ඇළියා යන වචනය අපට එතරම් නුහුරු වුවත් අපි බොහෝ දෙනෙකු ඇළි මිනිසුන්, ඇළි (හැළි) වඳුරන් ආදීන් ගැන අසා ඇත්තෙමු. ඇළි බව (albino) යනුවෙන් අදහස් කෙරෙන්නේ මිනිසුන්ට, සතුන්ට පමණක් නොව ශාකවලට පවා බලපාන එක්තරා තත්ත්වයකි. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ මිනිසාගේ, සතාගේ හෝ ශාකයේ සාමාන්‍ය වර්ණක (pigments) අඩුවීමකි. එවැනි තත්වයකින් පසුවන අයගේ සම, හිස කෙස් ළා පැහැයෙන් අප දකින්නේ එහෙයිනි. මෙය සිදුවන්නේ කෙසේද? ඇළිබව යනු කුමක්ද?
ඇළී බව වටහා ගැනීමේ මුල් පියවර වශයෙන් අප මෙලනින් ගැන දැන ගත යුතුය. මෙලනින් (melanin) යනු අපේ සම, ඇස් සහ හිසකෙස් පාට කරන අපේ සිරුරෙහිම ඇති රසායනයකි. ඒවා සෑදෙන්නේ අපේ සමෙහි පහළ ස්තරයේ ඇති ෙසෙලවන මෙලනොස්යිට්ස් (melanocytes සෛල මගිනි. තම සිරුරෙන් සාමාන්‍ය ප‍්‍රමාණයෙන් මෙලනින් නිපදවීමට නොහැකි දරුවෙකු හෝ සතෙකු ඉඳ හිට බිහිවිය හැක. එය අප දකින්නේ දරුවාගේ සමෙහි, ඇස්වල හෝ කෙස් වල නැතිනම් සතාගේ ලොම් හෝ පිහිටුවල වර්ණය අඩුවීමක් ලෙසය. ඇළි බව සැමවිටම එක ලෙසම දැකිය හැකි නොවේ. ඇළි බව ඇතිව උපදින ඇතැම් දරුවන්ගේ සමෙහි හෝ කෙස්වල වර්ණය අඩුවිය හැක. සමහරුන්ට ඇළිබව බලපාන්නේ ඇස්වලට පමණකි.
ඇළිබව ඇති ඇතැම් ළමයින් ඇස් නිල් හෝ දුඹුරු පැහැ ගත්තත් මේ තත්වය නිසා ඇස් රෝස හෝ රතු පැහැ ගැන්වීමටද පුඵවන. එසේ රෝස හෝ රතු පැහැගන්නේ අපේ ඇස්වල සාමාන්‍යයෙන් කළු ඉංගිරියාව වශයෙන් හඳුන්වන තාරා මණ්ඩලයෙහි සැබැවින්ම ඉතා අඩු වර්ණ ප‍්‍රමාණයෙන් තිබීම නිසාය. වර්ණක අඩු නම් ඇස තුළ රෙටිනාව හෙවත් දෘෂ්ටි විතානයේ ඇති රුධිර වාහිනී (ලේ නහර) ඉංගිරියාව හරහා පෙනෙන්ට වීමෙන් ඇස් රෝස හා රතු පැහැයට දිස්වේ.
ඉතින් අපේ සමට, ඇස්වලට හා කෙස්වලට වර්ණය ලබාදීමට අමතරව මෙලනින් අපේ සම හිරු එළියෙන් ආරක්‍ෂා කරදෙයි. අව්වෙහි හැසිරෙන අයගේ සම තද පැහැ ගැන්වී ඇති අයුරු ඔබ දැක ඇතුවාට සැකයක් නැත. (ඇඳුමෙන් ආවරණය වු සහ නොවු ශරීර කොටස් සසඳන විට මෙය මනාව පැහැදිලි වේ). හිරු එළියෙන් වැඩි ආරක්‍ෂාවක් ලබාදීම සඳහා මෙලනින් ක‍්‍රියාත්මක වන ආකාරයයි, ඒ. ඉතින් මෙලනින් නොමැති නම් ඔබේ සමට, තමන්ව (සම) ආරක්‍ෂා කර ගත නොහැක. තවද, ඇළි බව ඇති අය පහසුවෙන් අවුපිලිස්සුමට (sun burn)හසුවේ.
ඇළිබව ඇති අයගේ පෙනීම දුර්වල විය හැකි නිසා උපැස් හෝ සිවි කාච පැළඳිය යුතුය. ඇතැම් විට ශල්‍ය කර්මයකට භාජනය කිරීමටද සිදුවේ. එවැනි අක්‍ෂි දුර්වලතා ඇති අයට අක්‍ෂි වෛද්‍යවරයෙකුගේ පිහිට පැතිය යුතුවේ. තවද ඇළි බව ඇති ළමුන්ගේ ඇස් ආලෝකයට ඉතා සංවේදී විය හැකිය. අපගේ අක්‍ෂි ගෝලයේ පිටුපස ඇති රෙටිනාවට වැටෙන ආලෝක ප‍්‍රමාණය අපේ කළු ඉංගිරියාවහෙවත් තාරා මණ්ඩලය මගින් සාමාන්‍යයෙන් පාලනය කරන බව අපි දනිමු. එහෙත් ඇළි බව ඇත්තෙකුගේ කළු ඉංගිරියාවේ වර්ණය අඩු නිසා එම (ආළෝකය පාලනය කිරීමේ) කාර්යය හරි හැටි ඉටුකළ නොහැකිය. එහෙයින් බොහෝ විට ඇළිබව ඇති අය වැඩි ආළෝකයක් ඇති තැන ඇස් කුඩා කර බලනු ඔබටද නිරීක්‍ෂණය කළ හැකිය.
කෙසේ වෙතත්, ඇළි බව යනු එක්තරා තත්ත්වයක් පමණකි. ඇළිබව ඇති අය අනෙක් අය මෙන්ම සාමාන්‍ය අයය. ඔවුන්ට ඇත්තේ වර්ණක අඩු තත්ත්වයක් පමණකි. එය පෙර කළ අකුසලයක් නිසා සිද්ධවුවක් යනුවෙන් පවසා හෝ වෙනත් අයුරකින් හෝ ඔවුනට අපහාස කිරීම යෝග්‍ය නොවේ. අනික සුදු නයින් වැනි ආදී සතුන් ඇතිවන්නේද හාස්කමකින් නොව සමෙහි වර්ණක අඩුවීමේ තත්ත්වය නිසාමය. මැළි නොවී ඇළි බව ගැන කතා කිරීම නිසා මේ කරුණු අනාවරණය කර ගත හැකි විය.
http://kidshealth.org/kid/health_problems/skin/albinism.html ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න