විද්‍යාඥයන්ගේ අනතුරු හැඟවීම: 2100 වන විට ලොවෙන් පහෙන් පංගුවකට ජීවත්වන්නට සිදුවන්නේ අනතුරුදායක උණුසුම් මට්ටමකය
පැරිස් සම්මුතිය යටතේ ජාතීන් තම ප්‍රතිඥාවන් ඉටු කළත්, ගෝලීය උණුසුම වත්මන් වේගයේ දිගටම පැවතුනහොත් ලොව සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට ශතවර්ෂයේ අවසානය වන විට භයානක උණුසුම් තත්වයන් යටතේ ජීවත් වන්නට සිදු විය හැකි බව විද්‍යාඥයෝ (සමපදස්ථයන්ගේ සමීක්ෂණයට ලක් වූ) නව අධ්‍යයනයකින් අනතුරු අඟවති. ගෝලීය කාබන් විමෝචනය පෙර නොවූ විරූ මට්ටම්වලට අඛණ්ඩව ඉහළ යන බැවින් වේගවත් වන දේශගුණික අර්බුදයේ දැඩි මානව සහ සමාජ පිරිවැය පෙන්වා දෙන්නාවූ , මෑතක ප්‍රකාශයට පත් කරන ලද නවතම පර්යේෂණ එයයි.
Nature Sustainability සඟරාවේ සඳුදා ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යනයන වාර්තාවෙන් ඇස්තමේන්තු කර ඇත්තේ පෘථිවි ජනගහනය අවම වශයෙන් බිලියන 9.5 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන 2070 තරම් සමීප කාලයක සිට පටන්ගෙන, බිලියන 2 ක පමණ ජනතාවකට සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 84 හෝ ඊට වැඩි වනු ඇති බවයි. බොහෝ මිනිසුන් ජීවත් වන්නේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 55 ත් 80 ත් අතර පරාසයක පවතින “මානව මිතුරු දේශගුණික නිකේතනයකය.” පර්යේෂකයන් පවසන පරිදි, බොහෝ පුද්ගලයින්ට කලාපීය උණුසුමෙහි විශාල නැගීමක් අත්විඳිම පෙර නොදැනුණු විරූ දෙයක් වනු ඇත.

අංශක 84ක් හෝ ඊට වැඩි උෂ්ණත්වයක් වසර සඳහා මධ්‍යස්ථ මට්ටම බවට පත්වන එවැනි උෂ්ණත්ව ප්‍රවේශ ලක්ෂ්‍යයක්, වායුසමීකරණයක් හෝ සිසිලසක් ලබාගැනීමේ වෙනත් ක්‍රමයක් නොමැති ඕනෑම කෙනෙකුට ඉතා අනතුරුදායක විය හැකි බව අධ්‍යයනයේ කතුවරු ද සඳහන් කරති. ඔවුන්ගේ ඇස්තමේන්තුවට අනුව, උණුසුමෙන් දැඩි ලෙස පීඩාවට පත්වන සමහර ජාතීන් ලෝකයේ දුප්පත්ම ප්‍රජාවන්ය; ඔවුනට උණුසුමෙන් ගැලවීමට වායුසමීකරණය සාමාන්‍යයෙන් විකල්පයක් නොවේ.
ඔවුන් දනට සිටින ආරක්ෂිත දේශගුණික තත්ත්වයෙන් ඉවත්වන්නට සිදු වී භයානක උෂ්ණත්වය තත්වයන්ට මුහුණු දීමට සිදු විය හැකි යයි ඇස්තමේන්තුගත බිලියන 2 ක ජනතාවගෙන් මිලියන 600 ක් ඉන්දියාවේ ද මිලියන 300 ක් නයිජීරියාවේ ද මිලියන 100 ක් ඉන්දුනීසියාවේ ද සිටිනු ඇති බව අධ්‍යයනයෙන් හෙළි විය.
“බලපෑමට ලක්වන පුද්ගලයින් අපේ මේ ග්‍රහලෝකයේ සිටින දුප්පත්ම ජනතාවයි,” එක්සෙටර් හි ගෝලීය පද්ධති ආයතනයේ අධ්‍යක්ෂ සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ටිම් ලෙන්ටන් Forbes වෙත පැවසීය. “ඉහළ උෂ්ණත්වවලදී, ජීවිතය දරාගත නොහැකි වන අතර එය ජලය, කෘෂිකර්මාන්තය සහ ආහාර කෙරෙහි බලපායි. සැඟවී හෝ වෙනත් එවන් ක්‍රමයකින් දේශගුණික විපර්යාසවලින් ඔබට ගැලවිය නොහැක. ජාතීන් අතර ප්‍රතික්ෂේප කළ නොහැකි අන්තර් සම්බන්ධතාවයක් ඇත.
අධ්‍යයනයේ වඩාත්ම අදාළ සොයාගැනීම් අතර, පැරිස් ගිවිසුමේ වඩාත්ම අභිලාෂකාමී ඉලක්කය වන, ගෝලීය සාමාන්‍ය උනුසුම් වීම පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5 කට සීමා කිරීමම ලෝකයට ඇති කරන දැඩි වෙනස දැක්විය හැකියි. විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ ගෝලීය දේශගුණ සම්මුතියේ වර්තමාන ප්‍රතිඥාව යටතේ ද, 2100 වන විට සෙල්සියස් අංශක 2.7කින් පමණ උණුසුම් වීම දෙසට ලෝකය තවමත් ගමන් කරමින් සිටින බවයි. කෙසේවෙතත්, සාමාන්‍ය උනුසුම් වීම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීම සඳහා විමෝචන සැලකිය යුතු ලෙස අඩු කළහොත්, බිලියන 2 වෙනුවට, මිලියන 400ක් පමණක් අපහසුවට පත් වනු ඇතැයි සඳුදා පළ කරන ලද මෙම නව අධ්‍යනය පෙන්වා දෙයි.

සඳුදා අධ්‍යයනය පළ කෙරුණේ එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද ප්‍රධාන වාර්තාවකට මදක් පසුව වන අතර, ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ ප්‍රදේශවල තාපය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යා හැකි බවට ප්‍රධාන වාර්තාව අනතුරු අඟවයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, එල් නිනෝ ලෙස හැඳින්වෙන දේශගුණික රටාව සමඟ ඒකාබද්ධව, තාපය බොහෝ දුරට මෙහෙයවනු ඇති බවත්, ඉදිරි වසර පහ තුළ නිසැකවම වාර්තා වී ඇති උණුසුම්ම පස් අවුරුදු කාලය වනු ඇති බවත් වාර්තාවේ කතුවරු කියා සිටිති.
“මෙය සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ පරිසරය යන අංශ සඳහා බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇත,” ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහලේකම් Petteri Taalas, නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසීය. “අපි සූදානම්ව සිටිය යුතුයි.”

දේශගුණ විද්‍යාඥයින් පසුගිය දිනවල අනතුරු අඟවා ඇත්තේ අධික උණුසුමක් ගැන පමණක් නොවේ.
සඳුදා, ලෝක කාලගුණ විද්යා සංවිධානය තවත් වාර්තාවක් නිකුත් කළේය. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කිරීම, (ස්වභාවික විපත් වලින් සිදුවන) ජීවිත හානි අවම කිරීමට උපකාරී වී ඇති නමුත්, ස්වභාවික විපත්වල ආර්ථික හානිය අඛණ්ඩව ඉහළ යන බව එම වාර්තාව මගින් සොයා ගන්නා ලදී. 1970 සහ 2021 අතර ගෝලීය වශයෙන් ආන්තික කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත සිදුවීම් 12,000 කට ආසන්න සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර ඇති අතර එමඟින් මිලියන 2 කට වඩා මිනිසුන් මිය ගොස් ඩොලර් ට්‍රිලියන 4.3 ක් වටිනා ආර්ථික හානියක් සිදු වී යයි එම වාර්තාවේ දැක්වේ.
දේශගුණික විපර්යාස දැනටමත්, දුප්පතුන් වෙසෙන කලාපවලට පමණක් නොව ලෝකයේ සෑම ප්‍රදේශයකටම බලපායි. පෙර දක්වන ලද මූල්‍ය හානියෙන් එක්සත් ජනපදයේ පමණක් ඩොලර් ට්‍රිලියන 1.7ක පමණ හානියක් සිදුව ඇත්තේය.
නව අධ්‍යයනයන් සහ වාර්තා, බොහෝ ආකාරවලින්, පෙන්වා දෙන්නේ බොහෝ අයට දැනටමත් හුරුපුරුදු යථාර්ථයක්මය. මේ සතියේ, ඉන්දියාවේ පුළුල් කලාප, අධික උෂ්ණත්වය යටතේ දැඩි පීඩාවට පත්ව ඇත; සමහර ස්ථාන සඳුදා ෆැරන්හයිට් අංශක 113 ක් තරම් ඉහළ උෂ්ණත්වයකට ළඟා විය. සති අන්තයේ, කැනඩාවේ ඇවිළෙන ලැව්ගිනි, දකුණින් එක්සත් ජනපදයට දිගටම දුමාර යැවීම සිදු වූයේ, කොලරාඩෝ සහ මොන්ටානාහි නිලධාරීන් වායු තත්ත්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පොළඹවමිනි. ය්ජවද, පසුගිය සතියේ අධික වර්ෂාපතනයකින් ඉතාලියේ නගර 43ක් ජලයෙන් යටවිය; නාය යෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගිය අතර මාර්ග සිය ගණනක් විනාශ විය.
Inside Climate News හී පළ වූ A Fifth of the World Could Live With Dangerous Heat by 2100, New Study Warns යන ලිපිය අසුරෙනි