පක්‍ෂීන් හා ඩයිනසෝරයන් අතර පරිණාමීය සම්බන්ධතාව විදු ලොව ප‍්‍රකට කරුණක් වන අතර තතු ඒ පිළිබඳව ලිපි ගණනාවක් වරින් වර පළකර තිබේ. සිය ඩයිනසෝර මුතුන් මිත්තන්ගෙන් පරිණාමය වෙද්දී කුකුළන් සහ කළුකුම් සතුන් අනෙක් පක්ෂීන්ට වඩා අඩුවෙන් ජානමය වෙනස්කම් වලට භාජනය වී ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවෙයි. පර්යේෂණය සිදුකොට ඇත්තේ, කෙන්ට් සරසවියේ මහාචාර්ය ඩැරන් ග‍්‍රිෆින් සහ එහි ජීව විද්‍යා විදුහලේ කණ්ඩායමක් එක්වයි. පක්‍ෂීන්ගේ ආදී කාලීන මුතුන් මිත්තා ලෙස සැලකෙන පිහාටු සහිත ඩයිනසෝරයා හා සසඳන විට, කුකුළු හා කළුකුම් පෙළපතේ වර්ණදේහ (ක්‍රෝමසෝම) අඩුවෙන්ම වෙනස්කම් වලට භාජනය වී ඇති බව නව පර්යේෂණයෙන් හඟවයි. කෙන්ට් සරසවියේ මෙම අධ්‍යයනය සිදුකොට ඇත්තේ, ලොව ප‍්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගේ සුසංධානයක කොටසක් ලෙසය. ඛගීය (avian) හෙවත් කුරුලූ ජෙනෝම අධ්‍යයනයට වෙන්වු මේ සුසංධානය සත්ත්ව විශේෂ පරිණාමයේ කතාන්දරය කීමට කැපවී සිටියි.

ඩයිනසෝර විශේෂ බොහොමයක් වඳවී ගියාට පසු, උන්ගෙන් පැවත එන්නන් අතුරෙන් දැනට ජීවත්වන විශේෂවල එකවර වේගවත් පරිණාමීය වර්ධනයක් සිදු වී යයි සැලකේ. කෙසේ වෙතත්, නුතන පක්ෂීන්ගේ පවුල් වෘක්‍ෂයෙහි විස්තර සියවස් ගණනාවක් මුළුල්ලේ ජීව විද්‍යාඥයන්ගේ මනස අවුල් කරවන්නක් විය. විශේෂ දස දහසකට වැඩි ප‍්‍රමාණයක් සහිතව උත්කර්ෂණීය ජෛව විවිධත්වයක් පක්‍ෂීන් අත්පත් කරගත්තේ කෙසේද යන්න දැනගත හැකි අණුක විස්තර ගැන ද ඇත්තේ අල්ප දැනුමකි. ,පක්‍ෂීන්ගේ ජනෝම කැපී පෙනෙනවා. මොකද පෘෂ්ඨවංශික (කොඳු නාරටිය සහිත සත්ත්ව) කණ්ඩායම් අනික් අයට වඩා පක්‍ෂීන්ට කුඩා ක්‍ෂුද්‍ර හෙවත් මයික්‍රො වර්ණදේහ වැඩියෙන් තියෙනවා, යයි මහාචාර්ය ග‍්‍රිෆින් පෙන්වා දෙයි. ජානවලින් පොහොසත් මෙම ද්‍රව්‍යයෙහි කුඩා ,පොට්ටනි, (packages) පක්‍ෂීන්ගේ ඩයිනසෝර මුතුන් මිත්තන් ද සතුව තිබු බව කල්පනා කෙරේ. ,සිය පක්‍ෂීමය ඩයිනසෝර මුතුන් මිත්තාගේ සමස්ත වර්ණදේහ (ක්‍රෝමසෝම) රටාවට වඩාත් සමාන රටාව කුකුළන්ට තිබෙන බව අපට පෙනී ගියා, යයි ඔහු කියා සිටී.

ජාත්‍යන්තර ඛගීය වංශ ජානමිතික සුසංධානය (Avian phologenomics consortium)  පසුගිය වසර හතර මුළුල්ලේ සිදුකළ පුළුල් අධ්‍යයනයක කොටසක් වන මෙම පර්යේෂණයේදී කුකුළන්ගේ, කළුකුම්ගේ, පෙකින් තාරාවන් , (Pekin ducks විශාල, සුදු චීන තාරා වර්ගයක්) සීබ‍්‍රා ෆින්චියන් සහ පුංචි ගිරා විශේෂයක් වන බජිරිගාර් පක්‍ෂීන්ගේ පුර්ණ ජෙනෝම ව්‍යුහය විශ්ලේෂණය කර බැලිණ. මෙහිදී මහාචාර්ය ග‍්‍රිෆින් ප‍්‍රමුඛ පර්යේෂක කණ්ඩායම, ඛගීය ජෙනෝම 21ක් සහ එක් උරග (රෙප්ටිලා පන්තියට අයත් සතුන්) විශේෂයක දත්ත පරීක්‍ෂා කර බැලූහ. පරීක්‍ෂක කණ්ඩායමට කෙන්ට් සරසවියේ මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ රාජකීය පශුවෛද්‍ය කොලීජියේ විද්‍යාඥයෝ පිරිසක් ද හවුල්ව සිටිති. සෑම වර්ණදේහයක් (ක්‍රෝමසෝමයක්) සඳහාම ඩයිනසෝර මුතුන් මිත්තාගේ න්‍යෂ්ටි දර්ශයක් එකලස් කිරීම පිණිස වඩාත්ම සුදුසු ජෙනෝම ගොනු (වර්ණ දේහ හෙවත් ක්‍රෝමසෝම කැබලිකොට, එම කැබලි අනුක‍්‍රමණය කර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන අනුක‍්‍රම ආපසු එක්කිරීම ජෙනෝම ගොන්න ලෙස දැක්විය හැකිය) හය ගැන පර්යේෂක කණ්ඩායම අවධානය යොමු කළහ. වෙනස්වීමේ වේගවත්ම අනුපාතය සිදුවී ඇත්තේ සීබ‍්‍රා ෆින්චියන් සහ බජිරිගාර් තුළ බව ද පර්යේෂකයන්ට හෙළිවී තිබේ. ගී ගයන කුරුල්ලන් (Songbirds) සහ ඔවුන්ගේ ඥාතීන් තුළ ඇතිවන වඩාත් සීඝ‍්‍ර විශේෂප‍්‍රාප්තිය (Speciation) හෙවත් නව සත්ව විශේෂ ඇතිවීමේ තත්ත්වයන් මේ පර්යේෂණයේදී හෙළිවී ඇති තත්ත්වය හා ගැලපේ.

 

University of Kent මුලාශ‍්‍රයක් යොදාගෙන Science News හි පළවු “Chickens and turkeys closer to dinosaur ancestors than other birds”  ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending