අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ රතු ග‍්‍රහයා (දේශපාලන හේතුවක් මත නොව ග‍්‍රහයාගේ මතුපිට මළකඩ පැහැය සලකා පටබැඳුණු නමකි) යනුවෙන් හඳුන්වන අඟහරු ග‍්‍රහයාට මේ ඉරිදා (ඔක්තෝබර් 19 දා) සුවිශේෂී දවසක්.
ඓතිහාසික වශයෙන් ගත් කළ ධූම කේතුවක් (comet) අහරුට වඩාත්ම ආසන්නයේ ගමන් කරන්නේ හෙටයි. සයිඩිං ස්ප‍්‍රින්ග් (කලින් C/2013 A1) යනුවෙන් නම් කොට තිබෙන මේ ධූම කේතුව 2014 ඔක්තෝබර් 19 ද ග‍්‍රහයාට කිලෝමීටර් 139,500 තරම් ආසන්නව ගමන් කිරීමට නියමිතයි. ඒ කියන්නේ පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර මෙන් තුනෙන් එකක පමණ දුරක්. වර්ෂ මිලියන ගණනකට වරක් සිදුවිය හැකි මේ දුර්ලභ අවස්ථාව ඉතා සූක්ෂමව නිරීක්ෂණයට සියල්ල සූදානම් කර ඇතැ’යි නාසා ආයතනයේ ග‍්‍රහලෝක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ජිම් ග‍්‍රීන් පවසයි.
අඟහරු ග‍්‍රහයා වටා කක්ෂගත කර ඇති Mars Odyssey, Mars Reconnaissance Orbiter (MRO)සහ අලූතෙන් එක්වූ MAVEN අභ්‍යවකාශ යානා ද, අඟහරු ග‍්‍රහයා මතු පිට පිහිටි Opportunity සහ Curiosity රෝවර් යානා ද ධූම කේතුවට ආසන්නයේම සිට නිරීකෂණ කටයුතුවල නිරත වෙනු ඇති.
ඕස්ටේ‍්‍රලියාවේ සයිඩිං ස්ප‍්‍රින්ග් නිරීක්ෂණාගාරය යොදාගනිමින් තාරකා විද්‍යාඥ රොබ් මැක්නෝට් විසින් මේ ධූම කේතුව සොයා ගනු ලැබුවේ 2013 වසරේදීය. සයිඩිං ස්ප‍්‍රින්ග් ධූම කේතුව සෞර ග‍්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරයට එන ප‍්‍රථම වතාවද මෙයයි. වරින් වර පැමිණ සූර්යයා වටා කක්ෂයක ගමන් කරමින් ආපසු යන ධූම කේතු මෙන්ම සයිඩිං ස්ප‍්‍රින්ග් ධූම කේතුවේ ගමන ආරම්භවූයේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ ඈත කෙළවර පිහිටි ඌට් වලාව තුළ සිටයි. ප‍්‍රථම වතාවට පැමිණෙන නිසා තවම මෙම ධූම කේතුව සූර්යාගේ බලපෑම් වලට හසුවී නැත. එහෙයින් වසර බිලියන 4.6 කට පෙර (සෞර ග‍්‍රහ මණ්ඩලයේ අනෙකත් වස්තු මෙන්ම) එය බිහිව පැවති එහි මුල් ස්වභාවයෙන්ම ධූම කේතුව අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට මෙය කදිම අවස්ථාවකි. අපේ පෘථිවිය ඇතුලූ සෞර ග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රභවය ගැන හැදෑරීමට මෙම ධූම කේතුව බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙකු ඇතැයි විද්‍යාඥයෝ පවසති.
Scientific American සඟරාව ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපොත





ප්‍රතිචාරයක් ලබාදෙන්න