පරිණාමය යනු කෙතරම් සෙමින් සිදුවන දෙයක්දැයි කිවහොත් එය එක ජීවිතකාලයක් තුළ නිරීක්ෂණය කිරීම අසීරුයැ‘යි මතයක් තිබේ. එහෙත්  සත්වගහණයකට ඇතිවන පරිපීඩනය වැඩිවෙන තරමට උන්ගේ පරිණාමයේ වේගයද සැලැකිය යුතු ලෙස වැඩිවිය හැකි බවත් ඒ අනුව එක් මිනිස් ජීවිත කාලයක් තුලදී ඇතැම් සත්ව පරිණාමයන් නිරීක්ෂණය කළ හැකි බවත් මෑත දී ඇනොලෙස් නම් ඉගුවානා කටුස්සන් සම්බන්ධව කළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ.

කැරොලිනා ඇනොලෙස් යනුවෙන් හඳුන්වන කොළ පැති කටුසු වර්ගය වැඩි වශයෙන් ජීවත් වන්නේ අමෙරිකානු එක්සත්ජනපදයේ දකුණු දිග ප්‍රදේශවලය.  එහෙත්  1950 ගනන් වල සිට  දුඹුරු පැහැති කියුබානු ඇනොලෙස් කටුස්සන් කියුබාවෙන් ෆ්ලොරිඩාවට ආනයනය කරන ලද පැලෑටි බව බෝග සමග අමෙරිකාවට සංක්‍ර‍මණය විය. ඉන් දශක කිහිපයක් තුළ කියුබානු කටුස්සන් කැරොලිනා ඇනොලෙස් කටුස්සන් වාසය කල ප්‍රදේශවලට පැතීරීම නිසා කැරොලිනා ඇනොලෙස් කටුස්සන්ට මහත් තරඟයට මුහුණ දීමට සිදුවිය.

කියුබානු ඇනොලෙස් කටුස්සා 1950 ගණන් වල කියුබානු දූපත් වල සිට අමෙරිකාවට සංක්‍ර‍මණය විය
කියුබානු ඇනොලෙස් කටුස්සා 1950 ගණන් වල කියුබානු දූපත් වල සිට අමෙරිකාවට සංක්‍ර‍මණය විය

මේ කටුසු දෙවර්ගයටම ඇත්තේ එකම ජීවන රටාවකි. ආහාරයට ගන්නේද එකම දේවල්ය. එනිසා දෙවර්ගයේ කටුස්සන් මුණ ගැසෙන බොහෝ අවස්ථාවලදී ආහාර සහ ඉඩකඩ සඳහා නිරන්තරයෙන් සටන් කරන්නට සිදුවිය. එහෙත් අවසානයේදී කටුස්සන් විශේෂ දෙකම ඒ සඳහා සුදුසු විසඳුමක් සොයාගෙන තිබෙන බව පෙනේ. ඔක්තොබර් 24 දා සයන්ස් සඟරාව වාර්තා කරන අන්දමට කැරොලිනා ඇනලෙස් කටුසු වර්ගය ගස් වල ඉහළ මුදුන් වාසස්ථානය කරගෙන ඇති අතර. ඒ නිසා උන්ගේ පාදවල ඇඟිලි කලින් පරම්පරාවල තිබුනාට වඩා දිගු වී ඇත. එසේ ඇඟිලි දිගු වී ඇත්තේ දිගු ඇඟිලි උස ගස්වල කුඩා අතු ඉති අතර ගමනට පහසුවෙන බැවිනි

ඔස්ටින් හි ටෙක්සාස් සරසවියේ යූල් ස්ටුවර්ට් ඇතුලු පර්යේෂණ කණ්ඩායම කළ සමීක්ෂණයකට අනුව ආගන්තුක කියුබානු ඇනොලෙස් කටුස්සන්ගේ ආක්‍ර‍මණය ඇති වු බොහෝ පෙදෙස්වල කැරොලිනා ඇනොලෙස් කටුස්සන් අවසානයේදී ගස්වල ඉහළ අතුපතර තම වාසභුමිය වශයෙන් තෝරාගෙන කියුබානු කටුස්සන්ට ගස් කොළන්වල පහළ ස්තරය වාසභුමිය වශයෙන් තබා ගැනීමට ඉඩහළ බව තහවුරු විය. එහෙත් වඩාත්ම මවිතය දනවන කරුණ වූයේ ඉහළ අතුපතර වාසභුමිය වශයෙන් තෝරාගත් කැරොලිනා ඇනොලෙස් කටුස්සන්ගේ පා ඇඟිලි මුල් පරම්පරාවල තිබුනාට වඩා බෙහෙවින් දිගු වී සමබරව සිහින් අතුපතර අතර ගැවසීමට පහසුවෙන සේ විකාශය වී තිබූ බවයි. මේ වෙනස ජානමය වශයෙන්ද ඇති වී තිබෙන බව කැරොලිනා කටුසු බිත්තර රසායනාගාර වල රක්කවා ලබාගත් පැටවුන්ගෙන් දැක ගන්නට ලැබුනි.

අඟිලි වල ඇතිවූ මේ පරිණාමය තරමක් වේගයෙන් සිදුවූ දෙයක් යැයි පර්යේෂණ වාර්තාව සඳහන් කරයි. කියුබානු ඇනොලෙස් කටුස්සන් විසින් දකුණු දිග අමෙරිකා එක්සත් ජනපදයේ කැරොලිනා ඇනොලේස් කටුස්සන්ගේ වාසභූමි ආක්‍ර‍මණය කිරීම 1995දී ඇරඹීයැයි සැලකුවහොත් කැරොලිනා ඇනොලෙස් කටුස්සන්ගේ පාද විශාල වීම සිදුවී තිබෙන්නේ ඉන් කටුසු පරම්පරා 20ක් පමණ ගතවීමෙන් පසුවයි.

කැරොලිනා ඇනෙලස් කටුස්සන්ගේ මේ පරිණාමීය වේගය මිනිසුන්ගේ පරිණාමීය වේගයට ආදේශ කලහොත් එය හරියට අමෙරිකානු පිරිමින්ගේ සාමාන්‍ය උස වන අඩි 5.9 පරම්පරා 20ක් ඇතුලතදී ( අවුරුදු 400-500 අතර කලකදී) අඩි 6.4 දක්වා ඉහළයාම හා සමානයැයි පර්යේෂකයෝ පවසති.

 සයන්ස් සඟරාවෙන්

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending