සුළඟ පැමිණෙන්නේ කොහෙන්ද?
ප්‍රශ්නය අහන්නේ, ඉන්දියාවේ භෝපාල් හී 14 හැවිරිදි ශෝයා
පිළිතුරු දෙන්නේ Steven Sherwood (Professor of Atmospheric Sciences, Climate Change Research Centre, UNSW Sydney)
කෙටි පිළිතුර නම් සුළඟ හටගන්නේ සූර්යයා, අපේ ග්‍රහලෝකයේ සමහර කොටස් අනෙක් ඒවාට වඩා වැඩිපුර රත් කරන නිසා සහ මෙම අසමාන උණුසුම සුළඟක් ආරම්භ කිරීමට පටන් ගන්නා බැවිනි යන්නයි. ඒ කියන්නේ සුළං ශක්තිය ඇත්තටම සූර්ය ශක්තියක්!
සියලුම සුළං එකම ආකාරයකින් සෑදී ඇත.
පෘථිවියේ සුළං පද්ධති ගෝලීය පරිමාණයේ වෙළඳ සුළං සහ ජෙට් ප්‍රවාහවල සිට දේශීය මුහුදු සුළං දක්වා වෙනස් වේ, නමුත් ඒවා සියල්ල අවසානයේ රඳා පවතින්නේ පෘථිවිය සූර්යයා විසින් අසමාන ලෙස රත් වීම මත ය.
දිවා කාලයේ පොළව රත් වී ඉතා උණුසුම් වන විට එය, තාප සන්නයනය නම් ක්‍රියාවලියකින් එයට ඉහළින් ඇති වාතය රත් කරයි. මෙය විශාල පරිමාවක් අත්පත් කර ගැනීමට මග පාදමින් වාතය ප්‍රසාරණය වෙයි. “පරිපූර්ණ ගෑස් නීතිය”(ideal gas law”) යන දෙයින්, පරිමාව උෂ්ණත්වයට කෙළින්ම සමානුපාතිකව වැඩි වේ.
වෙනත් වචන වලින් කිවහොත්, රත් වූ වාතය ඝනත්වය අඩුය. මෙය, සෑම තැනකම ඇති වාතයට සිදුවුවහොත්, සුළඟක් නිර්මාණය නොවනු ඇත; මුළු වායු ස්ථරයම මදක් ඝනකම වනු පමණි.
කෙසේ වෙතත්, එය එහි වටපිටාවේ ස්ථානවලට නැතිව එක් ස්ථානයක වාතයට සිදු වුවහොත්, රත් වූ වාතය ඉහළ යනු ඇත. උණුසුම් වායු බැලූන වාතයේ පාවිඅය හැකි තත්ත්වයේ පැවතීමට ඉඩ සලසන මූලධර්මය මෙයයි: , කූඩය සහ එහි ඇතුළත සිටින මිනිසුන් ද ඇතුළුව බැලූනයේ ඇති වාතයේ සම්පූර්ණ බර, බැලූනයේ පිටත සීතල වාතයේ එකම පරිමාවේ බරට සමාන විය යුතුය.
බරක් හෝ රහැනක හෙවත් කඹයක ඇදීමක් ක් නොමැති නම්, බැලූනය සිසිල් වන තුරු වේගවත්ව ඉහළට ඇදේ.

උණුසුම් වායු බැලූන රත් වන විට සහ සිසිල් වන විට වාතය වෙනස් වන ඝනත්වයේ මූලධර්මය භාවිතා කරයි. Timur Garifov/Unsplash
උඩට ඇදෙන උණුසුම් වායු බැලූනයක් එය ඉතා කුඩා බැවින් කිසිදු සුළඟක් නිර්මාණය නොකරයි. නමුත් මුළු නගරයක් හෝ විශාල ප්‍රදේශයක් පුරා ඇති සියලුම වාතය උණුසුම් වූ විට සිදු වන දේ ගැන සිතන්න!
නගරයක හෝ ඊටත් විඅශාල ප්‍රදේසක රත් වූ වාතය මතුපිටින් ඉවතට නැඟී එන විට, පොළව ආසන්නයේ ඇති අනෙකුත වාතය එහි ස්ථානය ගැනීමට පැත්තකට ගලා යා යුතුය. මෙය සිදුවන ප්‍රදේශය විශාල වන තරමට එම වාතය ස්ථානගත කිරීමට තිරස් සුළඟ ශක්තිමත් විය යුතුය.

මෙම සංසිද්ධිය තමයි වෙරළ ආසන්නයේ දිවා කාලයේ අපට තරමක් දැඩි විය හැකි මුහුදු සුළං ලබා දෙයන්නේ; සිදුවන්නේ උණුසුම් වූ මහාද්වීපික වාතය ඉහළ යන විට සිසිල් සාගර වාතය ප්‍රතිස්ථාපනය වීමයි.
ඒ හා සමාන ක්රියාවලියක්, දින බොහෝ ගණනක් ගතවන විට, අපට මෝසම් ගෙන එයි. ඒ මන්දයත් ගිම්හානයේදී උණුසුම බලවත් වන අතර ශීත ඍතුවේ දී දුර්වල වන අතර ගිම්හානයේදී දැඩි උෂ්ණත්ව වෙනස්කම් සහ සුළං (සහ බොහෝ විට ශීත ඍතුවේ දී ප්රතිවිරුද්ධ ඒවා) ඇති කරයි.
ඊළඟට, මෙය පවතින සුළඟේ සෘතුමය මාරුවීම් වලට තුඩු දෙන අතර එය බොහෝ විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවේ ඉහළ කෙළවර ඇතුළු නිවර්තන කලාපවල උණුසුම් සමයේදී වැසි ගෙන ඒමට හේතුවෙයි.
ඉතා විශාල සුළං පද්ධති කිහිපයක් තිබේ
වායුගෝලයේ සාමාන්ය සංසරණය(general circulation of the atmosphere) පෘථිවියේ විශාලතම සුළං පද්ධති ලෙස හැඳින්වේ . ඒවාට ඇතුළත් වේ වෙළඳ සුළං හෝ නැගෙනහිර දෙසින් එන සුළං, එතකොටමධ්යම-අක්ෂාංශ බටහිර දෙසින් හමන සුළං (westerlies) සහ කුණාටු මුහුදු තීර(Roaring Forties).

මෙම විශාල සුළං පද්ධති සිදු වන්නේ නිවර්තන කලාපයට ධ්‍රැවවලට වඩා වැඩි හිරු ලැබෙන නිසා සහ (එබැවින්ම) වාතය බොහෝ උණුසුම් වන බැවිනි. එම උණුසුම් වාතය ස්වභාවිකව ඉහළ යාමට පටන් ගන්නා අතර ධ්‍රැව දෙසට ගලා යාමට අවශ්‍ය වෙයි. ධ්‍රැවීය වාතය නිවර්තන කලාපය වෙත බැසීමට අවශ්‍ය වේ.
ඇත්ත වශයෙන්ම, එවැනි දිගු ගමනක් සඳහා වාතයට බොහෝ කාලයක් (දින ගණනාවක්) ගත වේ. මේ අතර පෘථිවිය නිරන්තරයෙන් භ්රමණය වන හෙයින් සරල රේඛාවක ගමන් කිරීමට උත්සාහ කරන දේවල් ක්‍රමයෙන් හැරෙන බව පෙනේ. ඉතින්, ධ්‍රැව දෙසට ගලා යන සුළඟ ක්‍රමක්‍රමයෙන් නැගෙනහිර දෙසට හැරී මධ්‍යම අක්ෂාංශ බටහිර දෙසින් හමන සුළං බවට පත් වේ.
නිවර්තන කලාපය දෙසට ගමන් කරන පහත් මට්ටමේ සුළඟ නැගෙනහිර දෙසට හැරී වෙළඳ සුළං ලෙසද හඳුන්වනු ලබන පෙරදිග සුළං බවට පත් වේ. නැව් කපිතාන්වරු ශතවර්ෂ ගණනාවක් තිස්සේ සාගර තරණය කිරීමට මේවා භාවිතා කර ඇති නිසා මේ පෙරදිග සුළං වෙළඳ සුළං ලෙස හඳුන්වනු ලැබේ. ලබන මධ්‍යම අක්ෂාංශ බටහිර දෙසින් හමන සුළං, උස් උන්නතාංශයේදී ඉතා ප්‍රබල වන අතර සමහර ස්ථානවල පැයට කිලෝමීටර් 300 දක්වා වේගයකට ළඟා වේ!
අපගේ ග්රහලෝකයේ ඇති සියලුම සුළං වල අන්තර්ක්‍රියාකාරී දෘශ්‍යකරණයක් මෙතැනින් නරඹන්න
Curious Kids – Feb 23, 2023(The Conversation) හී පළ වී ඇති Where does wind come from? යන ලිපිය ඇසුරෙනි