සිත් ඇදගන්නා ලෙස කතා කරන්නේ කෙසේද?

Posted by

‘සිත්ඇදගන්නා ලෙස කතා කරන්නේ කෙසේද?’යනුවෙන් විශේෂඥ ජුලියන් ට්‍රෙෂර් කළ ටෙඩ් කතාවකින් කලකට පෙර පළ කළ මේ අදහස් සිංහෙලන් ඉදිරිපත් කිරීමට මට සිතුනේ කතාවක් පවත්වන කථිකයෙකුගේ පමණක් නොව අපේ එදිනෙදා කතා විලාසය කෙසේ විය යුතුද යන්න පිළිබඳව එමගින් අපට ඉගෙන ගත හැකි බැවිනි.

සිත්ඇදගන්නා ලෙස කතා කරන්නේ කෙසේද?
ජූලියන් ට්‍රෙෂර්

අප හැමදෙනාමටම වාදනය කළ හැකි භාණ්ඩය තමයි මිනිස් කටහඬ. ලෝකයේ ඇති ඉතාමත්ම තෙදැති හඬ මිනිස් කටහඬයි. දරුණු කල කොලාහලයක් පටන් ගන්නත් ‘මං ඔයාට ආදරෙයි’ කියල කියන්නත් පුළුවන් මිනිස් කටහඬට පමණයි. එහෙත් බොහෝමයක් දෙනෙකුට තියෙන ප‍්‍රශ්නයක් තමයි ඒ අය කතා කරන කොට අනිත් උදවිය උනන්දුවෙන් කන්නොදීම. ඒකට හේතුව මොකක්ද? ආකර්ෂණීය ආකාරයට කතා කරන්නේ කෙසේද?
මං හිතන්නේ ආකර්ෂණීයව කතා කරන්න නම් මුලින්ම අපේ නරක ඇබ්බැහිකම් කිහිපයක්ම අතාරින්න අපට සිදුවෙනවා. කතා කිරීමේදී නොකළ යුතු දරුණු පාපයන් හතක් මං ලයිස්තු ගත කළා. මං කියැන්නේ නැහැ ඒක සම්පූර්ණ ලයිස්තුවක් කියලා. ඒත් මේ කියන සප්ත පාපයන් අප බොහෝ දෙනෙක් අතින් සිද්ද වෙන්න පුළුවන් දේවල්.

ඒ අතරින් පළමුවැනි පාපය කමයි ඕපාදූප කීම. නැත්නම් තමුන් ලඟ නොසිටින කෙනෙක් ගැන වැරදි කීම. අපි දන්නවා ඕපාදූප කියන තැනැත්තා අප අහලක පහලක නැත්න්ම අප ගැනත් ඕපාදූප කියන බව.

දෙවැනි පාපය අසන්නා විනිශ්චයට ලක් කරමින් කතා කිරීම. නැත්නම් අසන්නාගේ ආකල්පය කුමක්ද යන්න තමන් දැනටමත් දන්නා බව අඟවමින් කතාකිරීම. සාමාන්‍ය කතා බහේදී මේ පාපය කරන අය අපට බොහෝ විට හමු වෙනවා. එහෙත් ඔබට කතා කරන යමෙකු ඔබව විනිශ්චයට ලක්කරන ගමන්ම ඔබේ අවධානය බලාපොරොත්තු වුනාට ඔබ එය දෙන්නේ නැහැ.

තුන්වෙනි පාපය නිෂේධනාත්මක අසුභවාදී ආකල්පයෙන් කතා කිරීම. මගේම අම්මා ඇගේ ජීවිතයේ අවසාන කාලයේ මොනතරම් අසුභ ආකල්පයකින් කතා කළාද කිව්වොත් ඒ කතා අහන් ඉන්නත් අමාරුයි. මට මතකයි එක දවසක් මං කිව්වා ‘‘අද ඔක්තෝබර් පළමුවැනිදා’’ කියලා. එවිට ඇය ‘‘ඒක තමයි. මොනතරම් අවසනාවන්ත දෙයක්ද ඒක’’ කියා කිව්වා. ඒවගේ අසුභවාදී අන්දමට කතා කරන කොට කන්දෙන්න හරි අමාරුයි.

තවත් ආකාරයක අසුභවාදී දෙයක් තමයි හැමදෙයක් ගැනම අනුන්ට අවලාද කරමින් ආඩපාලි ස්වරූපයෙන් කතා කිරීම. ඒ වගේ කතාවලට කියන්නේ කන්කරච්චල්. ඒක තමයි හතරවෙනි පාපය.

පස්වෙනි පාපය නිතරම තමන්ගේ නිදහසට කරුණු කියමින් කරන සම්ප‍්‍රප්පලාප. සමහරක් අයගේ වැඩෙම අනුන්පිට වරද පටවමින් කතා කිරීම. ඒ වගේ අය තමන්ගේ වගකීම බාරගන්න කිසිසේත්ම සූදානම් නැහැ.

හයවෙනි පාපය තමයි අතින් දමා කතාකිරීම නැත්නම් අතිශයෝක්තියට නගා කීම. මේ වගේ කතාකරන උදවිය නැතිදේ ටිකක් හරි ඇති කරල කියන එක තමයි අවධානය දිනා ගැනීමේ හොඳම ක‍්‍රමය කියා හිතනවා. ඇත්තටම බැලූවොත් අතිශයෝක්තියයි බොරුවයි අතර ඒ තරම් ලොකු වෙනසක් නැහැ.

හත්වෙනි පාපය තමයි ආධානග්‍රාහී වීම. ඒ කියන්නේ ඇත්ත තත්වය මතිමතාන්තර සමග කළවම්කරමින් සිද්ධිමය කරුණු විකෘත කරමින් අසන්නා නොමග යැවෙන ආකාරයට කතා කිරීම. ඒ වගේ අය නිරාකූලව ඇතිතතු සහ මත එකිනෙකින් වෙන්කරමින් යමක් පහදා දෙන්න දන්නේ නැහැ. අනෙක තමුන්ගේ මතයට ගැලපෙන විදියට ඇති තතු වෙනස් කරන්නත් ඔවුන් පසුබට වෙන්නෙත් නැහැ.ඇතිතතු හංගාගෙන තමුන්ගේ මතයම හරියි කියා පුනපුනා කියන කෙනෙකුට කන් දෙන්න අමාරුයි.

බොරු කීම හැරෙන කොට ඕව තමයි කතා කිරීමේ දී නොකළ යුතු බරපතලම පාපයන් හත. මේ පාපයන්ගෙන් අපි වළකින්න ඕනෑ.

හොඳයි එතකොට කන්දීමට ප්‍රිය උපදවන ආකාරයට සාධනීය ලෙස කතාකරන්නේ කොහොමද? මා හිතන විදියට අනිත් අයගේ හිත්දිනාගන්න ආකාරයට කතා කරන්න මූලික කොන්දේසි හතරක් සම්පූර්ණ වෙන්න ඕනෑ.
පළමුවෙනි කොන්දේසිය අවංකව කතාකිරීම සහ කතාකරන්නේ අවංක බව අසා ඉන්නා අයට නිරායාසයෙන්ම වැටහීයාම. පැහැදිලිව, තැන්පත්ව, වැල්වටාරම් නැතිව, විශ්වසනීය ලෙස ඇත්ත කතා කිරීමයි අවංකව කතා කිරීම යන්නෙන් අදහස් කරන්නේ.

දෙවෙනි කොන්දේසිය කතාවේ නිර්ව්‍යාජ බව සහ පිළිගතහැකි බව. ඒ කියන්නේ කතා කරන පුද්ගලයා තමන් කියන දේ හරියටම දැනගෙන කියන බව අසන්නාට වැටෙෙන්න ඕනෑ. ඒ නිසා තමන් කියන දේ හොඳට හොයල හිතල බලල සැක හැර දැනගෙන කියන්න ඕනෑ. ඒ කියන්නේ තමන් කියන සත්‍ය තහවුරු කරන්නට තමන්ට හැකිවෙන්නට ඕනැ.

තුන්වෙනි කොන්දේසිය කතාකරන්නාගේ සෘජු බව. ඒ කියන්නේ කතාකරන තැනැත්තා කියනදේ අනුව කටයුතු කරන විශ්වාසදායක කෙනෙක් බව අසන්නන්ට හැඟීයාම.

හතරවෙනි කොන්දෙසිය අසන්නාට සෙනෙහස දැනෙන අන්දමට ප්‍රිය මනාපව කතා කිරීම. මෙතෙනේදි මං අදහස් කරන්නේ ආදරයෙන් කතා කරන එකම නෙවෙයි. යටිහතේ කුඩුකේඩු කමක් නැතිව යහපත් හැඟීමෙන් අසන්නා හා කතා කිරීම.

මේ කොන්දේසි අනුගමනය කළොත් අර කලින් කිවූ සප්ත පාපයන්ගෙන් වලකින්න පුලුවන්.

ඊළඟ වැදගත් දෙය තමයි කතාකරන විලාසය නැත්නම් කටහඬ හසුරුවන ආකාරය. අපේ කටහඬ අපූරු මෙවලම් මල්ලක්. ඒත් බොහෝ අය ඒ මෙවලම් මල්ලෙ තියෙන හැම මෙවලක්ම හරියට පාවිච්චි කරන්න පුරුදු වෙලා නැහැ. ඒ නිසා තරමක ආයාසයක් අරගෙන තමුන්ගේ කටහඬ හැසිරවීමේ අභ්‍යාස කිහිපයක් කිරීම ඔබෙ කටහඬ වැඩිදියුණු කර ගැනීමට ප්‍රයෝජනවත් වේවි. වෘත්තීය වේදිකා නළු නිළියෝ බොහෝ දෙනෙක් අභ්‍යාස කිරීමෙන් තම කටහඬ නිසිලෙස පාලනය කිරීමට ඉගෙනගෙන තිබෙනවා.

මෙතෙන්දි මං අදහස් කරන්නේ කෘත‍්‍රිම කටහඬක්, තොඳෙල් බවක් ඇතිකර ගැනීම නෙවෙයි. තාක්ෂණික නොවන ආකාරයකට කිව්වොත් ඔබටම පුළුවන් ඔබේ නියම කටහඬ එන්නේ කොතනින්ද කියලා හොයලා බලන්න. දැන් නාසික ස්වරයකින් කතාකරනවාට වැඩිය උගුරෙන් කතාකරන ස්වරය සෑහෙන්න වෙනස්. බොහොමයක් වෙලාවට අපෙ කටහඬ නිකුත් වෙන්නේ උගුරෙන් තමයි. ඒත් ඊට වඩා බරසාර කමක් දැනෙනවා උගුරටත් පහල පපුවෙන්ම කතා කරන කොට. එතකොට කෑගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇතැම් සමීක්ෂණ වලට අනුව ඡුන්දදායකයෝ වැඩිය කැමැති තැන්පත් හෘදයංගම හඬකින් කතාකරන දේශපාලඥයන්ට.

ඊළඟ වැදගත්දේ කටහඬ ස්වරගුණය නැත්නම් ධ්වනිය නිසිපරිදි පවත්වා ගැනීම. සමීක්ෂණ වලට අනුව බොහෝ දෙනෙක් කැමැති සාරවත් උණුසුම් ස්වරයකින් කතා කරන අයට. ඒත් මට එහෙම හඬක් නැහැ කියලා ලත වෙන්න ඕනෙ නැහැ. කටහඬත් අනෙක් බොහෝ දේවල් වගේම අභ්‍යාස කිරීමෙන් ප‍්‍රගුණ කරගන්න පුළුවන් දෙයක්.

වෘතීය කටහඬ පුහුණුකරුවෙකුගේ උපදෙස් අනුවහුස්ම ගන්නා ආකාරය පාලනය කිරීමෙන්, කතාකරන ඉරියව්ව වෙනස් කිරීමෙන් සහ ස්වර අභ්‍යාස කිරීමෙන් පුදුම හිතෙන ආකාරයට කටහඬ වැඩිදියුණු කරගන්න පුළුවන්.
තවත් වැදගත් දෙයක් තමයි කටහඬෙහි විලාසය. ඒකට කටහඬ තානය කියලත් කියන්න පුළුවන් හඬ විලාසයෙන් තමයි අපි කියන දේවල තේරුම ත්‍රීව්‍ර වෙන්නේ. නොවෙනස්ව එකම නාදයකින්, ඒක තානයකින් කතා කරන කෙකෙකුගේ කතාවකට කන්දී අපහසු දෙයක්.

තවත් කාරණයක් කතාවේ වේගය. කියන දේ උද්දීපනය කරන්න, ඒ පිළිබඳ අසන්නා උනන්දු කරන්න ඇතැම් විටෙක ඉක්මන් කතාවත් යමක් අවධාරණය කිරිමට නැවතිල්ලේ සෙමින් කතා කිරීමත් ප්‍රයෝජනවත්. අනෙක කතාකරන අතරින් පතර නිසි පරිදි නිශ්ශබ්දතාවය යොදා ගැනීමත් වැදගත්. කතාවේ හැම හිස්තැනක්ම හ්ම්! හාහ්! ඕහ්! ගගා පුරවන්න ඕනැ කමක් නැහැ.

අනෙක් කාරණය කටහඬ තාරතාවය. නැත්නම් අවශ්‍ය තේරුම දෙන අන්දමට වචන උච්චාවචනය හෙවත් උස්පහත් කරන ආකාරය. උදාහරණයකට ‘‘මගේ යතුර කොහේද?‘‘ කියන වැකිය හඬ තාරතාවය වෙනස් කිරීම අනුව එකිනෙකට වෙනස් හැඟීම් ඇතිවෙන විදියට කියන්න පුළුවන්.

අවසාන වශයෙන් වැදගත් දෙයක් තමයි ශබ්ද ත්‍රීව්‍රතාව. දිගටම උස්හඬකින් කතා කිරීම වැඩි පලක් ඇති දෙයක් නෙවෙයි. දිගින් දිගට මහා හයියෙන් කතා කිරීමෙන් අනිත් අය මත තමන්ගේ මතය ආරෝපණය කරන්න බැහැ.බොහෝවිට උස් හඬින් කතා කිරීමෙන් හැඟෙන්නේ කියන දේ ඇති වැදගත් කමට වඩා කතා කරන තැනැත්තා අසා සිටින අය බලාත්කාරයෙන් නම්මවා ගැනීමට තැත් කරන බවයි. තමන් කියන දේ පිළිබඳ අවධානය දිනා ගැනීමට හඬ වැඩි කිරීමත් හඬ බාල කිරීමත් උචිත විදියට යොදා ගන්න ඕනෑ.

ඒත් මේ සියල්ලම අදාළ වෙන්නේ ඔබට අනුන්ගේ අවධානය දිනා ගැනීමට තරම් වැදගත් යමක් පැවසීමට ඇති අවස්ථාවලදීයි. එය අන්‍යයන් අමතා කරන කථාවක් විය හැකියි. නැත්නම් සාකච්ඡාවකදි තම මතය ප‍්‍රකාශ කිරීමක් විය හැකියි. එහෙමත් නැත්නම් විවාහ යෝජනාවක් කරන අතිශයින් පුද්ගලික අවස්ථාවක් විය හැකියි. අවස්ථාව මොකක් වුනත් කතා කිරීමේදී අප මෙතෙක් විස්තර කළ මෙවලම් හරියට යොදා ගැනීම වැදගත්.

අනික කතාවක් පැවැත්වීමට පෙරනම් කටහඬ මුවහත් කර ගැනීම බොහොම පුයෝජනවත් දෙයක්. හොඳයි ඒක කරන එක් ආකාරයක් මා පෙන්වා දෙන්නම්. ඉස්සේල්ල ඔක්කෝම මොහොතකට හිඳගෙන ඉන්න ආසන වලින් නැගිටින්නකෝ. කතාවක් කිරීමට පෙර හඬ රත්කර ගැනීමට මා අනුගමනය කරන අභ්‍යාස හයක් කර පෙන්වීමටයි මා අදහස් කරන්නේ. මුලින්ම අත් දෙකම උස්සගෙන ගැඹූරට හුස්ම ඇදලා ආහ්හ්හ්හ්හ්හ්…. කියන ගමන් සුසුමු පිටකරන්න. බොහොම හොඳයි ඊළග අභ්‍යාසය දෙතොල් උද්දීපනය කිරීම. මුලින්ම හඬනගා බා! බා! බා! බා! බා! බා.....යනුවෙන් කිහිප වරක් හඬ නගා කියන්න. ඊළගට බර්ර්ර්ර්ර්ර්ර්…… යන්න හඬ නගන්න. හොඳයි දැන් ඔබේ දෙතොල් පණගැහී ඒවි. දැන් අපි දිව අවදි කරන අභ්‍යාසයක් කරමු. ඒකට තරමක් කට පළල් කර ලා! ලා! ලා! ලා! ලා! ලා…….. කියලා කිහිප වතාවක් කියන්න ඕනේ. ඊළඟට දිව රෝල් කරලා ර්ර්ර්ර්ර්ර්ර්ර්…. කියලා කියන්න. අන්තිමට හඬ පුහුණු කරවන්නන් සයිරනය කියල හඳුන්වන අභ්‍යාසය කරමු. ඒක වී… කියන ශබ්දයෙන් පටන් අරන් ආව්……. කියන ශබ්දයෙන් අවසන් කරන්න ඕනෙ. ඒ කියන්නෙ වී….ආව්…..වී.. ආව්… අන්න ඒ විදියට. වී…. කියන්නෙ උච්ච ශබ්දය ආව්…. කියන්නේ පහත් ශබ්දය. මීලඟ වතාවේ කතාවක් පවත්වන් පෙර ඔය අභ්‍යාස ටික කිහිප වරක් කර බලන්න.

අර කී සප්ත පාපයන්ගෙන් මිදී සවිඥානිකව ශබ්දය නිපදවීම තුළින් පරිසරයේ ඇති ගාල ගෝට්ටිය ඉක්මවා කන්දොස්කිරියාවක් නොවී අසන්නාගේ අවධානය දිනා ගැනීමට ඔබට පුළුවන්. කන්දොස් කිරියාවක් නොවීම යනු තමුන් කියන දේ අනුන්ට අවබෝධ වන ආකාරයට කතා කිරීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.