පෙම් බස් දොඩවන විට හෝ සතුටු සාමිචියේ යෙදී සිටින විට හෝ පුද්ගලයෙකුගේ මුව ආසන්න වූ විට හෝ මුවින් දුගඳක් හමන්නේ නම් එය කොතරම් අප‍්‍රසන්න අත්දැකීමක් ද? ඇරත් බොහෝ අවස්ථාවල දී ඒ බව අනෙකාට පැවසිය නොහැකි වීම නිසා ද අසීරු තත්ත්වයක් ඇති වේ. පොදු වහරේ දී කට ගඳ ගැසීම යනුවෙන් හඳුන්වන (halitosis ) තත්ත්වය ඇති වන්නේ ඇයි? ඊට විසඳුම් නැද්ද? සුබ ආරංචිය වන්නේ, සරල පියවර මගින් මේ අප‍්‍රසන්න තත්ත්වය මග හරවා ගත හැකි බවයි.
කට ගඳ ගැසීම ඇති වන්නේ මුඛය තුළ වැඩෙන, දුර්ගන්ධය නිපදවන බැක්ටීරියා හේතුවෙනි. නිරතුරුව මෙන්ම නිසියාකාරව දත් නොමදින විට, දත් මැලියම් ඉවත් නොකරන විට මුඛයේ සහ දත් අතරේ ඉතිරිවන ආහාර කැබලි හා කොටස් මත බැක්ටීරියා එකතු වෙයි. මේ බැක්ටීරියා මගින් මුදා හැරෙන සල්ෆර්(sulfur) හෙවත් ගෙන්දගම් සංයෝග අපේ ප‍්‍රාශ්වාසයට දුගඳක් එකතු කරයි.
ඇතැම් ආහාර වර්ග, විශේෂයෙන්ම තියුණු සුවඳක් සහිත ආහාර අනුභව කළ විට ඒ සුවඳ කෙළ සමඟ මිශ‍්‍ර වී මුඛය තුළ රැඳේ. වාතය අපේ පෙනහළු වෙත ගොස් යළි මුඛය හරහා පිටවීමේ දී මුඛයේ රැඳුණු සුවඳ එම වාතය සමඟ මිශ‍්‍ර වන නිසා අප‍්‍රසන්න ගන්ධයක් ඇති විය හැකිය. දුම් පානයත් කට ගඳ ගැසීමට බලපාන ප‍්‍රධාන සාධකයකි. අප‍්‍රසන්න ප‍්‍රාශ්වාසය ගැන තැවුලක් හෝ දැඩි අවධානයක් ඇත්නම්, කළ යුත්තේ මුඛය හා දත් නිසියාකාරව රැක බලා ගැනීමයි. ඔබ නිතිපතා දත් මදින්නේ නම්, දත් මැලියම් ඉවත් කරන්නේ නම් දත් සුද්ද කිරීම පිණිස සමාකාරව දන්ත වෛද්‍යවරයා වෙත යන්නේ වී නමුත් අප‍්‍රසන්න ප‍්‍රශ්වාසය දිගටම ඇති නම් ඔබට කෝටර දාහය හෙවත් නාසා රණ්ධ‍්‍ර ඉදිමීම (sinisitis) හෝ විදුරුමසෙහි ආබාධ වැනි වෛද්‍ය ප‍්‍රශ්නයක් තිබෙනවා විය හැකිය. එවැන්නක් ගැන සැකයක් ඇත්නම් වෛද්‍යවරයෙකුට හෝ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුට දැන්විය යුතුවේ.
කට ගඳ ගැසීම අරබයා නොයෙකුත් මිත්‍යා මත ද ඇත. ඉන් කිහිපයක් සලකා බලමු.
මිත්‍යා 1
මුඛ ශෝ්ධන භාවිතයෙන් කට ගඳ ගැසීම නතර කර ගත හැක.
මුඛ ශෝධන මගින් මුඛයේ දුගන්ධය පහ කරන්නේ තාවකාලිකවය. ඒවා භාවිතා කරන්නේ නම් රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් වැඞීම වළක්වන හෙවත් ප‍්‍රති පූතික (antiseptic) සහ මැලියම් අඩු කරන සංයෝග අඩංගු මුඛ ශෝධන යොදා ගන්න. මේවා මිළට ගන්නේ නම් දන්ත වෛද්‍යවරයාගේ නිර්දේශය ලබා ගැනීම ප‍්‍රඥා ගෝචරය. සීනි රහිත ගම් වර්ග හා (කපුරු) මින්ට් වර්ග වලින් ද සිදුවන්නේ ගඳ ගැසීම ඉවත් කිරීම නොව තාවකාලික ව වසන් වීමයි.
මිත්‍යා 2
දත් මදිනවා නම් කට ගඳ ගසන්නේ නැත
ක‍්‍රමාණුකූලව, නිසියාකාරව දත් මැදීම ඉටු කරන්නේ නැත්නම් දත් මැදීම සිදු කළ පමණින් කට ගඳ ගැසීම වළක්වා ගත නොහේ. වැඩි දෙනෙකු දත් මදින්නේ තත්පර 30 ක් 45 ක් වැනි කාලයක් තුළය. ඇතැම්විට වෙනත් කාර්යයක් කරමින්, දත් මැදීමට නිසි අවධානය යෙදීම නොකරමිනි. අඩුම තරමින් දවසකට දෙවරක්වත්, විනාඩි දෙකකවත් කාලයක් ගත කොට නිසියාකාරව දත් මැදිය යුතුය. බැක්ටීරියා දිවෙහි ගැවසෙන නිසා දිව මැදීමට ද සැළකිළිමත් වන්න. දත් මැළියම් ඉවත් කිරීම ද එලෙසම වැදගත්ය.
මිථ්‍යා 3
අත නාසයට ළං කොට පිඹීමෙන් කට ගඳ ගසන්නේ දැයි දැනගත හැක.
මෙය මිථ්‍යාවකි. ඔබ ආශ්වාස කරන විට උගුර පාවිච්චි කරන්නේ කතා කරන විට පාවිච්චි කරන අන්දමට නොවේ. මුඛ දුගන්ධයේ ප‍්‍රභවය ඇත්තේ දිවෙහි පිටුපස කොටසෙහිය. කතා කරන විට එහි සිට දුගඳ මුඛයෙන් එළියට එයි. නාසයෙන් පිඹීමේ දී එය එලෙසම සිදුවන්නේ නැත. ඇරත්, අපට, අපේම සිරුරේ ගඳ සුවඳට පුරුදුවන නිසා නාසයෙන් පිඹ එය හරි හැටි දැනගත නොහැක.





ප්‍රතිචාරයක් ලබාදෙන්න