හැන්දෑ ජාමේ මළ හිරු බැස ගෙන යද්දී මදුරුවෝ නිවෙස්වලට එන්නේ බුරුතු පිටින්. සමහරු ඒ මදිවාට ‘රූං රූං‘ කියලා ශබ්දයකුත් දා ගෙනයි ඇතුල්වෙන්නේ. මදුරුවෝ නිවෙස් වලට එන්නේ රෑ වෙන කොට බව අපි කවුරුත් දන්නා නමුත් රෑ බෝවී ගෙන එන බව මදුරුවෝ දැන ගන්නේ කොහොමද? රෑ වෙනකොට කළුවර වෙන නිසා කියලා කෙනෙක් කියන්න පුළුවනි. ඒත් රෑ දහවල විදිහට පෙනෙන තරමට නිවස ආලෝකමත් කරලා තිබ්බත් මදුරුවෝ රාත‍්‍රීවෙන විට නිවෙස්වලට රිංගනවා. එහෙම නම් ඒකට වෙන හේතුවක් තියෙන්න  ඕන. අපි හොයලා බලමු.

ඔව්, මදුරුවන්ටත් මිනිස් අපට වගේම ජෛවී හෝරා යන්ත‍්‍රයක් හෙවත් ශරීර ඔරලෝසුවක් (body clock) තියෙනවා. මදුරුවන්ගේ ස්නායු පද්ධතියේ ස්නායු සෛල ‍පොකුරක් තියෙනවා. කාලය දැන මැන ගන්න මදුරුවන් එම සෛල යොදාගන්නේ ජානමය ඩොමිනෝ න්‍යායකට අනුකූලවයි.( එක සිදුවීමක් සිදුවීම් වැලකට මුල පුරනවා යන අදහස තමයි ඩොමිනෝ න්‍යායෙන් කියැවෙන්නේ). ඒහිදී මුලින්ම එක ජානයක් බලගැන්වී ඊළඟට තවත් ජානයක් බලගන්වනවා. එවිට ප‍්‍රථම ජානය අකර්මන්‍ය කර තුන්වැන්න බලගන්වනවා. ඔය විදිහට එක දිගට දිගින් දිගටම ඒ ක්‍රියාව අනුපිළිෙවලට සිද්ධවෙනවා. මෙයින් ස්නායු සෛලයේ චර්යාව හෙවත් හැසිරීම වෙනස් කරන අතර ඒ අනුව සම්පූර්ණ ජීවියාගේ දෛනික චර්යාවද අනුක්‍ර‍මයෙන් වෙනස් වෙනවා. ඒ අනුවයි රෑ එළඹෙන බව මදුරුවන් දන්නේ. ඇත්තටම මෙය 1970 දශකයේ මුල දී හඳුනා ගත් සංසිද්ධියක්. බෲනායි සරසවියේ ඞී. ආර්. ජෝනස් සහ පිරිස ඇනොපිලස් මදුරුවන්ගේ ( Anopheles gambiae)  දෛනික ඉගිලයාමේ රටාව ගැන කෙරුණු පර්යේෂණ වාර්තාවක මේ ගැන විස්තර පළවුණා. මූසිකයන් (මීයන්) ඇතුළු අනෙකුත් නිශාචර (රාත‍්‍රියේ හැසිරෙන) සතුන් කෑම සොයා යෑම සඳහා රාත‍්‍රී කාලය දැන් උදා වී ඇතැයි දැනගන්න යොදාගන්නේ ඔවුන්ගේ ශරීර ඔරලෝසුව බව පර්යේෂකයෝ පවසනවා. ඇනොෆිලස් මුදුරුවන්ට එලිපහලියට එන්න සුදුසුම වෙලාව රාත‍්‍රියයි. ඒ නිසා තමයි රෑ බෝවීගෙන එද්දී ඔවුන්ගේ ශරීර ඔරලෝසු ඔවුන්ව අවදි කරවන්නේ.

එසේ වුවත්, සියලූම මදුරුවන් එක හා සමාන නැහැ. සමහර මදුරු විශේෂ ක‍්‍රියාකාරී වන්නේ දිවා කාලයේ දීයි. රාත‍්‍රී කාලයේදී ඔවුන් අක‍්‍රියයි. එවැන්නන් සඳහා  හොඳම නිදසුනක් ලෙස Aedis aegypti නම් මදුරුවන් දැක්විය හැකියි. ඔවුන් ප‍්‍රමාණයෙන් වීශාල, කෑදර මදුරු විශේෂයක්. ඩෙන්ගු වැනි රෝග පතුරුවන්නේ ඒ මදුරු විශේෂ තමයි. ඔවුන් ඇත්තටම මහා හිසරදයක්. මොකද, මදුරුවෝ එන්නේ රාත‍්‍රියේ කියා හිතුවාට මොවුන්ගෙන් නම් දවාලටත් බේරුමක් නැහැ. ඔවුන්ගේ ශරීර ඔරලෝසු නාදවෙන්නේ හිරු උදාව සමගයි.

                                                                        කේම්බි‍්‍රජ් සරසවියේ The Naked Scientist ලිපියක් ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending