මේ පින්තුරයෙන් දැක්වෙන්නේ හේල-බොප් නමැති ධුම කේතුවේ ගමන් මගයි. 1997 මාර්තුවේ කැලිපෝනියාවේ දී ‘දෙව්ලොව දොරටුව’ යනුවෙන් හැඳින් වුන ආගමික කණ්ඩායම අවසන් වූයේ එහි සිටි සාමාජීකයන් 39 දෙනාම වසබී සියදිවි නසා ගැනීමෙන්. ඔවුන් එසේ සියදිවි නසා ගත්තේ වෙනත් ග‍්‍රහලෝකවලින් පැමිණෙන අජටාකාශ යානාවක් විසින් ඔවුන්ගේ ආත්මයන් රැගෙන යනු ලබනු ඇතැ‘යි යන විශ්වාසයෙනුයි. මේ සිද්ධිය සිදුවන විට හේල්-බොප් ධූම කේතුව අහසේ දිස්වෙමින් පැවැති අතර ‘දෙව්ලොව දොරටුව’ කණ්ඩායමේ අධ්‍යාත්මික නායකයා පැවසූ අන්දමට ඔවුන් ගෙන යාම පිණිස අජටාකාශ යානාව පැමිණ ඇත්තේ ඒ වල්ගා තරුව සමගයි. එම අජටාකාශ යානාව නැරඹීම පිණිස මේ කණ්ඩායම දුරේක්ෂයක් ද මිල දී ගත් නමුත් එම දුරේක්ෂය නිවැරදිව ක‍්‍රියා නොකරන බව පවසමින් මිල දී ගත් සාප්පුවට ආපසු දී මුදල් ලබා ගත්තා. දුරේක්ෂය නිවැරදිව ක‍්‍රියා නොකරන බව ඔවුන් තීරණය කළේ එම දුරේක්ෂයෙන් තමන් බලාපොරොත්තුව සිටි අජටාකාශ යානය විශ්වාස කළ පරිදි දැක බලා ගැනීමට නොහැකි වූ නිසයි!.

COMET HAIL BOP

මහත් ඛේදවාචකයකින් අවසන් වූ මේ මනස්ගාතය තම කණ්ඩායමට පැවසූ අධ්‍යාත්මික නායක මාෂල් ඇපල්වයිට් නමැත්තා එම කාරණය සැබැවින්ම විශ්වාස කළේද? බොහෝ විට ඔහු ද එය අවංකව ම විශ්වාස කරන්නට ඇති. එයට හේතුව වස බී සිය දිවිනසාගත් අය අතර ඔහු ද සිටීමයි. මෙවැනි බොහෝ ඇදහිලි කණ්ඩායම් වල නායකයන්ගේ අභිප‍්‍රාය මේ කණ්ඩායම් වලට බැඳෙන ගැහැණුන් ග‍්‍රහණයට ගැනීම නමුදු මාෂල් ඇපටයිට් ලිංගික චර්යාවෙන් මිදීමට සැත්කම් කළ අතලොස්ස අතරින් එක් අයෙක්. ඒ අනුව අනෙක් බොහෝ අය මෙන් ලිංගික ආශ්වාදය සඳහා ඇදහිලි කණ්ඩායම් ගොඩ නැගීම ඔහුගේ අභිප‍්‍රාය නොවූ බව පේනවා.

මෙවැනි මනස්ගාත විශ්වාස කරන බොහෝ අය විද්‍යා ප‍්‍රබන්ධවලට දැඩි ඇල්මක් දැක් වූ බව අනාවරණය වී තිබෙනවා. අර කී ‘දෙව්ලොව දොරටුව’ නමැති කණ්ඩායමේ සාමාජීකයන් ‘ස්ටාර් ටෙ‍්‍රක්’ නැමැති ප‍්‍රසිද්ධ විද්‍යා ප‍්‍රබන්ධ කතාව රූපවාහිනිය ඔස්සේ නරඹා තිබුණේ දැපනේ වැටිලා වගෙයි. පිට සක්වලින් පැමිණෙන අමුත්තන් ගැන කියවෙන විද්‍යා ප‍්‍රබන්ධ වලින් අද අපට අඩුවක් නැහැ. එහෙත් අප අතරින් බොහෝ දෙනෙක් සක්සුදක් සේ දන්නා දෙයක් තමයි ඒවා ඇත්තට ම සිදුනොවූ හුදු මන:කල්පිත ප‍්‍රබන්ධ කතා බව. එහෙත් වෙනත් ග‍්‍රහ ලෝකවලින් පැමිණි අමුත්තන් විසින් වරක් තමන් පැහැරගත් බව තරයේ විශ්වාස කරන බොහෝ අය සිටිනවා. මේ විශ්වාසය කොතරම් තදින් ඒ අය අතර පවතිනවාදැ’යි කිවහොත් සාක්ෂි වශයෙන් ගෙන දැක්විය හැකියැ’යි විශ්වාස කරන ඉතා අල්ප වූ කෙන්දක් පවා කන්දක් කොට දැකීමට ඔවුන් පැකිලෙන්නේ නැහැ.  හේල් -බොප් ධූම කේතුව යලිත් පෘථිවියට දිස්වන්නේ ක්‍රි.ව.4361 දීයි. ඒ වෙන කොට “දෙව්ලොව දොරටුව“ නොදැවත් කමේ ඛේද වාචකයක් ලෙස ඉතිහාසඥයෝ විස්තර කරාවි.

ආචාර්ය රිචඩ් ඩෝකින්ස්ගේ ‘ඇත්තක අරුමය’ (Magic of Reality) නමැත් පොත ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending