නුෂ්‍යය වර්ගයා වන අප හඳුන්වන විද්‍යාත්මක නාමය “හෝමෝ සේපියන්” (homo sapiens) වේ. “සිතන සතා” යන්න එහි තේරුමයි. පෘර්‍ථවියේ මහා ග්‍රහ සැලැස්ම තුළ අපේ ආගමනය ඉතා මැතකදී සිදුවුවකි.

මහපොළොව මත මනුෂ්‍යය වර්ගයා බිහිවූ වකවානුව හඳුන්වන්නේ ප්ලයිස්ටොසීන වකවානුව (pleistocene epoch) යනුවෙනි. එහිතේරුම වඩාත් මෑත යුගය යන්නයි. මුළු පලයිස්ටොසීන වකවානුවම ගතවූ වසර මිලියන 2.4 නොඉක්මවයි. මේ ප්‍ලෛයිස්ටොසීන  අවදිය තුළ මීට වසර 150,000 පෙර අප්‍රිකානු මහාද්වීපයේදී හෝමෝ සේපියන්  හෙවත් “සිතන සතා” නමැති නුතන මානවයා පලමු වරට මිහිපිට නැගී සිටියේය. මේ මානවයා විකාශයවුයේ ඒ වන විට වසර මිලියනදෙකක් පමණ තිස්සේ පොලොව සැරිසරමින් සිටි හෝමෝ ඉරෙක්ටස් (homo erectus) නමැති ආදි මානවයාගෙනි.

හෝමෝ ඉරෙක්ටස්ගෙන් “සිතන සතා” දක්වා අප විකාශනය වන්නට බොහෝවිට හේතුවන්නට ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි විල්තෙර හා වෙරලඅසබඩ ආහාරයෙන් බෙහෙවින් සරුසාරවීමයි.  ප්‍රථම වරට නව පන්නයේ ආහාර වර්ග  උපයෝගී කර ගැනීම හා අළුත් ජීවන අභියෝගයවලට මුහුණ දීමට සිදුවීම තමන්ට අවශ්‍යකල රළු මෙවලම් තනා ගැනීම පිණිස ආදි මානවයා පෙළඹවීය. මේ මගින් ලැබුණාවූ එමෙන්ම අවශේෂ සත්ත්‍වයන් සතු නොවූ සුවිශේෂ ඥානභාවිතය කෙමෙන් අප නුතන මානවයන් දක්වා විකාශය කලේය.

මිලන්කොවිච් කාල චක්‍රයට අනුකූලව එවක බිහිවූ ධ්‍රැවාසන්න හිම තට්ටුවේ පැතිරයාම මේ ආදිකල්පික ඥාතීන් විසූ පරිසරයේ දේශගුණය  තීරණය කිරීමට බොහෝදුරට හේතුවිය. ධ්‍රැවාසන්න දේශගුණය අතිශය ශීතලෙන් දැඩිවූ හැම කාල වකවානුවේදීම මහපොලොව හරහා හමාගිය සුළඟ නොඉවසිය හැකි දරුණු ශීතලකින් යුතුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වය පහළ වැටුනේය.  ජලාශ මිදී ගියේය. මත්ස්‍යාදී ගොදුරින් ගහණවූ සාගර ප්‍රවාහවල ගමන් මග වෙනස්වීය. මෙහි ප්‍රතිඵලය වූයේ මානවයන්ද ඇතළුව හැකි හැම සත්වයෙකුම වාසයට සුදුසු තැන් සොයමින් මහාද්‍වීප අතර සංක්‍රමණය වීමයි.

මේ අයිස් සමය විසින් අපට උරුමකර දුන් ජාන සංයුතියේ සීමා අපකෙරෙන් තවමත් විද්‍යමාන වෙයි. මානවයන් අතර ජාන විවිධත්වය අතිශයින් සීමාවීම මගින් තහවුරුවෙන්නේ වසර ලක්ෂයකට පෙර මුළුමහත් පොළෝ තලයේ සැරි සැරූ දරුඵල සහිත මානවයන්ගේ සංඛ්‍යාව දෙදහසකට නොවැඩි බවකි.  සිය වර්ගයාගේ මතුපැවැත්ම හෝ සහමුලින්ම වඳවී යාම අතර තීරණාත්මක අභියෝගයට මුහුණ දීමට මේ ආදි මානවයන් අතලොස්සට සිදුවිය.

මිලන්කොවිච් කාලචක්‍ර

පෘර්‍ථවියේ දේශගුණය විචලනයට කාරක වන අයිස්-සමය ඇතිවීම මූලික වශයෙන් කාල චක්‍ර  තුනකට වෙන්කල හැකි බව මිලියුටින් මිලන්කොවිච් විසින් 1941දී තහවුරු කලේය. මේ කාල-චක්‍ර මිලන්කොවිච් චක්‍ර වශයෙන් හැඳින්වෙයි.මින් වඩා දීර්ඝතම කාල-චක්‍රයට හේතුව  පොලොව සූර්යා වටේ ගමන් කරන කක්ෂය  වසර 100,000 වරක් දික්වී වෙනස්වීමයි.  පොළොව සූර්යා වටේ ගමන්කරන්නේ  නියම වෘත්තාකාර කක්ෂයක නොවේ. වඩා නිවැරදිව කිවහොත් අණ්ඩාකාර හෙවත් ඉලිප්සියාකාර කක්ෂයක් ඔස්සේ පොළොව භ්‍රමණය වෙයි.  වසර 100,000 වරක් මේ කක්ෂයේ ඉලිප්ස(ellipse) මාර්ගය ඉඳුරා ත්‍රීව්‍රවෙයි. එවිට එම සංසිද්ධිය සිදුවන වකවානුව තුළ ප්‍රථීවිය වරෙක සූර්යාට වඩාත්ම නුදුරින්ද තවත් වරෙක සූර්යාට වඩාත්ම ඈතින්ද  ගමන් කරයි. මෙහි ප්‍රතිඵලය පොළොවට වැටෙන සූර්ය තාපයේ තීව්‍රබව තත් කාලය පුරා සැලකිය යුතු පරාසයකින් වෙනස් වීමයි.

එහෙත්  මිලන්කොවිච් කාල චක්‍රය අපේ වාසනාවකට මෙන් මානවයන්ගේ පැවැත්මට හිතකර ලෙස දේශගුණය නැවත වෙනස් කලේය. ඉක්බිති කුඩා කන්ඩායම් වශයෙන් සැදීගත් මානවයෝ අදින් වසර හැටදහසකට පමණ පෙර සිනායි අර්ධද්‍වීපය හරහා යුරෝපයටත් ආසියාකරයටත් සංක්‍රමණයවීම ආරම්භ කළෝය. මින් වසර 46,000 කට ඉහත ඔවුන්ගන් එක් කොටසක් ඔස්ට්‍රෙලියාව සිය වාස භූමිය කරගත්තේය. අනතුරුව අදින් 13,000 වසරකට පෙර  උත්තරධ්‍රැවයේ හිමතලාව අවසන් වතාවට සැලකිය යුතු පමණින් පසුබැසගිය විට ධ්‍රැවාසන්න ප්‍රදේශය ඔස්සේ අමෙරිකානු මහාද්‍වීපයන්ට සංක්‍රමණය වීමට මානවයන් සමත් විය.

ඉනික්බිති තස්මේනියාවේ සිට ඇලස්කාව දක්වා ලොව පුරා විවිධ ප්‍රදේශ සිය වාසභූමිය කරගත් මානවයන්ගේ ජන සංඛ්‍යාව මිලියන කිහිපයක් දක්වා ඉහල ගියේය. අපේ වර්තමාන කායික හා මානසික ශක්තීන්ගෙන් කිසිසේත් වියුක්ත නොවූ මේ ඥානවන්ත මනුෂ්‍යයයෝ වසර දස දහස් ගණනක් තිස්සේම  අවට පරිසරයෙන් රැස්කල ඵලවැලවලින් හා දඩයමින් සපුරාගත් අහරින් පමණක් යැපුණෝය. පසුගිය වසර දස දහස තුල මිනිසුන් විසින් අත්පත්කරගත් සුවිශාල දියුණුව හා සැසඳූවිට  සැලකිය යුතු සංස්කෘතික වර්ධනයකට භාජනය නොවී මෙතරම් දීර්ඝ කාලයක් ගතකිරීමට මානව වර්ගයාට සිදුවීම බලවත් ප්‍රහේලිකාවකි.

tree ringsමේ ප්‍රහේලිකාව විසඳීමටනම් එකී අයිස් සමයේ පැවැති දේශගුණය විමසා බැලීම ප්‍රයෝජනවත් වේ. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි එක ප්‍රභවයක් නම් දැව කඳන්ය. ගසක කඳක් කැපූ විට දක්නට ලැබෙන  වාර්ෂික වලය (tree ring)වැදගත් දේශගුණ තොරතුරු හෙලි කරයි. වාර්ෂික-වලය යනු  ගසක වැඩීම සටහන් කරමින් හැම වසරකට වරක් එහි ක‍ඳේ තිරස් අතට වලයාකාරයෙන් ඇතිවන රේඛාවයි. ගසක වයස මෙන්ම විවිධ අවධීන්හිදී එයට මුහුණ දීමට සිදුවූ දේශගුණයද ඒ මගින් දැනගත හැකිය. වාර්ෂික-වලයන් අතර පරතරය වැඩිවීම මගින් කලට වැසි වට සරුසාර කාල පරිච්ඡෙදයක් නිරූපණය වන අතර කෙටි පරතරයකින් යුත් වාර්ෂික-වල වලින් පෙන්නුම් කෙරෙන්නේ එකී වසර වර්ෂාපතනය  අඩු නිසරු වසරක් වූ බවකි.

Bristle cone
ඉපැරණි බ්‍රිස්ට්ල්කෝන්(bristlecone) දේවදාර ගස්

 

අදටත් ජීවත්වන වෘක්ෂ අතරින් වෘධතම වෘක්ෂ වර්ගයා ලෙස සැලකෙන්නේ කැලිෆෝනියානු සුදු කඳුවැටියේ මීටර තුන්දහසකට ඉහලින් වැවෙන බ්‍රිස්ට්ල්කෝන්(bristlecone) දේවදාර ගස්ය.  මෙම වෘක්ෂවල සාමාන්‍ය ආයුකාලය  වසර 4,600 කි.  වසර දහස් ගණනකද දේශගුණ වාර්තා මෙකී වෘක්ෂ රාජයන්ගේ කඳන් තුල තැන්පත්ව ඇත්තේය. ජීවත්වන වෘක්ෂයක කඳ විද බලා සොයාගත් තොරතුරු හා අසල පිහිටි මැරීගිය රුක් අරටුවක සටහන් වූ තොරතුරු සමග එක්කල විට වසර දසදහසකට කිට්ටුකාලයක දේශගුණ තොරතුරු මේ වෘක්ෂ තුලින් රැස්කරගත හැකිය. මේ හා සමානව නවසීලන්තයේ ඇතැම් වගුරු බිම්තුල කාලාන්තරයක් තිස්සේ  සුරක්ෂිතව වැලලී ඇති දැව කඳන් තුලින් වසර 60,000 ක තරම් කාල පරිච්ඡෙදයක් පිළිබඳ තොරතුරු දැන ගතහැකිවෙතැයි අනුමාන කර ඇත.  කෙසේවෙතත් මේ ක්‍රමයෙන් ලබාගත හැකි දේශගුණ දත්ත වලින් පරිසමාප්ත තොර‍තුරු රැස්කරගැනීම තරමක් අසීරුය.

වඩාත් සම්පූර්ණ විත්‍රයක් ලබා ගැනීමට හැකිවූයේ ඉහතකී තොරතුරු කාලාන්තරයක් පුරා කඳුමුදුන්වල රැස්වූ හිම තට්ටු විමසා බැලීමෙන් ලබාගත් තොරතුරු හා සැසඳීමෙනි. අන්තර්වාර්ෂික  සුලං නිසා  ඇතැම් කඳු මුදුන්වල තැන්පත් වන ධූවිලි තට්ටුවලින් බොහෝවිට වාර්ෂික හිමතට්ටු එකිනෙකින් වෙන් කර හඳුණා ගැනීමට හැක.  මේසඳහා ‍යොදාගත් ආදර්ශණ අතරින් පේරු රටේ අපලාචියන් කඳුශිකර මත  තැන්පත්ව ඇති හිම තට්ටු වැදගත් තැනක් ගනී.   පහල කාන්තාර‍යේ සිට හැම ශීත සෘතුවක හමන සුලඟින් තැන්පත්වන ධූවිලි තට්ටුව නිසා වාර්ෂිකව වැටෙන හිම තට්ටු මැනවින් වෙන්කොට හඳුනා ගැනීමට අපලාචියන් ශිකර වලදී වඩා පහසුය. එක සෘතුවකදී මීටර තුනකට වඩා ඝණකමට පතිතවන හිමතට්ටුවේ බරින් ඊට යටින් පිහිටි තට්ටු එකිනෙක තදවී ඝණ අයිස්  බවට පත්වීම මෙම ක්‍රියාවලියේ වැදගත්  ස්‍වභාවයකි. මේ අයිස් තට්ටු අතර හිරවන වායු බුබුළු  විශ්ලේෂනයෙන් අගනා තොරතුරු ලබා ගැනීමට හැකිය. වායු බුබුළුවල ඇති ධූවිලි අංශු  සුළ‍ගේ වේගය හා සුළඟ හැමූ දිශාව ඇතුළු අනේකවිධ තොරතුරු අනාවරණය කරයි.,

ධ්‍රැව ප්‍රදේශවල ඇති කිලෝමීටර කිහිපයක් ඝන පතර  හිම තට්ටු විද මතුකොට ගත් අයිස් මදයෙන්ද (ice-core)ඈත අතීතයේ දේශගුණය පිළිබඳ අපූරු තොරතුරු දැනගත හැකිය. ඇන්ටාටිකාවේ වොස්ටොක් කඳවුර අසල සී ඩෝමය (Dome-C)කිලෝ මීටර තුනක් යටට විද ලබාගත් අයිස් මදයෙන්  අවුරුදු 35,000-25,000 අතර පැවැති අවසාන මහා ග්ලැසියර සමය ගැන සෑහෙන තොරතුරු අනාවරණය විය.

ඒ අනුව තත් යුගයේදී සාගර ජල මට්ටම අදට වඩා මීටර 100කින් අඩු විය.  ඒ අනුව මහාද්වීපවල හැඩය අදට වඩා බෙහෙවින් වෙනස්විය. අද  උතුරු අමෙරිකාවේත් යුරෝපයේත් බෙහෙවින් ජනාවාසව ඇති පෙදෙස් එකල කිලෝ මීටර ගණනාවක් හිමෙන් යටව තිබුනි. ඒ හිම තට්ටුවට දකු‍ණින් පිහිටි මධ්‍යම ප්‍රංශය ගසින් වැලින් තොර ධ්‍රැව කාන්තාරයක් වූවාය. මේ අයිස් සමයේ අවසාන අවධිය දැවැන්ත හා අතිශය කඩිනමින් සිදවූ වෙනස්කම් වලට පාත්‍ර විය.

අයිස් සමය අවසන්වන විට අතිවිශාල සහ සීඝ්‍ර ‍වෙනස්වීමකට පෘථවිය භාජනය වී තිබුනි. වසර 20,000 කට පෙර සිට වසර 10,000 දක්වා මෑතට දිවෙන මේ හිමයුගාන්තය තුල පොලොව මතුපිට මධ්‍යමික උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් 5° කින් ඉහල ගියේය.  මෑත යුගයේදී  සුලු කාළ වකවානුවක් තුළ මෙතරම් ප්‍රමාණයකින් පෘර්‍ථවියේ උෂ්ණත්වය ඉහළ ගිය වෙනත් අවදියක් නොවූ බැවින් මේ අවධිය පිළිබඳව දේශගුණ විද්‍යාඥයෝ විශේෂ සැලකිල්ලක් දක්වති.

යටකී විපර්යාසය සිදුවූ කඩිනම හා එහි දැවැන්ත ස්‍වභාවය මේ ශතවර්ෂය තුළදී අපට මුහුණ පෑමට සිදු වන ව්‍යසනය හා සංසන්දනය කරන්නේ කෙසේද?. වායුගෝලයට නිකුත්කරණ හරිතාගාර වායුප්‍රමාණය යුහුසුලුව පාලනය කර ගැනීමට අප අසමත් වුවහොත් මේ ශත වර්ෂය තුළ පොළොව මතුපිට මධ්‍යමික උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් 3° කින් ඉහල යන බව නිගමනය කොට ඇත. යටකී අයිස් සමය අවසානයේදී මධ්‍යමික උෂ්ණත්වය වැඩිවීමේ සීඝ්‍රතාවය වුයේ හුදෙක් වසර දහසකට සෙන්ටිග්‍රෙඩ් 1° කි. එබැවින් පොළොව මතුපිට මධ්‍යමික උෂ්ණත්වය උපරිම වශයෙන් සෙන්ටිග්‍රෙඩ් 2° කක් තරම් වැඩි වුවද අප මුහුණ දී සිටින අර්බුදයේ තරම තේරුම් ගත හැක.

අද අප මුහුණ පා සිටින්නේ තත් අයිස් සමයාන්තය මෙන් තිස් ගුණයක වේගයකින් විපර්යාසයකට භාජනයවන වායුගෝලයක ග්‍රහණයට ලක්වූ දේශගුණික ස්‍වභාවයකටය. අපේ කල්කිරියාව වෙනස් කරගැනීමට සැලකිය යුතු ආයාසයක් ගතයුතු බැවින් දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේදී අප ක්‍රියාත්මකවන වේගය අභියෝගයේ බරපතලකම මෙන්ම වැදගත්ය.

මීට වසර හතකට පෙර ඔස්ට්‍රෙලියාවේ බොනපාට් මුහුදු බොක්ක කැණ දැනගත් තොරතුරුවලට අනුව අවුරුදු 19,000 කට පෙර වසර 100 සිට 500ක දක්වා කාලසීමාවක් අතර තුරේදී මුහුදු මට්ටම මීටර දහයේ සිට පහළොව දක්වා හදිසියේම ඉහලගිය බව විද්‍යාඥයන් විසින් සොයා ගත්තේය. උෂ්ණත්වයේ වෙනස නිසා උත්තරාර්ධගෝලයේ අති දැවැන්ත හිමතට්ටුවක් කඩා වැටීමෙන් නිකුත්වූ  ජල කන්දරාව මෙයට හේතුවිය. මේ සංසිද්ධියේදී තත්පරයට  ඝණමීටර මිලියන 2කකට කිට්ටු වේගයකින් යුක්තවූ දැවැන්ත ජලප්‍රමාණයක්  සාගරයට එක්වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මෙසේ මුහුදට එක්වූ ඇල් ජලය මෙක්සිකෝ බොක්කේ සිට කිලෝමීටර දහස් ගණනාවක් උතුරට දුවන, “ගල්ෆ් ස්ට්‍රීම්” (Gulf Stream) හෙවත් ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය නමින් පතල, අපේ දේශගුණය පාලනය කිරීමේ ලා ඉතා වැදගත්වන උණුසුම් සාගර ප්‍රවාහය මුළුමනින්ම විකෘත කලේය.

gulf streamගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය සමකයේ සිට විශාල තාප ප්‍රමාණයක් උත්තර ධ්‍රැවාසන්නයට පරිවහණය කරයි. ශඛ්‍යයතාවය අතින් ගත් විට මෙම තාප ප්‍රමාණය මුළු බටහිර යුරොපය මතට වැටෙන සූර්ය රශ්මියෙන් තුනෙන් එකකට සමානවේ. මේ තාපශක්තිය උතුරට ගෙනයන මේ ගල්‍ෆ් ජල ගුල්ම ප්‍රවාහය උණුසුමින් මෙන්ම ලවණ සාන්ද්‍රණයෙන්ද ඉහළය.   උත්තරාර්ධගොලයේ ඉහලට යනවිට ජල ගුල්ම ප්‍රවාහය සිසිල් වීමට පටන්ගෙන ඒමගින් ගෙන එන ජලකඳ සාගරයේ කිඳා බැසීමට පටන් ගනී.  එහි ඇති ලවණ ප්‍රමාණය අවශේෂ ජලයේ ලවණ සාන්ද්‍රණයට වඩා අධික වීම මේ කිඳා බැසීමට හේතුවේ. ජල කඳ කිඳා බැසීමෙන් ඇතිවන ඇදීම ‍නිසා තවතවත් උණුසුම් ජලය සමකය ආසන්නයෙන් ජල ගුල්ම ප්‍රවාහයට එක්වේ. හිමෙන් දියවූ ඇල් ජලය විශාල ප්‍රමාණයක් කිසියම් අන්දමකින් මේ ප්‍රවාහයට එක් වුවහොත් එහි ඇති  ලවණ සාන්ද්‍රණය අඩුවී  සමකය ආසන්නයෙන් උණුසුම් ජලය ඇද ගැනීමට ගල්‍ෆ් ජල ගුල්ම ප්‍රවාහයට ඇති හැකියාවද අඩුවේ.

අතීතයේදී මෙවැනි තත්ත්‍වයන් උද්ගතවූවිට ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය මුළුමනින්ම පාහේ ඇනහිට තිබුනි. එවිට ඒමගින් උතුරට ගෙනයන උණුසුම අඩුවීම හේතුකොටගෙන ගලැසියර (glaciers) දියවීම නතරවී ඒවා  ආපසු වැඩෙන්නට පටන් ගනී. වැඩෙන ගලැසියරවල සුදෝ සුදු හිම මගින් හිරු එළිය නැවත පරාවර්තනය කිරීම නිසා ගොඩබිම සිසිල්වෙයි. අපා දෙපා සිව්පාවන්ගේ යළි සංක්‍රමණයට හා මධ්‍යයම ප්‍රංශය වැනි නිවර්තන ප්‍රදේශ සයිබීරියාව මෙන් දැඩි ශීතලකින් යුක්ත වීමට එය හේතුවේ.

කෙසේ වෙතත් සාගරයේ උණුසුම මුළුමනින්ම බැසයන්නේද නැත. සමකය ආසන්නව හා දක්ෂිණාර්ධ ගෝලීය සාගරයේ ඒ උණුසුම දිගටම රඳා පවතී. දක්ෂිණාර්ධගෝලයේ ඇති ග්ලැසියර දිය කිරීමට එසේ රඳාපවතින උණුසුම හේතු කාරක වේ. මේ නිසා  හිමමත වැටී පරාවර්තණය වීම වෙනුවට දක්ෂිණධ්‍රැවයේදී සූර්යරශ්මිය අඳුරු ජල තලය මතට වැටී සාගරය මගින් අවශෝෂණය කෙරේ. මෙය සාගරය යට සිට ඉහලට නැවත උණුසුම් කිරීමට හේතුවන අතර ගල්ෆ් සාගර ප්‍රවාහය පුණරුත්ථාපනය කිරීමටද හේතුවේ. එවිට පෘර්‍ථවිය තවත් දේශගුණ කාල චක්‍රයක් ආරම්භ කරයි.

ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය ඇණ හිටීමට නම් අඩුම වශයෙන් තත්පරයකට ඝණ මීටර මිලියණ දෙකක වේගයන් යුත් ජලස්කන්ධයක් සාගරයට එක්විය යුතුයැයි ගණන් බලා තිබේ. භුගර්භ විද්‍යා දත්තයන්ට අනුව මෙයට වසර 20,000 කටත් 8,000 කටත් අතර කාලාන්තරය තුල කීප වරක්ම මෙසේ ජල කන්දරා සාගරයට එක්ව ඇති බව පෙණේ. ඒ අනුව අයිස් සමයාන්තයේ සිට වර්තමාණ දේශගුණ තත්තවය දක්වා වූ සංක්‍රාන්තියේදී  වරින්වර අත්‍යන්තයෙන්ම වෙනස් වූ දේශගුණ තත්ත්‍වයන්ට පෘර්‍ථවිය භාජනය වූ බව පෙනේ.

මේ සියළු විධ දේශගුණ විචලනයන් පහවගොස් ඉන් ඉක්බිතිව සන්සුන් කාල පරිච්ඡෙදයක් උදාවිය. බ්‍රයන් ෆැගන් (Brian Fagan)වැනි  පුරාතත්ව විද්‍යාඥයන්ගේ යෙදුමක් උපුටාගතහොත් “එකල්හි අයිස් සමයේ කිසිම කලෙක දැකගන්නට නොලැබුණු දිගු ගිම්හානය උද්ගත විය.”

එහි ප්‍රතිඵලයක් වුයේ එතෙක් තැන තැන ඇවිදිමින් අහම්බෙන් සොයාගත් අහරින් එදිනෙදා යැපුණු මානව වර්ගයා බව භෝග වගා කිරීමත් සතුන් ඇති කිරීමත් ආරම්භ කරමින් ස්ථාවර වාසභූමි තෝරා ගැනීමයි.

අවසානයේදී යහපත් දේශගුණයත්, අවශ්‍යය පමණට ඇතිවූ උණුසුමත් මනුෂ්‍යයන් වඩා සංකීර්ණ සමාජයක සාමාජිකයන් බවට පත්කලේය.

ටිම් ෆ්ලැනරිගේ We are the weather makers කෘතිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending