වර්තාමනයේ ජීවත්වන ක්ෂුද්‍ර ප‍්‍රාණීන් හෝ ක්ෂුද්‍ර ජීවීන් ගැන අප කවුරුත් අසා ඇතත් බොහෝ දෙනා එම ජීවින් දැක නොතිබෙන්නට ඇති ඉඩකඩ බොහෝයි. එහෙත් මීට සියවස් හතර පහකට පෙර යුගවල සිටි අය ක්ෂුද්‍ර ප‍්‍රාණීන් දැක නොතිබුණා පමණක් නොව ඔවුන් ගැන අසා තිබුණේවත් නැත. පියවි ඇසට දැක ගත හැකි ජීවීන් හැර වෙනත් ජීවීන් විශේෂ සිටින බවක්වත් 17වැනි සියවසට පෙර සිටි කිසිවෙක් අඩුතරමින් අනුමාන කළේවත් නැත. ඒකල මේ ලෝකයේ විසූ කුඩාම ජීවී විශේෂය ලෙස සැලකුණේ මැක්කන්ය. එතෙක් කිසිකෙනෙක් දැක නොතිබූ ශුක‍්‍රාණු , රුධිර සෛල සහ වඩාත් විශ්මයජනක වූ බැක්ටීරියා ඇතුළත් නව ලොවක් දැක හඳුනාගැනීමට මග පාදනු ලැබුයේ ඕලන්ද ජාතික අන්ටෝනි වැන් ලීයුව්එනොහුක් (Antonie van Leeuwenhoek) විසිනි. ඔහුට ඊට උදව් වූයේ මයික්‍රස්කෝපය (microscope) හෙවත් අන්වීක්ෂය යි.
ඇසට දමන තනි කාච නැතිනම් උපැස් නිෂ්පාදනයේ නියැලි ඕලන්ද ජාතිකයෝ ක‍්‍රි. ව. 1600 දී පමණ මයික්‍රස්කෝප නිර්මාණය කිරීමට සමත් වූහ. වීදුරු කාච දෙකක් එකට යොදා විශාලනය කිරීමේ හැකියාව වැඩිකර ගැනීමෙන් ඒ හපන්කම කිරීමට ඔවුනට හැකිවිය. කාච ආශ‍්‍රිත නව නිර්මාණ බිහිකිරීමෙහි ලා ඕලන්ද ජාතිකයන් දැක්වූ කුසලතාව ආශ‍්‍රයෙන් මතුවූ මයික්‍රස්කෝපය (අන්වීක්ෂය) සහ ටෙලස්කෝපය (දුරේක්ෂය) මිනිසාගේ දැනුම පිම්මේ ඉහළ දැමීමට බලපෑවේය.
අන්වීක්ෂයක් තුළින් දුටු කිරල කැබැල්ලක කුඩා සජීවී සෛලවල චිත‍්‍රයක් ඉංග‍්‍රීසි ජාතික රොබට් හූක් විසින් 1665 දී ප‍්‍රථම වරට අඳින ලදී. තම පියවි දෑසින් දැකිය හැකි තැනක හැර වෙනත් තැනක ජීවීන් සෙවීමට හූක්ට හෝ එම යුගයේ මයික්‍රස්කෝප භාවිත කළ වෙනත් කිසිවෙකුට හෝ කල්පනා නොවීය. එහෙත්, ඊට හාත්පසින්ම වෙනස් මගක යමින් ජීවීන් ඇති බවක් කෙසේවත් නොපෙනුණ තැන් වෙත, විශේෂයෙන්ම දියර කෙරෙහි වැන් ලීයුව්එනොහුක් සිය කාච යොමු කළේය. ඔහුගේ අවධානයට යොමු වූයේ වැහි බින්දු, දත් මැලියම්. සත්ව බෙටි, ශුක‍්‍රාණු, රුධිරය සහ තවත් එවැනි බොහෝ දෑ කෙරෙහිය. එම පරිශ‍්‍රමයේ දී ඔහුට හමුවූයේ එතෙක් කිසිම මිනිස් ඇසකින් නොදුටු විවිධත්වයෙන් පෝෂිත ක්ෂුද්‍ර ජීවීන්ගේ අපූර්ව ලෝකයයි. අජීවි යයි පෙණී ගිය ද්‍රව්‍යවල වැන් ලීයුව්එනොහුක් ක්ෂුද්‍ර ජීවීන්ගේ බහුලත්වය දුටුවේය. ඔහුට ඊට මගපෑදුයේ ඔහුම තනාගත් මයික්‍රස්කෝපයි.
ඉංග‍්‍රීසි ජාතික රොබට් හූක් මෙන් කාච දෙකකින් සමන්විත ‘‘සංයුක්ත” අන්වීක්ෂයක් නොව, වැන් ලීයුව්එනොහුක් භාවිත කළේ ගුණාත්මක බවින් ඉහළ, තනි කාච මයික්රස්කෝපයකි. ඇත්තවශයෙන් ගත්තොත් එය (කුඩා දේ ලොකු කර පෙන්වන) විශාලක කාචයකි. ඒ යුගය සලකන විට, එවැනි සරල මයික්‍රස්කෝපයකින් පැහැදිලි දසුනක් ලබා ගැනීම පහසු විය. 30 ගුණයකට වැඩි විශාලනයක් ද්වි කාච සංයුක්ත අන්වීක්ෂයකින් ලබා ගැනීමට අපහසු වූයේ දසුන් බොඳව යන හෙයිනි. වැන් ලීයුව්එනොහුක් සිය මයික්‍රස්කෝප සඳහා අවශ්‍ය කාච තම දෑතින්ම තනා ගත් අතර වසර ගණනාවක් තිස්සේ සිය ශිල්පීය ඥානය ඔප් නංවා ගැනීමෙන් කාචයකින් 200 ගුණයකට වැඩි විශාලනයක් අත්කර ගැනීමට සමත් විය. ඔහුගේ මයික්‍රස්කෝප මිලිමීටර කිහිපයක් පමණක් පළලැති කුඩා කාචවලින් සමන්විත කුඩා උපකරණ විය. කූරක තැබූ පරීක්ෂණ සාම්පලය කාචයේ එක් පසෙක තබා අල්වා ගන්නා වැන් ලීයුව්එනොහුක්, අනික් පසින් එක ඇසක් කාචයට ළං කර බලයි.
මුල දී, මුලදී ඔහු අසාමන්‍ය දෑ කිසිවක් නොදුටුවේය. එහෙත් විලකින් ලබා ගත් ජල සාම්පලයක තිබූ, මිනිස් හිස කෙසකටත් වඩා සිහින්, කුඩා ජීවියෙක් දැකගන්නට හැකිවීනැයි 1674 දී ඔහු වාර්තා කළේය. ඔහු දුටුවේ Spirogyra නම් හරිත ඇල්ගේ ය. (ඇල්ගේ යනු හරිතප‍්‍රද සහිත සරල ශාකයි). වැන් ලීයූව්එනොහුක් ඒවා නම් කළේ animalcules (ක්ෂුද්‍රප‍්‍රාණීන්) යනුවෙනි. අනතුරුව ඔහු, 1676 ඔක්තෝබර මාසයේ දී දිය බිඳුවක තිබී වඩාත් කුඩා ඒක සෛලික බැක්ටීරියා සොයාගත්තේය. ඊට පසු වසරේදී ඔහු තමන්ගේම ශුක‍්‍ර තරලයෙහි ක්ෂුද්‍ර ප‍්‍රාණින් පොදි කමින් නලියන අයුරු විස්තර කළේය. ශුක‍්‍රාණු වශයෙන් අප දැන් හඳුන්වන්නේ එම ක්ෂුද්‍ර ප‍්‍රාණින්ය. දිය බිඳුවේ තිබී ඔහු සොයා ගත් ප‍්‍රණීන් මෙන් නොව ශුක‍්‍ර තරලයෙහි හමුවූ ක්ෂුද්‍රප‍්‍රාණීන් සියල්ලම අනන්‍ය(එක හා සමාන) විය. දස දහස් ගණන් වූ ඒ සෑම ශුක්‍රාණුවක්ම සමන්විත වූයේ එකම විදිහේ ඇබිත්තන් හිස් ගෙඩිවලින් සහ ඇබිත්තන් වලිගා වලින් පමණකි. ඒවා ඉස්ගෙඩියන් මෙන් ශුක‍්‍ර තරලයෙහි පිහිනා යනු ඔහු දුටුවේය.

වැන් ලීයුව්එනොහුක් තම හොයාගැනීම් ගැන ලන්ඩනයේ රාජකීය සංගමයට සිය ගණනින් යුත් ලිපි මාලාවකින් වාර්තා කර සිටියේය. එසේ ඔහු සිය සොයාගැනීම් ප‍්‍රකාශයට පත් කළත් මයික්‍රස්කෝප කාච සැකසීමේ ශිල්පය රහසක් ලෙස රැක්කේය.
ඕලන්ද ජාතික අන්ටෝනි වැන් ලීයුව්එනොහුක් මයික්රස්කෝපය මගින් ක්ෂුද්‍ර ජීවීන්ගේ ලොව දැක බලා ගන්නට සමත් වූවා සේම ජර්මන් ජාතික භෞතික විද්‍යාඥ අර්වින් විල්හෙල්ම් මුලර් (Erwin Wilhelm Müller) ක්ෂෙත‍්‍ර අයන මයික්‍රස්කෝපය (field ion microscope) නිපදවා 1951 දී ප‍්‍රථම වතාවට රසායනික මූල ද්‍රව්‍යයක කුඩා ම අංශුව වන පරමාණුව දැක බලා ගනියි. 2014 වසරේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිකර ගත් ෆ්ලොරසන්ට් මයික්‍රොගැපි අණවීක්ෂය මගින්, මෙතෙක් ජීව විද්‍යාඥයන්ට දැක බලාගත නොහැකි වූ තරම් කුඩාවූ නැනෝ මට්ටමේ අතිෂය ක්ෂුද්‍ර දේවල් දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙයි.
The Science Bookහි ලිපියක් ඇසුරෙන් සකස් කළේ සරත් කැල්ලපත






ප්‍රතිචාරයක් ලබාදෙන්න