සාහෙලන්ත්‍රෝපුස් චැඩෙන්සිස් (Sahelanthropus Tchadensis) යන පූර්ව මානව විශේෂය මානව වංස කථාවේ දැනට සොයාගෙන ඇති පැරණිම පුරුක් වලින් එකකි. මේ පූර්ව මානව විශේෂය ජීවත් වූයේ මෙයට අවුරුදු මිලියන 6 ක් 7.5ක් අතර කාලය තුළ බටහිර මධ්‍යම අප්‍රිකාවේ දැන් චැඩ් රට යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේය. දෙපයින් ඇවිදීමට හැකි වීම නිසා මේ පූර්ව මානව විශේෂයට ඝන වන ගහණ වල මෙන්ම පුලුල් සැවැන්නා තෘණ තලා වලද අපහසුවකින් තොරව සැරිසැරීමට හැකිවිය.

සාහෙලන්ත්‍රෝපුස් පාෂාණිභූත අතරින් දැනට වැඩි වශයෙන් සොයා ගෙන ඇත්තේ කපාල කොටස් පමණක් නමුත් පර්යේෂණ වලට අනුව මේ පූර්ව මානව විශේෂයට මිනිස් හා වානර ලක්ෂණ දෙකම කලවමේ තිබුණු බව පෙනේ. එකී වානර ස්වරූපයන් අතරට කුඩා මොලයක් , ඇලැවුණු මුව මඬලක්, නෙරාගිය බැම පෙදෙසක් සහ දිගටි හිස් කබලක් තිබීමද වේ. ඒ අතරම කුඩා රදනක දත්, මුහුණේ මැද කොටස කෙටිවීම, සුසුම්නාව වානරයන්ගේ මෙන් හිස් කබල පිටුපසට වෙන්න පිහිටනවා වෙනුවට හිස් කබලට හරි යටින් පිහිටීම වැනි මානව ලක්ෂණද සාහෙලන්ත්‍රෝපුස් චැඩෙන්සිස් මානවයාට තිබූ බව පෙනේ.

සාහෙලන්ත්‍රෝපුස් දෙපයින් ඇවිදගෙන ගිය බව අපදන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම දෙපයින් සිටගෙන ගමන් කිරීමේ හැකියාව පිළිබඳ පැරණිම සාක්ෂි ලැබෙන්නේ සාහෙලන්ත්‍රෝපුස් පාෂාණිභූත වලිනි. මේ පිළිබඳව ප්‍ර‍බලම සාක්ෂිය නම් සාහෙලන්ත්‍රෝපුස් කපාලය සුසුම්නාවට සම්බන්ධවන හිදැස පිහිටා ඇත්තේ හිස්කබලේ යටින් ඉදිරිපස පැත්තට බරව වීමයි. මෙය මුලුමනින්ම දෙපයින් ඇවිදින මානවයන්ට හැර වානරයන්ට නොමැති ලක්ෂණයකි. ඒ අනුව සාහෙලන්ත්‍රෝපුස් චැඩෙන්සිස්  හිස සමබරව තබාගෙන දෙපයින් ඇවිද ගිය පූර්ව මානව විශේෂයක් බව නිගමනය කළ හැකිය. චිම්පන්සින් සහ මානවයන් පැවැත එන්නේ එකම පූර්වජකෙුගෙන් (ancestor) බැවින් සාහෙලන්ත්‍රෝපොස් චැඩෙන්සිස් එකී පූර්වජයාට නුදුරින් වූ පුරුකක් බව සැලැකිය හැකිය.

සාහෙලන්ත්‍රෝපොස් චැඩෙන්සිස් පිළිබඳ  තවත් සිත්ගන්නා තොරතුරු මේ අපූරු වීඩියෝ වාර්තාව නරඹා වටහා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending