ප්‍රසිද්ධ වාද විවාද වලදී පමණක් නොව සමහර විට මිනිස්සු එදිනෙදා කථා බහ වල දී නගන තර්ක විතර්ක වල දී ද තර්කය වෙනුවට තර්ක කරන පුද්ගලයාට පහර දීමට පෙලඹෙති. මේක පාසල් වියෙ දරුවන් අතරේ සිට නිකට පැසුණු මහල්ලන් පවා අතර දැකිය හැකි පුරුද්දකි.
අපි කතාවක කොටසකින් ලිපිය පටන් ගමු. මෙය ඉතිහාසයේ කිසිදා සිදු වූ කතා බහක් නොවනවා පමණක් නොව පහත සංවාදයට එක් කර ඇති චරිත දෙක අපට සිහිගන්වන ඒ යුග පුරුෂයන් දෙදෙන කිසිදිනක එවැනි තර්ක විතර්ක නොනගනු ඇත.
G. Washington: සුළු ජාතීන් සඳහා පොදු නිවාස ක්‍රම පිළිබඳ සම්බන්ධයෙන් මගේ කීර්තිමත් විරුද්ධවාදියා දරන අදහස් සමඟ මම එකඟ නොවෙමි. මම හිතන්නේ අපි බදු ගෙවන්නන්ට එවැනි ව්‍යවසායයකට අරමුදල් සපයන ලෙස බල කිරීම වැරදියි.
T. Jefferson:මගේ ප්‍රතිවාදියා වැරදි විශ්වාසයක එල්බ ගෙන සිටින බවත්, ඇත්ත වශයෙන්ම, මහජනයා ඒවා නොසලකා හැරිය යුතු බවත් මා අවධාරනය කළ යුතුයි. එසේ ප්‍රකාස කරනු වස් මගේ හේතුව නම් මගේ ප්‍රතිවාදියා ජීවිතයේ වැඩි කාලයක් හමුදාවේ සිටි නිසා ඔහුට සුළු ජාතීන්ගේ හැඟීම් සහ අවශ්‍යතා ගැන අනුකම්පා කළ නොහැක යන්නය.
G. Washington: මට නැවතත් එකඟ නොවන්න සිද්ධ්වෙලා. මා දරන මතය කෙරෙහි මගේ මගේ ප්‍රතිවාදියා ජීවිතයේ තරාතිරම සහ හමුදාවේ මගේ තනතුර බලපාන්නේ නැත. කෙසේ වෙතත්, පක්ෂග්‍රාහීත්වය ගතහොත් මගේ ප්‍රතිවාදියා එතරම් පාරිසුද්ද අයෙකු නොවේ. සුළු ජාතීන් සඳහා නිවාස ක්‍රම වෙනුවෙන් මහජන අරමුදල් යෙදවීම සම්බන්ධයෙන් ඔහුගේ ආශාව හට ගන්නේ ඔවුන් කෙරෙහි සමබර නොවන අනුකම්පාවකින් සහ ඔවුන්ගේ අරමුණ ඉදිරියට ගෙන යාමේදි ඔහු දක්වන උමතු ආශාවෙනි. ඔහුගේ මතය විශ්වාස කළ නොහැක.
G. Washington: සුළු ජාතීන් සඳහා පොදු නිවාස ක්‍රම පිළිබඳ සම්බන්ධයෙන් මගේ කීර්තිමත් විරුද්ධවාදියා දරන අදහස් සමඟ මම එකඟ නොවෙමි. මම හිතන්නේ අපි බදු ගෙවන්නන්ට එවැනි ව්‍යවසායයකට අරමුදල් සපයන ලෙස බල කිරීම වැරදියි.
T. Jefferson: ඔන්න බලන්න, කවුද කියලා, පක්ෂග්‍රාහීකම් ගැන කතා කරන්නේ? මෙහිදි ම්ගේ පසමිතුරා, ඉන්දියානුවන් කෙරෙහි ඇති දැඩි වෛරය ගැන කුමක් කිව හැකිද? එවැනි දැඩි පක්ෂග්‍රාහි මතයක් සුළු ජාතීන් පිළිබඳ ඔබේ විශ්වාසයන්ට බල නොපාන්නේ නම්, කුමක් ඊට බලපාන්නේ දැයි මම නම් නොදනිමි.
G. Washington: ඉන්දියානුවන් පිළිබඳ මගේ හැඟීම් මේ සමඟ කිසිදු සම්බන්ධයක් නැත. එහෙම වුණත් අපි වක්‍රෝක්තියෙන් දොස් නගමින්, අගුණ දක්වමින් සිටින නිසාවෙන්, මම කල්පනා කරන්නේ ඔබ ප්‍රංශයට ගිය එම සැම සංචාරවලදී ඔබ කළේ කුමක්ද යන්නයි. කිසිවෙකුත් ඒවා ගැන නොදන්නවා වගෙයි.
T. Jefferson: දැන් ඔබ මොකක්ද ඔය කරන්නේ? මගේ චරිතයට පහර දෙනවාද? මම කවදාවත් ඒ චෙරි ගහ ගැන මොකුත් කියලා තියෙනවද?
මෙහිදී, විවාද කරන්නන් දෙදෙනාම වැදගත් ආකාරයෙන් හැසිරෙන්නේ නැත. තම විරුද්ධවාදියාගේ තර්ක ආමන්ත්‍රණය කරන්නේ ද නැත. ඒ කියන්නේ තර්කයට ඒ වෙනුවට, ඒ ඒ පුද්ගලයා තම විරුද්ධවාදියාට පෞද්ගලිකව පහර දෙයි; ඒ කියන්නේ නගන තර්කයට නොව ඊට අදාලකමක් නැති පෞද්ගලික කරුණු කාරණා ඇදගෙන පුද්ගලයාට පහර දෙයි. මෙය වාද විවාද වලදී – විශේෂයෙන්ම දේශපාලන වාද විවාද වලදී සුලබව දැකිය හැක්කකි. එක් වාද කරුවෙකුට තම ප්‍රතිවාදියාගේ චරිතය හෝ චේතනාවන් අපකීර්තියට පත් කළ හැකි නම්, මහජනයා බොහෝ විට එම ප්‍රතිවාදියා ඉදිරිපත් කරන තර්කය ගැන ද සිතන්නේ වැරදි ආකාරයකටය.

ad hominem ප්‍රහාරයක් යනු විරුද්ධවාදියෙකුගේ තර්කය ප්‍රතික්ෂේප කිරීම වෙනුවට විරුද්ධවාදියාගේ චරිතයට හෝ ඔහුගේ චේතනාවලට පෞද්ගලිකව පහර දීමයි.
“Ad hominem” යනු ලතින් භාෂාවෙන් “මිනිසාට” යන්නයි
argumentum ad hominem යනු පුද්ගල ආලම්බන තර්කයි.
ඇඩ් හෝමිනේම්(Ad Hominem)
(මෙය පුද්ගලික අපයෝජනය, පුද්ගලික ප්‍රහාර, අපවාදාත්මක මිත්‍යාව,
මූලාශ්‍රය අපකීර්තියට පත් කිරීම, නම් පට බඳීම, [එක් ආකාරයක] නිබඳ විවේචනය, චරිතය සලකා ප්‍රතික්ෂේප කිරීම)
විස්තරය: තර්කයට පහර දෙනවාට වඩා තර්ක කරන පුද්ගලයාට පහර දීම; පුද්ගලයා ඉදිරිපත් කරන තර්කයට, එම පුද්ගලයා ට පහර දීම සම්පූර්ණයෙන්ම අදාළ නොවන විට මේ තත්ත්වය ඇතිවේ.
උදාහරණ #1:
මගේ විරුද්ධවාදියා යෝජනා කරන්නේ බදු අඩු කිරීම හොඳ අදහසක් වනු ඇති බවයි; කවුද මෙහෙම කියන්නේ? සෑම රාත්‍රියකම ගණන් අධික වර්ගයක අයිස් ක්‍රීම් පයින්ට් එකක්ම අනුභව කරන කාන්තාවක්!

දැන් අපි මිතුරියන් දෙදෙනෙකු අතරේ දෙබසකට යොමුවෙමු.
ජෙනී: මගේ මාමා කියන්නේ මිනීමැරුමට වරද කාරයෝ වෙන සියලුමදෙනා මරණයට පත් කළ යුතුයි කියලයි. එතකොට තවදුරටත් කිසිවෙකු ඝාතනය කිරීමට වෙනත් කිසිවෙකුත් පෙළඹෙන එකක් නැහැ
සිල්වියා: ඔහොම කියන ඔබේ මාමා වරක් හිරේ සිටියේ නැද්ද? වරක් අපරාධකරුවෙකු වූ කෙනෙකුගේ මතයක් අපට විශ්වාස කළ හැකි යැයි මම හිතන්නේ නැහැ.
තර්ක කිරීමට මෙය නිවැරදි මාර්ගය නොවේ. යමෙකුට චරිත දෝෂ තිබිය හැකි නමුත් ඔහුගේ තර්කය තවමත් වලංගු විය හැකිය.
දැන් අපේ අවධානය යොමුවන්නේ වෙනත් තලයක නිදසුනකටයි:
පරිණාමය පිළිබඳ න්‍යාය වර්ධනය කළ චාල්ස් ඩාවින් ද පසෙහි සිටින පාංශු පණුවන් ගැන උනන්දු විය. 1800 ගණන්වල ජීවත්වූ මිනිසුන් හිතුවේ පස් පණුවන් නරක සත්ව විශේෂයක් යයි කියලායි. එහෙත් පස් පණුවන් පසට උපකාර වන බව පෙන්වීමට ඩාවින් පර්යේෂණ සිදු කළේය. ඩාවින්ගේ කාලයේ සිටි කෙනෙකු ඔහු(ඩාවින්) ගැන මෙසේ කියන්නට ඉඩ තිබුණි.
“ඩාවින් පස් පණුවන් හොඳයි කිව්වම අපි විශ්වාස කරන්න හොඳ නැහැ. වඳුරන්ට මිනිසුන් බවට පත්විය හැකි බවත් විශ්වාස කරන කෙනෙක්නේ ඩාවින් කියන්නේ!
මෙය අදාළ නොවන, ඇත්ත වශයෙන්ම ගතයුත්තක් නැති තර්කයක් වනු ඇත. මෙම තර්කය ඉදිරි පත් කරන අය මෙහි දී කරන්නේ ඩාවින්ගේ අනෙකුත් විශ්වාසයන්ට පහර දෙනවා මිස, පස් පණුවන් පළිබෝධකයන් නොවන බව පැවසීමට ඔහු තර්කානු කූලව ගෙන එන හේතු සාධක නොවේ. මෙම පුද්ගලයා පස් පණුවන් හොඳ යැයි පැවසීමට ඩාවින් දක්වන හේතු විමසා බැලිය යුතු අතර, ඔහු එකඟ නොවිය හැකි වෙනත් විශ්වාසයන් සැලකිල්ල යොමු කිරීමෙහි තේරුමක් නැත..
යමෙක් තම ප්‍රතිවාදියා සතුව නරක චේතනා ඇත යනුවෙන් චෝදනා කරන එල්ල කරන විටද Ad hominem දෝෂය හට ගනී.
ජෙනී: මගේ මාමා කියනවා රොබට් ඊ ලී හොඳ, අවංක පුද්ගලයෙක් කියලා.
සිල්වියා: ඔබේ මාමා ඇලබාමා පරපුරකින් එන කෙනෙක් නේද? ඇලබාමාව පිහිටා තියෙන්නේ දකුණේ නෙ. මම නම් හිතන්නෙ ඔයාගෙ මාමා දකුණෙ කෙනෙක් නිසා එයාගෙ තර්ක වලට ලොකු බරක් දෙන්න ඕනෙ නෑ කියලයි. ඔහු පැහැදිලිවම පක්ෂග්‍රාහී ය.
[* රොබට් එඩ්වඩ් ලී ඇමරිකානු සිවිල් යුද්ධයේදී කොන්ෆෙඩරේට් ජෙනරාල්වරයෙකු වූ අතර අවසානයේ ඔහු කොන්ෆෙඩරේට් ජනපද හමුදාවේ සමස්ත අණ දෙන නිලධාරියා ලෙස පත් කරන ලදී]
ජෙනීගේ මාමා පක්ෂග්‍රාහී විය හැකි නමුත් ඒ නිසා සිල්වියා ඔහුගේ මතය සම්පූර්ණයෙන්ම නොසලකා හැරිය යුතු නැත. පුද්ගලයෙකුගේ චරිතය හෝ චේතනාවන් ඔහුගේ තර්කවලට බලපෑම් කළ හැකිය, නමුත් මේ දේවල් ඔහුගේ තර්කවල ශක්තියට අනිවාර්යයෙන්ම බලපාන්නේ නැත.
Ad Hominem දෝෂයට හසු නොවන්නක්
කවුරු හරි කෙනෙක් ඇත්ත කියනවද කියලා විතරක් ප්‍රශ්න කරනකොට, එය ad hominem දෝෂයට හසු වන්නේ නැත. නිදසුනක් බලමු:
“මම හිතන්නේ නැහැ ස්මිත් මහතා අපරාධය සිදු වූ ස්ථානය පලාතකවත් නොසිටි බව කියන විට අපට ඔහුව විශ්වාස කරන්න පුළුවන් කියලා. ඔහු බොහෝ අවස්ථාවලදී බොරු කියන්නෙකු ලෙස ප්‍රසිද්ධ වී ඇත්තෙකි; මෙහිදීත් ඇත්ත ප්‍රකාශ නොකිරීමට ඔහුට නිසැකවම පෙලඹුමක් ඇත.
මේ කතාව කියන තැනැත්තා ස්මිත් මහතාට නරක පුරුද්දක් ඇතැයි කියමින් ස්මිත් මහතාගේ මතය අවමනට ලක් කිරීමට උත්සාහ කරන්නේ නැත. කතිකයා අපකීර්තියට ලක් කරන්නේ කරුණු දැක්වීමට — සත්‍ය ප්‍රකාශ කිරීමට ඇති, ස්මිත් මාතාගේ නොහැකියාවයි. වෙන විදිහට කියනවානම් ස්මිත් මහතා සත්‍ය ප්‍රකාශ කරන්නේ දැයි විශ්වාස කිරීමට බැරි බවයි.
The Fallacy Detective: Thirty-Eight Lessons on How to Recognize Bad Reasoning ( etc.) (z-lib.org) යන ග්‍රන්ථය ඇසුරෙනි