පෘථිවියට කවදා හෝ චන්ද්‍රයා අහිමි වේවිද?

Posted by

චන්ද්‍රයා සෙමෙන් පෘතුවියෙන් ඈතට යමින් ඇති නමුත් සූර්යයා රතු යෝධයෙකු බවට පත් වී පෘථිවියත්, චන්ද්‍රයාත් විනාශ කිරීමට පෙර අපට සඳ අහිමි වේවිද?

පෘථිවියට මතු අනාගතයේ කවදා හෝ චන්ද්‍රයා අහිමි වේවිද?

පෘථිවිය වටා කක්ෂගතව චන්ද්‍රයාගේ ගමන කෙතරම් සුලබ දර්ශනයක් ද කීවොත්,  ශිෂ්ටාචාරයන් විසින් වසර දහස් ගණනක් තිස්සේ චන්ද්‍ර චලිතය මත මාසය පදනම් කරගනු ලැබ ඇත. කෙසේ වෙතත්, සඳ ඇත්ත වශයෙන්ම පෘථිවියෙන්  සෙමින් ඉවතට ගමන් කරන බව නම් සත්‍යයකි. එසේ නම් යම් අවස්ථාවක පෘථිවියට චන්ද්‍රයා අහිමි වේවිද?

සඳ පෘථිවියෙන් ඉවතට  යන වේගය, ඇපලෝ මෙහෙයුම් අතරතුර නාසා ආයතනය චන්ද්‍රයා මත ස්ථාපිත කළ පරාවර්තක පුවරු ආධාරයෙන්  විද්‍යාඥයන් විසින් නිර්ණය කරන ලදී.  වසර 50කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන් විසින් පෘථිවියේ සිට ලේසර් කිරණ මෙම දර්පණ වෙත එල්ල කර පරාවර්තනය වූ ස්පන්දන අනාවරණය කර ගැනීමට කොපමණ කාලයක් ගත වූවාද යන්න මැන බලන ලදී. නාසා ආයතනයට අනුව, ආලෝකයේ වේගය භාවිතා කරමින්, විද්‍යාඥයන් ඇස්තමේන්තු කළේ සඳ,  වසරකට අඟල් 1.5 (සෙන්ටිමීටර 3.8) පමණ වේගයෙන්, එනම් දළ වශයෙන් අතේ ඇඟිලි නිය වැඩෙන වේගයෙන්, පෘථිවියෙන් ඉවතට යන බවයි.

සූර්යයා අපව විනාශ කිරීමට පෙර පෘථිවියට එහි චන්ද්‍රයා අහිමි වේවිද? (අනුග්‍රහය: Jeremy Horner)

චන්ද්‍රයා පෘථිවියෙන් ඉවතට ගමන් කරන්නේ, චන්ද්‍රයා හා පෘථිවිය එකිනෙකා මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලපෑම් නිසාය. චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවියේ සාගර ඒ දෙසට නෙරා ඒමට නැතිනම් ඉප්ලීමට බල කෙරෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍ර වඩදිය බාදිය ඇති වන බව NASA පවසයි. පෘථිවි ගුරුත්වාකර්ෂණය සඳ මත සමාන උදම් බලපෑම් ඇති කරන්නේ අපගේ ස්වාභාවික චන්ද්‍රිකාව තරමක් පාපන්දුවක හැඩැති බවට පත්කරමිනි.

පෘථිවියේ වඩදිය බාදිය නෙරුම නිසා ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය මගින්  සඳ මත ඇදීමක් ඇතිකරයි.  මේ අතර, චන්ද්‍ර වඩදිය නිසා සාගර විස්ථාපනය වන අතර, පෘථිවි පෘෂ්ඨය මත ඝර්ෂණය ඇති කරයි.  එමඟින් අපේ ග්‍රහලෝකයේ භ්‍රමණය මන්දගාමී වන බව සැන්ටා කෲස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ මැඩලින් බෲම් (Madelyn Broome),yen Live Science වෙත පැවසීය. මීට වසර බිලියන 4.5 කට පමණ පෙර, “මුලින්ම චන්ද්‍රයා සෑදූණු විට, දිනයක කාලය පැය පහක් පමණ තරම් වන සේ පෘථිවි භ්‍රමණ වේගය සැලකිය යුතු ලෙස වේගවත් වන්නට ඇතැයි”,  බෲම් පැවසීය.

මේ සියලු බලවේග ක්‍රියා කරන්නේ චන්ද්‍රයා පෘථිවියෙන් වඩා ඈතට තල්ලු කිරීමටයි.

“පෘථිවිය සහ චන්ද්‍රයා එකම ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියා පද්ධතියේ කොටසක් වන බැවින්, දෙක අතර පූර්ණ කෝණික ගම්‍යතාවය(angular momentum )  සංරක්ෂණය කළ යුතුය – එලෙසම පැවතිය යුතුය -” යි බෲම් පැහැදිලි කරයි. “කෝණික ගම්‍යතාව, භ්‍රමණය වන දෙයක අඩංගු ශක්තිය පහදිලිකරයි.  වේගයෙන් භ්‍රමණය වන තරමට  කෝණික ගම්‍යතාව වැඩි වේ.  භ්‍රමණය වන වේගය අඩු වන තරමට කෝණික ගම්‍යතාව අඩු වේ.”

කෙසේ වෙතත්, “කෝණික ගම්‍යතාවයට බලපාන්නේ කැරකීමේ වේගය පමණක් නොවේ,” බෲම් තවදුරටත් පෙන්වාදෙයි,. “පද්ධතියේ මධ්‍යයේ සිට  කොපමණ දුරින් සිටිනවාද යන්නද වැදගත් වේ. මධ්‍යයේ සිට දුරින් යන්නෙන්  අදහස් වන්නේ පද්ධතියේ කෝණික ගම්‍යතාව ඉහළ යන බවයි.  මධ්‍යයට සමීප යන්නෙන් අදහස් වන්නේ  කෝණික ගම්‍යතාව පහත වැටෙන බවයි.”

පෘථිවිය සහ චන්ද්‍රයා සම්බන්ධයෙන් ගත් කල, “පෘථිවි භ්‍රමණය මන්දගාමී වන විට, කෝණික ගම්‍යතාවය සංරක්ෂණය කිරීම සඳහා, යමකින් පද්ධතියේ කෝණික ගම්‍යතාවය වැඩි කළ යුතුය,” බෲම් පහැදිලිකරයි, “කෝණික ගම්‍යතාවය වැඩි කරන්නේ කුමකින් ද? චන්ද්‍රයා වැනි කක්ෂගත වස්තුවක් තවත් ඈතට යාමෙනි.”

ඇරිසෝනා විශ්ව විද්‍යාලයට අනුව  අපෙ ග්‍රහලෝකයේ  චන්ද්‍රයා සෑදී ඇත්තේ අලුත බිහි වූ  පෘථිවිය සහ අඟහරු ප්‍රමාණයේ (අභ්‍යවකාශ) වස්තුවක් එකට ඝට්ටනය වීමෙන් හට ගත් ඇති වූ සුන්බුන් වලින් විය හැකිය. එංගලන්තයේ ග්‍රීන්විච්හි රාජකීය නිරීක්ෂණාගාරයට අනුව පෘථිවියේ සිට සැතපුම් 238,855 (කිලෝමීටර් 384,400) පමණ වන වර්තමාන සාමාන්‍ය දුරට චන්ද්‍රයා ඇද ගැනීමට උදම් බලවේග උපකාර වී ඇත.

උදම් බලපෑම්  චන්ද්‍රයා, එහි අක්ෂය මත භ්‍රමණය වන වේගය මන්දගාමී කිරීමට ද හේතුවෙයි, එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය සමඟ “උදමව සිරවීමකට”(“tidally locking”)  ලක් වෙයි – එනම් සෑම විටම අපගේ ග්‍රහලෝකයට චන්ද්‍රයාගේ එකම මුහුණතක් දර්ශනය වීමයි. මෙම බලවේග පෘථිවිය කැරකෙන වේගය ද අඩු කරයි. වසර බිලියන 50ක පමණ කාලයක් යද්දී පෘථිවියේ මන්දගාමි භ්‍රමණය නිසා එය සඳ සමඟ උදම් සිරවීමට ලක් වනු ඇති අතර එමඟින් පෘථිවිය සඳට එහි එක් පැත්තක් පමණක් ස්ථිරව පෙන්වනු ඇති බව විස්කොන්සින්-මිල්වෞකි (Wisconsin-Milwaukee) විශ්ව විද්‍යාලයේ මැන්ෆ්‍රඩ් ඔල්සන් ග්‍රහලෝකාගාරයේ(Manfred Olson Planetarium) අධ්‍යක්ෂ ජීන් ක්‍රයිටන්(Jean Creighton) Live Science වෙත පැවසීය.

මෙම අවස්ථාවේදී චන්ද්‍රයා සහ පෘථිවිය එකිනෙකින් ඈත් වීම නවතිනු ඇති බව Middle Tennessee State University හි තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය Eric Klumpe, Live Science වෙත කියා සිටියේය.

The Sun will turn into a Red Giant

කෙසේ වෙතත්, මෙතැන් සිට වසර බිලියන 5 කට පමණ පසු, සූර්යයා මිය යාමට පටන් ගන්නා විට, එය රතු යෝධ තාරකාවක් බවට පත් වනු ඇති අතර, “එවිට පෘථිවි-චන්ද්‍ර පද්ධතිය කඩාකප්පල්  විනාශ වි යනු ඇත” යනුවෙන් උතුරු ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව සහ ග්‍රහලෝක විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානී ඩේවිඩ් ට්‍රිලින්ග් (David Trilling), Live Science වෙත පැවසීය.

වසර බිලියන 5කින් පමණ පසුවන විට චන්ද්‍රයා, වර්තමානයේ  පෘථිවියෙන් ඉවතට ගමන් කරන වේගයෙන්  පෘථිවියෙන්  ඈත් වන්නේ නම් එය(පෘථිවිය), රතු යෝධයෙකු බවට පත්වන සූර්යයා විසින් පරිභෝජනය කරනු ලබන විට චන්ද්‍රයා තවත් සැතපුම් 117,000 (කිලෝමීටර් 189,000) පමණ දුරකට ගමන් කර තිබෙනු ඇතැයි බෲම් කියයි.

සමස්තයක් වශයෙන් ගත් කල, චන්ද්‍රයා පෘථිවිය හැර නොයනු ඇතිවා සේම, පෘථිවිය චන්ද්‍රයාගෙන් ඈත් නොවනු ඇත; අනෙක් අතට. ඒ වෙනුවට, සූර්යයා ඒ දෙකම ‘මකා දමයි’.

Live Scienceහී පළ වී ඇති Will Earth ever lose its moon? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.