන්දු කරනු ලබතොත් ඒ බොහොම කලාතුරකිනි. ඇත්ත, ඇ.එ.ජ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොට්ඨාස ක්‍රමයක්(Electoral College) නියම කරතිබේ. එය සනාථකෙරුණු සත්‍යයකි – එනමුත් එය අදටත් හොඳ අදහසක් ද? (එලෙස සලකන විට, එය කවදාවත් හෝ හොඳ අදහසක් ලෙස පැවතුනා ද? කෙසේ වෙතත්, එයට හේතු මොනවාද?) නිසැකවම, බොහෝ විද්‍යාඥයො විශ්වයේ වෙනත් තැනක ජීවයක් ඇති බව විශ්වාස කරති. කෙසේවෙතත්, එලෙස විශ්වාශ කරන්නේ ඇයි? කුමණ තර්කයක් පදනම් කරගෙන ද? මෙ ප්‍රශ්නවලට සපයන විවිධ පිළිතුරු වෙනුවෙන් හේතුසාධක දැක්විය හැක. එහෙත් අවසානයේදී ප්‍රසශ්ත මට්ටමවන්නේ, ඔබ එම හේතු සමහරක් ඉගෙන ගැනීමයි; ඒවා කිරා මැන බලන්නේ කෙසේදැයි ඉගෙනගැනීමයි — එමෙන්ම, තව තවත් සොයා ගන්නේ කෙසේද යන්න උගෙනීමයි..

බොහෝ විට, මේ වෙනුවෙන් ද නැවතත් කාලය සහ පුහුණුවීම් අවශ්ය වේ. එපමණක් නොව, තර්ක කිරීමේ භාවිතයට තමන්ගේම ආකර්ෂණයන් ඇත. අපගේ මනස වඩාත් නම්‍යශීලීව, විවෘතව හා අවදියෙන් සිටීමට හුරුවේ. අපගේ විවේචනාත්මක චින්තනය සැබවින්ම කොතරම් වෙනසක් කළ හැකිද යන්න අගය කිරීමට අපි පෙළඹෙන්නෙමු. එදිනෙදා පවුල් ජීවිතයේ සිට දේශපාලනය, විද්‍යාව, දර්ශනය සහ ආගම දක්වා, අපගේ සලකා බැලීම සඳහා නිරන්තරයෙන් තර්ක ඉදිරිපත් කෙරෙන අතර, ප්‍රිතිචාර හැටියට අපට අපගේම දායකත්වය ද ලබා දිය හැකිය. මෙකී දිග හැරීම් ඔස්සේ, අඛණ්ඩ සංවාද තුළ ඔබේම ස්ථානයක් සාදා ගැනීමට ක්රමයක් ලෙස තර්ක කරන්න. ඊට වඩා මනරම් දේවල් ලෙස තවත් තිබිය හැක්කේ මොනවා ද?
A workbook for arguments : a complete course in critical thinking / David R. Morrow & Anthony Weston. — Second edition යන ග්‍රන්ථයෙහි What’s the point of arguing? යනුවෙන් නම් කෙරුණු හැඳින්වීම අසුරෙනි