මීළඟ වතාවේ ඔබගත් භාණ්ඩ වලට කඩෙන් බිල්පතක් ලැබුණු විට එය හෝමෝන වෙනස් කරන BPA අඩංගු තාප කඩදාසියක මුද්‍ර‍ණය කර ඇත්දැයි විමසිලිමත් විය යුතුය. ආහාර සහ බීම වර්ග අසුරණ සඳහා යොදා ගන්නා තද ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනයේදී  භාවිත කරන බිස්ෆීනෝල් ඒ (BPA බීපීඒ), යනු මතභේදයට තුඩු දී ඇති රසායනික ද්‍රව්‍යයකි. නවීන ලෝකයේ ජීවත්වන අප සියලූ දෙනාගේම රුධිරයේ ඉතා සුළු වශයෙන් හෝ බීපීඒ අඩංගු විය හැක. නමුත් රුධිරයේ බීපීඒ මට්ටම ඉහළ යාම නිසා කාන්තාවන්ගේ සුඵලතාවය හෙවත් දරුපල  නැතිවීම, ළදරුවන්ගේ හා කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවීම, හෝමෝන වල  ක‍්‍රියාකාරීත්වයට බාධා පැමිණීම, ස්නායු පද්ධතියට අහිතකර බලපෑම් ඇතිවීම වැනි දේ සිදුවිය හැකි බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. ඒ නිසා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදකයින් සමහරක් තම නිෂ්පාදන සඳහා බීපීඒ යොදා ගැනීම ස්වෙච්ඡාවෙන්ම අත්හිටුවා ඇත.

එහෙත් භාණ්ඩ මිලදිගැනීම් වලදි බිල්පත් ලබාදීම සඳහා භාවිතාකරන යන්ත‍්‍ර වලට යොදන තාප මුද්‍රණ කඩදාසිවලද මුද්‍රණ ද්‍රව්‍යක් ලෙස බීපීඒ තට්ටුවක් ආලේප කර ඇත. මේ කඩදාසි සීරීම් වලට ලක් වුවහොත් කළු  පැහැ ගැන්වෙන බව ඇතැම් විට ඔබත් දැක තිබෙන්නට පූලූවන.

භාණ්ඩ මිලදිගැනීම් වලදි වෙළඳසල්වල බිල්පත් නිකුත්කිරීමට භාවිතාකරන යන්ත‍්‍ර ලබාදෙන බිල්පත් මගින් මිනිස් අත්වල තැවරෙන බීපීඒ ප‍්‍රමාණය පිළිබඳව මිසූරි සරසවියේ ඇනට් හෝමන් (Annette Hormann) ප‍්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් අධ්‍යයනයක යෙදුනහ.

මීට පෙරත් මෙවැනි පරීක්ෂණ සිදුකර ඇතත් ඒවා සිදු කර ඇත්තේ වියලි අත් සහිත කණ්ඩායම් යොදවා ගෙනය. එහෙත් මෙවර පරීක්ෂණයේදී යොදා ගනු ලැබුවේ සනීපාරක්ෂාව සඳහා අත්වල ආලේපන භාවිතා කරගන කණ්ඩායමකි. එයට හේතුව අත්වල හා සමේ ආරක්ෂාවට යොදන  සනීපාරක්ෂක ආලේපන සම තුලට විනිවිද යෑම පිනිස සකසා ඇති බැවිනි.

දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ පරීක්ෂණයට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය. පළමුව ඔවුන්ගේ රුධිර සාම්පල් සහ මූත‍්‍රා සාම්පල් ලබාගෙන ඒවායේ ඇති බීපීඒ ප‍්‍රමාණය පරීක්ෂා කරන ලදී. ඉන්පසුව ඔවුන්ගෙන් ඇතමෙකුට සනීපාරක්ෂක අත් ආලේපන සැපයුණි. අනතුරුව බීපීඒ අඩංගු භාවිතා නොකළ මුද්‍රණ කඩදාසි පරිහරණයට ලබාදී විනාඩි හතරකින් පසුව ආහාරය සඳහා බදින ලද අල තීරු බඳුන බැගින් කන්ඩායමේ එක් එක් සාමාජිකයාට සැපයුණි.

ඉන් පැය එකහමාරකට පසුව නැවත වරක් කණ්ඩායමේ සාමාජිකයන්ගේ ලේ සහ මූත‍්‍රා සාම්පල වල ඇති බීපීඒ ප‍්‍රමාණ පරීක්ෂා කරන ලදී. එවිට පෙනී ගියේ, ඇතමුන්ගේ රුධිරයේ බීපීඒ මට්ටම කලින් තිබුණු ප‍්‍රමාණය මෙන් දසගුණයක් පමණ වූ බවයි. ඹවුන්ගේ මුත‍්‍රාවල ක‍්‍රියැටිනීන් ග්රෑම් එකකට බීපීඒ  මයික්‍රෝග්රෑම් 20 ක් අඩංගු වූ බව දක්නා ලදී. මෙය, හෘද්වාහිනි රෝග සහ මධු මේහය (diabetic) වැළඳීමේ ඉඩකඩ සැලකිය යුතු අන්දමින් ඉහළ යාමට අදාල යයි පෙර සිදු කළ අධ්‍යයනවලින් පෙනි ගිය මට්ටමකි.

මිනිත්තු හතරක් නොව තත්පර හතළිස්පහක කාලයක් බීපීඒ අඩංගු මුද්‍රණ කඩදාසි අත තබාගෙන සිටීම වුව රුධිරයේ හා මූත‍්‍රාවල බීපීඒ මට්ටම් ඉහළ යාම සඳහා සෑහෙන බව නැවත පරීක්ෂා කිරීමෙන් පසු පරීක්ෂකයින් විසින් සොයා ගන්නා ලදී.

අවසානයේදී ලැබුණු ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී වියලි අත් වලින් බිල්පත් භාවිතා කළ අයගේ රුධිරයේ තිබුණු  බීපීඒ ප‍්‍රමාණය තෙත අත් වලින් බිල්පත් භාවිතා කල අයගේ රුධිරයේ තිබුණු  බීපීඒ ප‍්‍රමාණයෙන් සියයෙන් පංගුවක් බව දක්නා ලදී. මේ අනුව ස්ථිර වශයෙන්ම  අත් ආලේපන භාවිතා කරන්නන්ගේ ශරීරවලට බිල්පත් මුද්‍රණ කඩදාසි මගින් බීපීඒ වැඩි ප‍්‍රමාණයක් ඇතුල් වෙන බව පර්යේෂකයෝ තහවුරු කලහ.

ක්ෂණික කෑම අලෙවිහල් වලින් ආහාර ලබාදෙන අවස්ථාවලදී කෑම බදුන මත බිල්පත තබා ඊට උඩින් ආහාර ලබා දෙන අවස්ථාද, ඇතැමුන් අත්වලින් බඩු දරාගෙන බිල්පත කටේ තබාගෙන යන අවස්ථාද, බිල්පතෙන් කට පිසදාන අවස්ථා ද තමා දැක ඇතැයි මෙම පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් නොවු මැසචුසෙට් සරසවියේ පරිසර හා සෞඛ්‍ය විද්‍යා නියෝජ්‍ය මහාචාර්ය ලෝරා වැන්ඩන් බර්න් මහත්මිය ප‍්‍රකාශ කරයි.

බිල්පත් මගින් බීපීඒ ශරීරගත වීමේ ගැටළුවලට විසඳුම් ලෙස පර්යේෂකයින් නිර්දේශ කරන්නේ බිල්පත් සඳහා තාප කඩදාසි වෙනුවට ආරක්ෂාකාරී තාක්ෂණයක් යොදා ගැනීමයි. නො එසේ නම් බිල්පත් අතින් ඇල්ලූ පසු හා ආහාර ගැනීමට පෙර අත් සෝදා පිරිසිදු කර ගැනීම යි.

 

Discover සඟරාව ඇසුරෙන් සැකසීම චන්දන තෙන්නකෝන්

 

One response to “තාප කඩදාසි වල මුද්‍රිත බිල්පත් අල්ලන්නේ ප්‍රවේසමෙන්”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending