“මොනවා කළත් ඔළුව බේරාගෙන වැඩ කරන්න” කියලා අපි කට වහරේදී කියන්නේ පරිස්සමෙන් කටයුතු කරන්න කියන්න මිස කෙනෙකුගේ හිස ගැන හිතලාම නොවෙයි. එහෙම වුණත් ‘ඔළුගෙඩියේ’ වටිනාකම නම් කිසිවෙකුත් අවතක්සේරු කරන්නේ නැහැ. හිස් කබලට අනතුරක් සිදුවුණොත් මොනවා කරන්නද ඉතින්? එ් ප‍්‍රශ්නෙට උත්තරයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. දැනට තියෙන හිස් කබලට හානියක් වුණොත් ඒ් වෙනුවට වෙනත් කෘතිම හිස් කබලක් සවි කිරීමේ පුවතක් නෙදර්ලන්තයෙන් වාර්තා වේ.

22 හැවිරිදි ඕලන්ද (නෙදර්ලන්ත) ජාතික තරුණියකට තිබුණේ ඉතා දුර්ලබ ව්‍යාධියකි. ඇගේ හිස් කබලෙහි අතිරේක අස්ථියක් වර්ධනය වන්නට වීම එම අසාමාන්‍ය තත්ත්වය විය. මෙමගින් ඇගේ මොළයට අතිරේක පීඩනයක් එකතු කෙෙරිණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම තරුණියට තදබල හිස කැක්කුම් ඇතිවු අතර ක‍්‍රමයෙන් පෙනීමද අඩුවෙන්නට විය. මේ තත්ත්වයට පිළියම් නොකළහොත් ඉන් ඇගේ මරණය සිදුවිය හැකි බව වෛද්‍ය මතය විය. එහෙත් වෛද්‍ය විද්‍යාව ඇගේ පිහිටට ආයේය.
ස්නායු ශෛල්‍ය වෛද්‍ය බොන් වර්වීජ් ඇලේ ඕලන්ද ශෛල්‍ය වෛද්‍ය පිරිසක් එකතුව පැය 23ක් තිස්සේ (ඔව්, දවසකට ආසන්නයි) සිදුකළ සැත්කමකින් මෙම තරුණියගේ හිස් කබලෙහි උඩුකොටස ඉවත් කර ඒ වෙනුවට ඈ සඳහාම තනන ලද ප්ලාස්ටික් අනුරුවක් සවි කරනු ලැබීය. ත‍්‍රිමාණ මුද්‍රිත මෙම ප්ලාස්ටික් උඩ කොටස හිස් කබලේ සෙසු කොටසට යස අගේට පෑහිණ. ලෝකයේ ප‍්‍රථම වතාවට සිදුකරන ලද මෙම සැත්කම අතිශය සාර්ථක විය. දැන් රෝගී තරුණියට සමිපුර්ණ  සුවය ලැබී ඇතැයි පවසන ස්නායු ශෛල්‍ය වෛද්‍ය වර්විජ් ඇය නැවත රාජකාරී සඳහා වාර්තා කර ඇති අතර සැත්කමක් සිදුකළ බවට ලකුණක්වත් නැතැයි කියයි.

හදිසි අනතුරුවලදී හෝ මොළයේ ඇති ආබාධ නිසා දැඩි ලෙස හානියට පත් හිස් කබල යළි සැකැසීමට මෙම නව තාක්ෂණය උපයෝගී කර ගත හැකි බව වෛද්‍ය කණ්ඩායම කියා සිටිති.

DISCOVER 2014 නොවැම්බර් සඟරාවේ ලිපියක් ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending