‘නිද්‍රාඅඝාතය’ (Sleep paralysis) බොහෝ අයට බය හිතෙන අත්දැකීමක් විය හැකියි.  නිද්‍රා ආඝාතය දුලබ සිදුවීමක් නොවෙයි. ඇතැම් විට ඔබ පවා නිද්‍රාආඝාතයට මුහුණ දෙන්නට ඇති. නිද්‍රා ආඝාතය පිළිබඳව මා කරන මේ විස්තරය නිසා එවැනි අත්දැකීමකට නැවත ඔබ මුහුණ දෙන විට එහි ඇති බියජනක බව අඩු විය හැකියි. නිද්‍රාආඝාතය සිදුවන්නේ මෙසේයි. නිදාගත් ඔබ සිහිනයක් දකින විට ඔබේ සිරුර පවතින්නේ අංශභාගයට ගොදුරු අයෙකුගේ සිරුර මෙන් අප‍්‍රාණිකවයි. දකින හීනයට අනුව ඔබේ මාංශපේශි  ක‍්‍රියාත්මක වීම වැලැක්වීමටත් ඔබ නින්දෙන් ඇවිදගෙන යාම වැලැක්වීම පිණිසත් තමයි සිහින දකින විට ඔබේ සිරුර එසේ අංශභාග රෝගියෙකුගේ සිරුරක් වගේ අප‍්‍රාණික වෙන්නේ. (එය එසේ තිබියදීත් ඇතැමුන් නින්දෙන් ඇවිදින අවස්ථා ද නැතුවා නොවේ.)

එහෙත් සිහිනයෙන් අවදි වන ඔබේ මනස යථා තත්වයට පත් වීමත් ඔබේ මාංශ පේශි යථා ස්වාභාවයට පත් වීමත් අතර ඇතැම් විටක සුළු කාල පරතරයක් ඇති විය හැකිය. ස්ලීප් පැරලිසිස් හෙවත් නිද්‍රාඅඝාතය යන නමින් හඳුන් වන්නේ මෙයයි. මෙය එක්තරා ආකාරයක බය හිතෙන අත්දැකීමක්. මෙහි දී ඔබ අවදිව සිටින බවක් ඔබට දැනෙනවා. ඔබ නිදා සිටින කාමරයේ ඇති සියලූ ම දේවල් ඔබේ දෑසට පේනවා. එහෙත් මාංශ පේශි යථා තත්වයට පත් ව නැති බැවින් නිදි ඇඳෙන් සෙලවීමටවත් ඔබට බැහැ. මේ නිද්‍රාඅඝාතයත් සමග සාමාන්‍යයෙන් හැලූසිනේෂන් (Hallucination) හෙවත් චිත්තමායාවන් උද්ගත වීමට ඇති ප‍්‍රවණතාවය වැඩියි. එවැනි චිත්තමායාවක දී දැනෙන්නේ තමන් වටා බියකරු අනතුරක් ඇති අතර එය කුමක්දැයි නම් කළ නොහැකි බවකුයි. ඇතැම්විට නිද්‍රාආඝාතය පවතින අතර සිහිනයක දී මෙන් ම යථාභූත නොවෙන දේවල් ඇත්තට ම ඇති දේවල් ලෙස පෙනෙන්නට පුුළුවන්.

ඉතින් නිද්‍රාඅඝාතය හැදුන එවැනි අවස්ථාවක ඔබත් හැලූසිනේෂන් හෙවත් චිත්ත මායාවක් දකින්නට යනවා නම් එම චිත්තමායාව කෙබඳු එකක් විය හැකිද? පරසක්වල වැසියන් ගැන ලියවුන විද්‍යා ප‍්‍රබන්ධ කතා අදහන්නෙකුට නම් බොහෝවිට එම කතාවල එන ඔලූව ලොකු විසාල ඇස් ඇති මිනිස් ස්වරූපයට තරමක් සමාන අලූපාට ප‍්‍රාණින් චිත්තමායාවන් ලෙස පෙනෙන්නට පුුළුවන්. විද්‍යා ප‍්‍රබන්ධ යුගයට පෙර යුගවල විසූ මිනිසුන් මෙවැනි චිත්තමායාවන් නිසා දුටුවේ බහිරවයන්, නරවෘකයන්, වැම්පයර් හෙවත් රිරී බොන පිසාචයන් හා  පියාපත් සලන ලස්සන සුරදූතයන් වැනි දෑයි.

මෙහි දී සැලකිය යුතු දෙය නම් ස්ලීප්පැරලිසිස් හෙවත් නිද්‍රාඅඝාතයේ දී මිනිසුන් දකින දෙවල් යථා ලෝකයේ සැබැවින් ම ඇති දේවල් නොව ඔවුන් විසින් අදහනු ලබන කතන්දර හා ප‍්‍රබන්ධ හා අතීතයේ සිදුවූ බියජනක දේවල් නිසා මනසේ උද්ගත වන මනස්කාර බවයි. මෙහි දී ඇතැම් විට චිත්තමායාවක් ඇති නොවූවද නිද්‍රාඅඝාතයට භාජනය වන තැනැත්තෙකුගේ අත්දැකීම කොතෙක් බියජනකදැ‘යි කිවහොත් තමන්ට කිසියම් දරුණු දෙයක් සිදුවී ඇතැයි විශ්වාස කිරීමේ ප‍්‍රවණතාවයක් ඔහුගේ සිත තුළ ඇති වෙනවා. ලේ බොන වැම්පයර් පිසාචයන් පිළිබඳ තදින් අදහන්නෙකු තුළ එවැනි අවස්ථාවල දී ඇති විය හැකි විශ්වාසයක් නම් තමා පිශාචයෙකුගේ ප‍්‍රහාරයකට ගොදුරුවන්නට ඇත යන්නයි. වෙනත් ග‍්‍රහලෝකවලින් පැමිණෙන ජීවීන් විසින් කරන පැහැර ගැනීම් ගැන ඔබ තදින් විශ්වාස කරන්නේ නම් වෙනත් ග‍්‍රහලෝකවලින් ආ ජීවීන් ඔබ පැහැරෙගෙන ගිය බවත් ඔබේ මතකය ඔවුන් විසින් මකා දමනු ලැබ ඇති බවත් නිද්‍රාඅඝාතයකින් පසු නැගී සිටි විට විශ්වාස කිරීමට ඹබ පෙළඹීම පුදුමයක් විය නොහැකියි.

නිද්‍රාඅඝාතයට ගොදුරුවන අයට ඊළඟට සිදු විය හැකි දෙය නම් වෙනත් ග‍්‍රහලෝකවල ජීවීන් හා ඔවුන්ගේ බියජනක පරීක්ෂණ ගැන චිත්ත මායාවක් ඇති නොවුනද, එවැන්නක් සිදුවන්නට ඇතැයි යනුවෙන් ඇතිවන බිය නිසා සදොස් මතකයක් සිතෙහි පිළිසිඳ ගැනීමයි. මේ සදොස් මතකය තවත් තහවුරු වීමට එක හේතුවක් පවුලේ අය සහ මිතුරන් විසින්ද එම සිද්ධිය ඇත්තක් විය හැකියැයි ඒත්තු යන ආකාරයේ විචිත‍්‍ර තොරතුරු සැපයීමයි. මෙය ඇතැම් විට සිදුවන්නේ ‘‘වෙනත් ග‍්‍රහලෝකවලින් ආවා දැක්කාද? ඒ ගොලේලෝ අලූපාට නේද? විත‍්‍රපටිවල ඉන්නවා වගේ ම ඒ ගොල්ලන්ගේ ඇස් විශාල නේද?’’ වැනි නියමු ප‍්‍රශ්න ඇසීමෙනුයි. මෙවැනි නියමු ප‍්‍රශ්න පමණක් වුවද කෙනෙකුගේ සිත තුළ සදොස් මතකයක් ඇති කිරීමට ප‍්‍රමාණවත්. 1992 පැවැති සමීක්ෂණයකට අනුව, තමන් එක්වරක් හෝ වෙනත් ග‍්‍රහලෝකවල ජීවින් විසින් පැහැර ගෙනයාමකට ගොදුරු වී යැයි අමෙරිකානුවන් මිලියන හතරක් විශ්වාස කරන බව හෙලිදරව් වීම  අනුව මේ ප‍්‍රශ්නය ඉහත කී ආකාරයෙන් විමසා බැලූ විට පුදුමයට පත් විය යුතු කාරණයක් නොවෙයි.

sleep paralysis 2

අජටාකාශ යානා වලින් එන වෙනත් ග‍්‍රහලෝකවල ප‍්‍රාණීන් ගැන කතන්දර ජනප‍්‍රිය වීමට බොහෝ කලකට පෙර පැවැති සංත‍්‍රාසජනක මනස්කාර විශ්වාස වලට ද බොහෝ විට හේතු වන්නට ඇත්තේ නිද්‍රාආඝාතය බව මනෝ විද්‍යාඥයෙකු වෙන මගේ මිත‍්‍ර සූ බ්ලැක්මෝ පෙන්වා දෙනවා. මධ්‍යකාලීන යුරෝපයේ තිබුනු එවැනි එක් මනස්කාර විශවාසයක් තමයි ස්තී‍්‍රන් සමග නිදිවැදීම පිණිස ‘ඉන්කියුබස්’ නමැති යක්ෂයෙකුත් පුරුෂයන් සමග නිදිවැදීමට ‘සුයුකියුබස්’ නමැති යක්ෂණියෙකුත් ? මැදියමේ දී පැමිණෙන බව. නිද්‍රාආඝාතයේ එක් ඵලයක් වන්නේ එයට ගොදුරුවන තැනැත්තාගේ සිරුර යමකින් තෙරපෙන බව සිතට දැනීමයි. මෙය යමෙකු විසින් ලිංගික අපහරණයකට දරණ වෑයමක් ලෙස ද දැනිය හැකියි. රාත‍්‍රිකාලයේ පැමිණ මිනිසුන්ගේ පපුව මත වාඩිවෙන මැහැල්ල පිළිබඳව නිව්පවුන්ඞ්ලන්තයේ බෙහෙවින් ප‍්‍රචලිතව තිබූ කතාව ද මෙවැන්නක් විය හැකියි. අන්ධකාරයේ පැමිණ මිනිසුන් පණනැති කරවන අලූපාට අවතාරයක් ගැන මෙවැනි ම කතන්දරයක් ඉන්දුචීන රටවල ද බෙහෙවින් ප‍්‍රචලිතයි.

 

අචාර්ය රිචඩ් ඩෝකින්ස්ගේ (Magic of Reality)ඇත්තක අරුමය නමැති පොත ඇසුරෙන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending