තුර්කියේ සහ සිරියාවේ ගොඩනැගිලි ඕනෑවිටක භූමිකම්පාවලට ගොදුරු විය හැකි නමුත් යුද්ධය තත්වය වඩාත් නරක අතට හරවා ඇත.

භූමිකම්පාව සිරියාවේ Afrin අසල Jandaris නගරයේ ගොඩනැගිලි විනාශ කර ඇති අයුරු (Credit: Rami al-Sayed/AFP/Getty)
රික්ටර් මාපකයේ 7.8 ක විශාලත්වයේ භූමිකම්පාවක් ගිනිකොනදිග තුර්කියට සහ සිරියාවේ සමහර ප්‍රදේශවලට පෙබරවාරි 6 වැනි දින අලුයම ඇති විය. මේ වනවිට(පෙබරවාරි 15දා වන විට) පුද්ගලයන් 40,000කට අධික පිරිසකට පමණ සිය ජීවිත අහිමි වී ඇති අතර තවත් දහස් ගණනක් තුවාල ලබා ඇත. භූමිකම්පාවෙන් පැය 9 කට පමණ පසු රික්ටර් පරිමාණයේ 7.5 ක සිදුවීමක් මෙන්ම පසු කම්පන 200 කට වැඩි ප්‍රමාණයක් ද ඇති විය.
භූමිකම්පාව සහ එහි පසු කම්පන නිසා ගොඩනැගිලි සමතලා වී තිබේ. දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා කොන්ක්‍රීට් සුන්බුන් හාරා ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් යවිණ. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කලාපයේ භූ කම්පන ක්‍රියාකාරකම් සහ ඉදිරි දින කිහිපය තුළ ඇති විය හැකි දේ පිළිබඳව nature සඟරව පර්යේෂකයන් හතර දෙනෙකුගේ අදහස් විමසීය.

තුර්කිය සක්‍රීය භූමිකම්පා කලාපයක පවතී
උතුරු ඇනටෝලියානු විභේදය සහ නැගෙනහිර ඇනටෝලියානු විභේදය යන ප්‍රධාන විභේදය දෙකක් අතර තුර්කියේ වැඩි කොටසක් ඇනටෝලියානු තටිය මත පිහිටා ඇත. සිරියාව ඇතුළු අරාබිය රැගෙන යන භූකාරක තැටිය(tectonic plate) උතුරු දෙසට ගමන් කරමින් යුරේසියාවේ දකුණු මායිම සමඟ ගැටෙමින් බටහිර දෙසට තුර්කිය තෙරපමින් සිටින බව එක්සත් රාජධානියේ මිල්ටන් කේන්ස් හි විවෘත විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ ඩේවිඩ් රොතරි පවසයි. “තුර්කිය නැගෙනහිර ඇනටෝලියානු විභේදය දිගේ වසරකට සෙන්ටිමීටර 2 ක් පමණ බටහිර දෙසට ගමන් කරයි,” ඔහු තවදුරටත් පවසයි. “මෙම විභේදයේ දිගෙන් අඩක් දැන් භූමිකම්පා වලින් ගහන වී ඇත.”
ඉස්තාන්බුල් හි පිහිටි තුර්කි භූමිකම්පා පදනමේ භූ කම්පන විද්‍යාඥයෙකු සහ සම්බන්ධීකාරකයෙකු වන Seyhun Puskulcu පවසන්නේ තුර්කියේ මිනිසුන් භූමිකම්පාවලට ගොදුරු වීමේ අවදානම පිළිබඳව හොඳින් දන්නා බවයි. “මෙය පුදුමයක් නොවේ,” පසුගිය සතියේ Adana, Tarsus සහ Mersin නගරවල සහ බටහිර තුර්කියේ ප්‍රදේශවල සංචාරය කරමින්, භූමිකම්පා දැනුවත් කිරීම පිළිබඳ වැඩමුළු ඉදිරිපත් කරමින් සිටි Puskulcu පවසයි.
ප්‍රධාන භූමිකම්පාවේ අපිකේන්ද්‍රය(epicentre භූචලනයක කේන්ද්‍රයට ඉහළින් පොළව මත පිහිටි කේන්ද්‍රය) තුර්කියේ Gaziantep පළාතේ Nurdaği නගරයට කිලෝමීටර් 26ක් නැගෙනහිරින්, කිලෝමීටර් 17.9ක් ගැඹුරින් විය. 7.5 ක විශාලත්වයේ සිදුවීම සිදුවී ඇත්තේ Kahramanmaraş පළාතේ Ekinözü සිට කිලෝමීටර් 4 ක් ගිනිකොන දෙසින්ය.

දැනටමත් අවදානමට ලක්විය හැකි ගොඩනැගිලි යුද්ධය මගින් අස්ථාවර කරනු ලැබ ඇත
භූමිකම්පා වල දී මරණ බොහෝ විට සිදුවන්නේ ගඩොල් සහ වෙනත් පෙදරේරුමය ඉඳිකිරීම් සුන්බුන් වැටීමෙනි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව, භූමිකම්පාවෙන් විපතට පත් තුර්කියේ බොහෝ මිනිසුන් ජීවත් වන්නේ සෙලවීමකින් අතිශයින් හානි පැමිණීමට ඉඩ ඇති, ශක්තිමත් නොකළ ගඩොල් පෙදරේරු සහ නූස් කොන්ක්‍රීට් රාමු සහිත ව්‍යුහවල ය.
පසුගිය මාර්තුවේ, Soil Dynamics and Earthquake Engineering හි පලවූ අධ්යයනයක දී , අන්කාරා හි මැද පෙරදිග තාක්ෂණික විශ්ව විද්‍යාලයේ Arzu Arslan Kelam සහ ඇගේ සගයන් යෝජනා කළේ Gaziantep නගර මධ්‍යයට 6.5ක විශාලතවයක් භූමිකම්පාවකින් මධ්‍යම ප්‍රමාණයක සිට දරුණු මට්ටමක හානියක් සිදුවනු ඇති බවයි. මක්නිසාද යත් දැනට පවතින බොහෝ ගොඩනැගිලි, එකිනෙකට ඉතා සමීපව ඉදිකරන ලද නූස්, ගඩොල් ව්‍යුහයන් වන බැවිනි.

1999 දී, තුර්කියේ ඉස්මිට් සිට කිලෝමීටර් 11 ක් ගිනිකොන දෙසින් ඇති වූ රික්ටර් මාපකයේ 7.4 ක විශාලත්වයකින් යුතු භූමිකම්පාවකින් 17,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර 250,000 කට වැඩි පිරිසකට නිවාස අහිමි විය. මෙම ඛේදවාචකයෙන් පසුව, තුර්කි රජය නව ගොඩනැගිලි ඉඳිකිරීක් සංග්‍රහයක් සහ අනිවාර්ය භූමිකම්පා රක්ෂණ පද්ධතියක් හඳුන්වා දුන්නේය. කෙසේ වෙතත්, මෙවර භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ බොහෝ ගොඩනැගිලි 2000 ට පෙර ඉදිකරන ලද බව තුර්කියේ Boğaziçi විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරුවෙකු වන Mustafa Erdik පවසයි.
වසර 11කට වැඩි කාලයක් තිස්සේ පවතින ගැටුම් හේතුවෙන් ගොඩනැගිලි ප්‍රමිතීන් බලාත්මක කිරීමට නොහැකි වී ඇති සිරියාවේ තත්ත්වය වඩාත් අයහපත් බව කිව යුතුය. භූමිකම්පාව සිරියාවේ වයඹ දිග ප්‍රදේශවලට බලපෑ අතර Aleppo සහ Idlib හි ගොඩනැගිලි කඩා වැටී ඇත. සිරියාවේ, යුද්ධයෙන් හානි වූ සමහරක් ගොඩනැගිලි අඩු ගුණාත්මක ද්‍රව්‍ය හෝ “ලාබෙට ලබා ගත හැකි ඕනෑම් ද්‍රව්‍යවලින්” නැවත ගොඩනඟා ඇති බව David Rothery පෙන්වා දෙයි. “ඒවා ටිකක් වැඩි වියදමක් දරලා හදපු දේවල්වලට වඩා ඉක්මනින් කඩා වැටෙන්න ඇති. අපි තවම හොයාගෙන නැහැ, ”ඔහු වැඩිදුරටත් පවසයි.
ඊළඟට සිදුවන්නේ කුමක් ද ?
පර්යේෂකයන් පවසන්නේ මිනිසුන් තව තවත් භූ කම්පන සහ පසු කම්පන මෙන්ම අයහපත් අතට හැරෙන කාලගුණික තත්ත්වයන්ට මුහුණදීමට සූදානම් විය යුතු බවයි. ලන්ඩන යුනිවර්සිටි කොලේජ්යෙ, ආපදා සහ සෞඛ්‍යය අධ්‍යයනය කරන Ilan Kelman පවසන්නේ “ඊටත් වඩා හානියක් සිදු කරන ප්‍රබල පසු කම්පන සඳහා ඇති හැකියාව සති සහ මාස ගණනාවක් පවතිනු ඇත. “ කලාපය සඳහා කාලගුණ අනාවැකිය දක්වන්නේ හිමාංකයට වඩා පහත වැටේය යන්නයි. ඒ කියන්නේ සුන්බුන් අතර හිරවෙලා ඉන්න, බේරාගැනීමට අවස්ථාවක් තිබෙන්න පුළුවන් අය පවා තද ශීතලට අහුවෙලවෙලා මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ ආදී උපද්‍රව දිගටම පවතිනවා,” ඔහු වැඩිදුරටත් පවසයි.