සියලුම සමනලුන් පරිණාමය වූයේ වසර මිලියන 100 කට පෙර උතුරු ඇමරිකාවේ සිටි පෞරාණික සලබයන්ගෙනි

Posted by

සියලුම සමනලුන් පරිණාමය වූයේ වසර මිලියන 100 කට පෙර උතුරු ඇමරිකාවේ සිටි පෞරාණික සලබයන්ගෙනි

විද්‍යාඥයන් වෙහෙස මහන්සි වී ලොව විශාලතම සමනල ජීවන වෘක්ෂය නිර්මාණය කර ඇති අතර මුල්ම සමනලුන් වසර මිලියන 100 කට පෙර වර්තමාන මධ්‍යම සහ උතුරු ඇමරිකාවේ දී පරිණාමය වූ බව සොයා ගෙන ඇත.

 එම අවස්ථාවේදී, (ත්‍රියාසික භූ යුගයට පෙර තනි මහාද්වීපයක් හැටියට එකට එක්වී තිබුනේ යයි කියනු ලබන භූමි ස්කන්ධය වන) සුපිරි මහාද්වීපය හෙවත් පැන්ජියාව කැඩී යාමේ ක්‍රියාදාමය ආරම්භව තිබූ අතර, උතුරු ඇමරිකාව නැගෙනහිර සහ බටහිර වෙන් කරන මුහුදු මාර්ගයකින් දෙකට බෙදී ගියේය. සමනලුන් ආරම්භ වූයේ මෙම මහාද්වීපික කුට්ටියේ බටහිර පැත්තේ ය.

දැන් ඇස්තමේන්තු කර ඇති අන්දමට සමනලුන් විශේෂ 20,000 ක්  දක්නට ලැබේතැයි අදහස් කරන අතර  ඔවුහු ඇන්ටාක්ටිකාව හැර අනික් සෑම මහාද්වීපයකම සිටිති.

සමනලුන් බිහි වූයේ කුමණ වකවානුවක දැයි විද්යාඥයන් දැන සිටියත්  සමනලුන් මතු වූ කලාපය සහ ඔවුන්ගේ මුල්ම ආහාරය විද්යාඥයෝ තවමත් අවිනිශ්චිත තත්ත්වයෙන් පසුවෙති.

ෆ්ලොරිඩා ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ලෙපිඩොප්ටෙරා (සමනලුන් සහ සලබයන් අතුළත් ගෝත්‍රය – lepidoptera) සංරක්ෂහ, අකිතෝ කවහාරා(Akito Kawahara) ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායම  පිළිගත් ගණවලින්(Genuses) 92% නියෝජනය කරමින් රටවල් 90 කින් සමනල විශේෂ(species) 2,300 කට ආසන්න සංඛ්‍යාවකින් ජාන 391 ක් අනුඅනුක්‍රමයෙන්(sequencing) නව සමනල ජීව වෘක්ෂයක් ඉදිකර ඇත.

බහු මූලාශ්‍රවලින් සපයා ගත් දත්ත පර්යේෂකයෝ, කාටත් ලබා ගත හැකි තනි දත්ත ගබඩාවක් ලෙස සම්පාදනය කළහ. ඔවුන්ගේ ජීවන වෘක්ෂයේ අතු බෙදීම් පොසිල මගින් ප්‍රදර්ශනය කරන ලද අතු බෙදීමේ කාල සීමාවට ගැළපෙන බව සහතික කර ගැනීම සඳහා ඔවුහු දුර්ලභ සමනල පොසිල 11 ක් ප්‍රමිතියක් ලෙස භාවිතා කළහ. “එය මා මෙතෙක් සහභාගී වූ දුෂ්කරම අධ්‍යයනය වන අතර එය සම්පූර්ණ කිරීමට ලොව පුරා සිටින මිනිසුන්ගෙන් විශාල උත්සාහයක් වුවමනා විය” යනුවෙන් කවහාරා ප්රකාශයක් නිකුත් කරමින් පවසයි.

අධ්‍යයනයේ සොයාගැනීම් මැයි 15 දින Nature Ecology & Evolution සඟරාවේ පළ විය. වසර මිලියන 101.4 කට පමණ පෙර නිශාචර ශාක භක්ෂක සලබයන්ගේ මුතුන් මිත්තන්ගෙන් සමනලුන්  ඉස්මතු වූ බව පෙන්නුම් කරයි. මෙය මුල්ම සමනලුන්ගේ ඉස්මතුවීම,  මෙසෝසොයික යුගයේ අවසාන සමය වන ක්‍රිටේසිය(Cretaceous) යුගයේ මැද කාලවකවානුවක තබයි; එනම් ඩයිනෝසෝරයන්ගේ සමකාලීනයන් බවට පත් කරයි.

ජීවයේ සමනල ගස වසර මිලියන 100 කට පෙර උතුරු ඇමරිකාව දක්වා දිව යයි. (පින්තූර ය: Kawahara et al)

පරිණාමය වීමෙන් පසුව, සමනලුන් වර්තමාන දකුණු ඇමරිකාවට ව්‍යාප්ත විය. සමහරු ඇන්ටාක්ටිකාවට සංක්‍රමණය වූ අතර ඇන්ටාක්ටිකාව එවකට වඩා උණුසුම් ව එමෙන්ම ඒවනවිට ද ඕස්ට්‍රේලියාවට සම්බන්ධව පැවතිණ. වසර මිලියන 85 කට පමණ පෙර ආරම්භ වූ ක්‍රියාවලියක් මගින්  භූමි ස්කන්ධය දෙක බෙදී යන විට ඔවුහු(සමනල්ලු) ඕස්ට්‍රේලියාවේ උතුරු කෙළවරට ළඟා වී සිටියහ.

ඊළඟට සමනල්ලු රුසියාව සහ උතුරු ඇමරිකාව අතර කලක් පැවති ගොඩබිම් පාලමක් වූ බෙරිං ලෑන්ඩ් පාලම හරහා ගොස් වසර මිලියන 75-60 කට පෙර (වර්තමාන) රුසියාවට ළඟා වූහ.  පසුව ඔවුහු අග්නිදිග ආසියාව, මැදපෙරදිග සහ සෝමාලියා අර්ධදිවීපය ලෙසද හඳින්වෙන අප්‍රිකාවේ ඊශානදිග  අර්ධදිවීපය දක්වා ව්‍යාප්ත වූහ. ඔවුන් වසර මිලියන 60 කට පමණ පෙර එවකට හුදකලා ව පැවති ඉන්දියා දූපතට පවා ළඟා වූ අතර පුදුමයට කරුණක් නම්, නොදන්නා හේතු නිසා, වසර මිලියන 45-30 කට පමණ පෙර යුරෝපයට පැතිරීමට පෙර වසර මිලියන 45 ක් පුරා මැද පෙරදිග අද්දර සමනලුන්ගේ පැතිරීම නතර වීමයි. ලෝකයේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට අද යුරෝපයේ සමනළ විශේෂ සංඛ්‍යාව අඩුවීම තුළ  මෙම විරාමය පිළිබිඹු වන බව කවහාරා පවසයි.

සමනල සත්කාරක ශාක පිළිබඳ වාර්තා 31,456 ක විශ්ලේෂණයකින් හෙළි වූයේ පළමු සමනලුන් රනිල කුලයට අයත් ශාක මත පෝෂණය වූ බවයි. රනිල කුලයට අයත් බෝග සෑම පරිසර පද්ධතියකම පාහේ දක්නට ලැබෙන අතර බොහෝමයක් කෘමීන් පෝෂණයට එරෙහිව ප්‍රබල ආරක්ෂක රසායනික ද්‍රව්‍ය නොමැත. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ලක්ෂණ වසර මිලියන ගණනක් තිස්සේ සමනලුන් රනිල කුලයට අයත් ආහාර සමඟ රැඳී සිටීමට හේතු විය හැකි බවයි.

අද, සමනලුන් අනෙකුත් ශාක පවුල්වල ශාක ද ආහාරයට ගැනීම සඳහා නනාංගීකෘත වී ඇති නමුත් බොහෝ සමනල්ලු තනි ශාක පවුලක ශාකවලට යොමුව  සිටිති. දැනට පවතින විශේෂවලින් තුනෙන් දෙකක් පමණ පෝෂණය  සඳහා තනි ශාක පවුලක්, බොහෝ විට තිරිඟු පවුල සහ රනිල කුලයට අයත් පවුලක් මත ‍රැඳී සිටිති. සිත් ඇදී යන කරුණක් වන්නේ, රනිල කුලයට අයත් බෝගවල මුතුන් මිත්තන් අතරින් වඩාත් මෑතකාලීන සාමාජිකයා වසර මිලියන 98 ක් පමණ පැරණිය – ඒ කියන්නේ, එයසමනලුන්ගේ සම්භවය සමඟ බොහෝ දුරට සමපාතවන බවයි.

“සමනලුන්ගේ සහ සපුෂ්ප ශාකවල පරිණාමය සමනලුන්ගේ  සම්භවයේ සිටම නොවැළැක්විය හැකි ලෙස බද්ධ වී ඇති අතර, ඔවුන් අතර ඇති සමීප සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස පෙළපත් දෙකෙහිම කැපී පෙනෙන විවිධාංගීකරණ සිදුවීම් ඇති වී තිබේ,” යයි අධ්‍යනයේ සම කර්තෘ , ෆ්ලොරිඩා කෞතුකාගාරයේ සංරක්ෂකයෙකු ද වන  පැමෙලා සොල්ටිස් ඇගේ ප්රකාශයේ සඳහන් කරයි.

Live Science හී පළවී ඇති All butterflies evolved from ancient moths in North America 100 million years ago යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.