විද්‍යාත්මක ක්‍රමය

Posted by

විද්‍යාත්මක ක්‍රමය

අපි විද්‍යාත්මක ‘ක්‍රමය’ ගැන කතා කරන විට එයින් ගම්‍ය වන්නේ, විද්‍යාව ‘කිරීම’ සඳහ ඇත්තේ එක් මාර්ගයක් පමණයි යන්නය. එහෙත්, මෙය නිවැරදි නොවේ. විශ්වස්වභාව විද්‍යාඥයෝ(Cosmologists), තාරකා විද්‍යාත්මක නිරීකෂණ පැහැදිලි කරනු වස් නව මාදිලියේ න්‍යායන් වර්ධනය කරයති; වෛද්යවරු, නව ඖෂධයක හෝ එන්නතක කාර්යක්ෂමතාවය පරීක්ෂා කිරීමට සසම්භාවී පාලිත පරීක්ෂණ පවත්වති; රසායනඥයෝ සංයෝග ප්‍රතික්‍රියා කරන ආකාරය බැලීමට ඒවා, පරීක්ෂණ නල තුළ එකට මිශ්‍ර කරති ; දේශගුණ විද්‍යාඥයෝ  වායුගෝලය, සාගර, ගොඩබිම, ජෛවගෝලය සහ සූර්යයාගේ අන්තර්ක්‍රියා සහ හැසිරීම අනුකරණය කරන නවීන, සියුම් පරිගණක ආකෘති නිර්මාණය කරති ; මෙම ලැයිස්තුව කිසිසේත්ම සම්පූර්ණ එකක් නොවන නමුත් එය හරහා දිවෙන පොදු තේමාවක් තිබේ.

ඉහත ක්‍රියාකාරකම් සියල්ලටම ලෝකයේ යම් පැතිකඩක්  – අවකාශයේ සහ කාලයේ ස්වභාවය, පදාර්ථයේ ගුණ, මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය – ගැන කුතුහලයක් සහ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම පිණිස තව දුරටත් ඉගෙන ගැනීමට ඇති ආශාව ඇතුළත් බව කෙනෙකුට පැවසිය හැකිය.

එහෙත්, මෙය පහසු ලඝු කිරීමක් නොවේද? නිසැකවම, ඉතිහාසඥයෝ ද කුතුහලයෙන් සිටිති. ඔවුහු ද උපකල්පනයක් පරීක්ෂා කිරීමට හෝ  අතීතය ගැන කලින්  නොදන්නා සමහරක් කරුණක් අනාවරණය කර ගැනීමට සාක්ෂි සොයති.  එසේ නම් ඉතිහාසය, විද්යාවෙහි ශාඛාවක් ලෙස සැලකිය යුතු නැද්ද්ද?  පැහැදිලිවම, යමෙකු ලෝකය ගැන කුතුහලයෙන් සිටීමෙන්ම,  යමෙකු විද්‍යාත්මකව සිතන බවක් අදහස් නොවේ. අසත්‍යේක්ෂණය(falsifiability), පුනරාවර්තතාව(repeatability), සංශයතාවෙහි(uncertainty) වැදගත් කම, සහ වැරදි පිළිගැනීමේ වටිනාකම වැනි, විද්‍යාත්මක ක්‍රමය වෙනත් මතවාද වලින් වෙන්කර හඳුනාගත හැකි ලක්ෂණ ගණනාවක් තිබේ. (මේවා ගැන පසුව විස්තරාත්මකව සකච්ඡාකෙරේ).  එහෙත්, අපි දැනට, විද්‍යාත්මක ක්‍රමය සහ වෙනත් චින්තන ක්‍රම අතර පොදුවේ බෙදාහදා ගන්නා ලක්ෂණ කිහිපයක් කෙටියෙන් සලකා බලමු. මෙම චින්තන ක්‍රම නියම විද්‍යාව ලෙස අපි නිසැකවම පිළිනොගන්නට ඉඩ ඇතත්, ඒවා ගැන කෙටියෙන් සලකා බලන්නේ, විද්යාත්මක ක්රමයේ දැඩි අවශ්යතා සපුරා ලනු වස් මෙකී ලක්ෂණ කිසිම එකක් තනිකර ප්‍රමාණවත් නොවන බව දැක්වීමටයි.

විද්‍යාවේ හි දී, යමෙකුගේ කියා පෑමක්(claim) හෝ  උපන්‍යාසක්(hypothesis), එයට සහාය පිණිස අතිමහත් සාක්ෂි පවතින විට පවා,  ප්‍රශ්න කිරීම හා පරීක්ෂාකර බැලීම දිගටම කරගෙන යා යුතුය. මෙයට හේතුව,  විද්‍යාත්මක න්‍යායන් අස‍තෝක්ෂණය — ඒ කියන්නේ අසත්‍ය බව ඔප්පු කළ හැකි විය යුතු බැවිනි.  සම්භාව්‍ය උදාහරණයක් ඉදිරිපත් කන්නේ නම් සියලුම හංසයන් සුදු යැයි විද්‍යාත්මක න්‍යායක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය. වෙනස් වර්ණයක එක හංසයෙකු නිරීක්ෂණය කිරීමෙන් ඔබට එහි අසත්‍යය ඔප්පු කළ හැකි බැවින්  මෙම න්යාය අස‍තෝක්ෂණය කල හැකිවේ. ඉතින්, හංසයන් සුදු යැයි ඉදිරිපත් කළ න්‍යායට පටහැනි බවට සාක්ෂි හමු වුවහොත්, ඒ න්‍යාය වෙනස් කිරීම හෝ ඉවත දැමිම කළ යුතුය. කුමන්ත්‍රණ න්‍යායන්, නිවැරදි විද්‍යාව නොවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ සාක්‍ෂි කොතෙකුත් තිබුණත්, ඒවා(කුමන්ත්‍රණ න්‍යායන් ) ප්‍රවර්ධනය කරන අනුගමිකයන්ගේ අදහස් වෙනස් නොකරන හෙයිනි.

විද්‍යාත්මක න්‍යායක් ද පරීක්‍ෂාවට් ලක්(testable) කළ යුතු අතර ආනුභවික සාක්ෂි සහ දත්ත හමුවේ නොසලී පැවතිය් යුතුය. එනම් අපට විද්‍යාත්මක න්‍යායක් අනාවැකි කීමට සහ, පසුව එම අනාවැකි අත්හදා බැලීම් හෝ නිරීක්ෂණ වලදී ඉටු වේදැයි බලන්න භාවිතා කිරීමට හැකි විය යුතුය.  එනමුත්, පෙරත් කී පරිදි නැවතත් කිව යුත්තේ, මෙය තනිවම ප්රමාණවත් නොවේ. අනෙක් අතට, ජ්‍යෙතිෂයේ ද අනාවැකි පළවේ. ඒ අනුව  ජ්‍යොතිෂය සැබෑ විද්‍යාවක් බවට පත්වෙනවා ද? ඒ වාගේම, ජෝතිෂ්‍ය විසින් කරන ලද අනාවැකි සැබෑ වුණොත්? එවිට ඊට අනුමත කිරීමේ මුද්‍රාව ලබා දෙයිද? ඊට ප්‍රතිවිරුද්ධව, නිවැරදි ජ්‍යෝතිඃ ශාස්ත්‍රීය පුරෝකථනයක් යනු හුදු වාසනාවකට සඵලවන්නක් පමණකි, මන්ද කිසිම භෞතික යාන්ත්‍රණයකට එය පැහැදිලි කළ නොහැකිය. නිදසුනක් දක්වන්නේ නම්, ජ්යෝතිඃ ශාස්ත්රීය ලග්න සොයා ගන්නා ලද කාලයේ සිට, පෘථිවි අක්ෂය විස්ථාපනය වී ඇති හෙයින් අහසේ ද්ර්ශනය වෙනස් වී ඇත. ඉතින්, ඔබ ඉපදී ඇත්තේ ඔබ සිතා සිටි නැතිනම් ඔබට ලබා දී ඇති ලග්නය යටතේ නොවේ. වඩාත් වැදගත් වන්නේ තාරකාවල සහ ග්‍රහලෝකවල සැබෑ ස්වභාවය පිළිබඳ අපගේ නවීන තාරකා විද්‍යාත්මක අවබෝධය අපට කියා දෙන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රීය ලග්නවලට අර්ථයක් පැවරීමේ න්‍යායික පදනම නිෂ්ඵල බවයි.

විද්‍යාව ස්වයං නිවැරදි කිරීම, විද්‍යාත්මක ක්‍රමයේ නිතර අසන්නට ලැබෙන තවත් ලක්‍ෂණයකි. .එසේ නමුත් විද්‍යාව යනු ක්‍රියාවලියක් —  ලෝකය වෙත පිවිසීමේ සහ  ලෝකය දැකීමේ මගක් —  පමණක් වන බැවින්, විද්‍යාවටම යම් ආකාරයක (කිසියම් ප්‍රතිඵලයක් උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ගයක් හෝ) නියෝජිතධූරයක් ඇතැයි  මෙයින් ඇඟවෙන්නේ යැයි සිතීම වැරදිය. . ප්‍රකාශයෙන් ඇත්ත වශයෙන්ම අදහස් වන්නේ  ‘විද්යාඥයෝ එකිනෙකා නිවැරදි කර ගනිති’ යන්නයි. විද්යාව  සිදු කරනු ලබන්නේ මිනිසුන් විසිනි. ඉතින්, අප කවුරුත් දන්නා මිනිසුන් අතින් වැරදි සිදුවේ. විශේෂයෙන් ලෝකය සංකීර්ණ හා ව්‍යාකූල ස්ථානයක් නිසාවෙන් මිනිස් අපට වර්දින සුළුය. ඉතින්, අපි එකිනෙකාගේ අදහස් හා න්‍යායන් පරීක්ෂා කරන්නෙමු; අපි තර්ක කරන්නෙමු සහ සාකච්ඡා කරන්නෙමු; අපි එකිනෙකාගේ දත්ත අර්ථකථනය කරන්නෙමු, අපි සවන් දෙන්නෙමු, සොශෝධන සිදුකරන්නෙමු, විස්කෘත් කරන්නෙමු — එමෙන්ම, යම් අදසක් හෝ අත්හදාබැලීමක ප්‍රතිඵල දෝෂ සහිත යයි අනෙකුත් විද්‍යාඥයන් කල්පනා කරන්නේ නම් හෝ ඇතැම්විට අපටම කල්පනා වන්නේ නම්, එම අදහස හෝ ප්‍රතිඵල සම්පූර්නයෙන්ම බැහැර කරන්නෙමු.

වඩාත්ම වඩැදගත් වන්නේ, අප මෙය දකින්නේ ශක්තියක් ලෙස මිස දුර්වලකමක් ලෙස නොවේ, මන්ද අප වැරදි බව ඔප්පුවීම ගැන අප්‍රසාදයක් නොමැති හෙයිනි. ස්වභාවිකවම, අප ද අපේම න්යායන්  හෝ දත්තවල අපෙම අර්ථ නිරූපණයන් නිවැරදි වීම අපට ද අවශ්‍යයයි; නමුත් ඊට පටහැනිව ප්‍රබල සාක්ෂි තිබෙන විට අපි ඒවාට ඇලී නොසිටිමු.

යමක් ‘නියම’ විද්‍යාවද නැද්ද යන්න තීරණය කිරීමේදී, එය නිර්ණය කිරීම පිණිස  — විද්‍යාව සහ විද්‍යාව නොවන දේ අතර වෙනස හඳුනා ගැනීම සඳහා සලකුණු කිරීම සඳහා කොටු ආදී වශයෙන් — උපමාන නැතිනම් මිනුම් දඬු ලැයිස්තුවක්  ඇතැයි කිව නොහැකිය. මක්නිසාද යත්,

විද්‍යාත්මක ක්‍රමයේ නිර්ණායක එකක් හෝ කිහිපයක් පිළිපදින්නේ නැති උදාහරණ, විද්‍යාව පුරා  ඕනෑ තරම් විසිරී ඇත.  ඉන්, භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ උදාහරණ කිහිපයක් ගතහොත්, සියලු පදාර්ථ, ඉහළ මානයන්ගෙන් කම්පනය වෙන කුඩා තන්තුවලින් වලින් සමන්විත වන්නේය යන ගණිතමය අදහස — සුපිරි තන්තු වාදය(superstring theory) ‘නියම’ විද්‍යාව නොවේ: එය පරීක්ෂාවට ලක් කරන අන්දම අප (තවම) දන්නේ නැති අතර එහෙයින්, එය අසත්‍යේක්ෂණය කළ හැකි යයි අපට කියා හිටිය නොහැකි හෙයිනි. පුනරාවර්තතාව කළ නොහැකි නිසා මහා පිපුරුන් න්‍යාය (Big Bang theory) සහ විශ්වයේ ව්‍යාප්තිය ‘නියම’ විද්‍යාව නොවේයයි කියා පැත්තකට ඇද දැමිය හැකිද?

විද්‍යාවේ ව්‍යවසාය සහ අප විද්‍යාව කරන්නේ කෙසේද යන්න පිළිවෙළකට ඇසුරුම් කිරීමට නොහැකි තරම් පුළුල් වන අතර  ඉතිහාසය, කලාව, දේශපාලනය හෝ ආගම වැනි අනෙකුත් අන්වේෂණයන්ගෙන් වෙන් කොට සුළං ඇතුළු නොවන ලෙස මුද්‍රා තබා ඇති දෙයක් ලෙස නොසැලකුව මනාය.  ඒ වෙනුවට  විද්‍යාව සහ එහි ක්‍රමය   ජීවිතයේ වෙනත් අංශව්ල  යහපත සඳහා  යෙදවිය හැකි බලයක් ලෙස භාවිතා කළ හැක්කේ කෙසේද යන්න සෙවීම වටනේය.

ආධානග්‍රහය(dogma) මතුවීමෙන් ආරක්ෂා වීම උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී විද්‍යාවකට උපකාර කළ හැකිය;  ආධානග්‍රහය ඉස්මතුවීමෙන් යම් ක්ෂේත්‍රයක සිටින සමස්ත විද්‍යාඥයින් ප්‍රජාවක්, විසම්මුතික හඬවල් යටපත් කරන හෝ බැහැර කරන තරමට, ඒවා තවදුරටත් ප්‍රශ්න කිරීමකින් තොරව නිරපේක්ෂ ලෙස පිළිගන්නට පුළුවන. කෙසේ වෙතත්, ප්‍රවාදය සහ සම්මුතිය අතර වැදගත් වෙනසක් ඇත, මන්ද සමහර විට මේ දෙක ව්‍යාකූල විය හැකිය. ස්ථාපිත විද්‍යාත්මක අදහස් යම් දිනක වැඩිදියුණු කළ හැකි හෝ ප්‍රතිස්ථාපනය කළ හැකි වුවද, ඒවා පුළුල් ලෙස පිළිගැනීමට සහ විශ්වාසයට  පත්වීමේ අයිතිය උපයාගෙනඇත: මන්ද ඒවා මේ වන විට ඒවා මුහුණ පෑවාවූ  අසංඛ්‍යාත සහ විවිධ ප්‍රශ්න සහ පරීක්ෂණවලින් ගැලැවී, සමත් වී ඇති හෙයිනි.

Joy of Science by Jim Al-Khalili නම් ග්‍රන්ථය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.